තවද එක් කාලයකදී මුළු ලොවට එකම පහනක් වැනි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සේක්, මහාභිනිෂ්ක්‍රමණය අරමුණු කොට මේ ජාතක කතාව වදාළ සේක.
එක් කලෙක භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය ගැන වර්ණනා කරමින් වැඩ සිටි සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට බුද්ධාසනයෙහි වැඩ සිටිමින් භික්ෂූන් වහන්සේලා අමතා, “මහණෙනි, දැන් කිනම් කතාවකින් යුක්තව උන්නාහුද? දැන් තොප අතර කවර කතාවක් ඇති වී දැ?” යි විමසා වදාළ සේක.
එවිට භික්ෂූන් වහන්සේලා, “ස්වාමීනි, අපි අන් කතාවකින් යුක්තව නොසිටියෙමු. ඔබ වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය වර්ණනා කරමින් උන්නෙමු” යැයි පිළිතුරු දුන් සේක.
එවිට බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, සර්වඥයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ දැන් පමණක් නොවේ. පෙරත් අභිනිෂ්ක්‍රමණය කළේ වේ දැ” යි වදාළ සේක. භික්ෂූන් වහන්සේලා ඒ කාරණය පැහැදිලි කර දෙන ලෙස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ භවයෙන් වැසී තිබූ ඒ කාරණය මෙසේ ප්‍රකාශ කොට වදාළ සේක.
යටගිය දවස විදේහ රාජ්‍යයෙහි මිථිලා නුවර මඛාදේව නම් රජකෙනෙක් දසරාජ ධර්මය අකුපිත කොට ඉතා දැහැමිව රාජ්‍යය කළාහුය. ඒ රජතුමා අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොට, අසූහාර දහසක් අවුරුදු යුවරජකම් කොට, අසූහාර දහසක් අවුරුදු මහා රාජ්‍යය කරමින් බොහෝ කාලයක් ගත කොට එක් දිනක් තම කරණවෑමියාට කතා කොට මෙසේ කීහ.
“යහළු කරණවෑමිය, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිස කෙස් (නර කෙසක්) දුටුවෙහි නම්, එදින මට කියව” යි කීහ.
කරණවෑමියාත් බොහෝ කාලයක් ගත කොට එක් දිනක් රජතුමාගේ අඳුන් පැහැති කෙස් අතර තිබූ එකම එක පැසුණු කෙසක් දැක, “දේවයන් වහන්ස, කෙස් අතර පැසුණු කෙසක් පෙනෙන්නේය” යැයි කීය.
“එසේ වී නම් සබඳ කරණවෑමිය, ඒ පැසුණු කෙස උදුරා මාගේ අල්ලෙහි තබව” යි රජතුමා කී කල්හි, කරණවෑමියා රන් අඬුවකින් පැසුණු කෙස උදුරා රජතුමාගේ අල්ලෙහි තැබීය.
මඛාදේව රජතුමා සිය අතේ ඇති පැසුණු කෙස දෙස බලා සංවේගයට පත් වූ අයුරු.
ඒ කාලය වන විට රජතුමාට තවත් අසූහාර දහසක් අවුරුදු ආයුෂ ඉතිරිව තිබුණේය. එසේ වුවද පැසුණු කෙස දැකීමෙන් ම, මරුවා අවුත් තමා අසල සිටියාක් මෙන් ද, තමා ගිනිගත් පන්සලකට ඇතුළු වූවාක් මෙන් ද සිතමින් බලවත් සංවේගයට පැමිණ තමාටම මෙසේ අවවාද කර ගත්තේය.
“අඥාන වූ මඛාදේවයෙනි, හිසෙහි පැසුණු කෙස් මතුවන තුරුත් ක්ලේශයන් දුරු කරගන්නට නොහැකි වූවාහු ද? තොප වැනි වූ අඥානයෙක් තවත් නැතැ” යි තමාටම නින්දා කර ගත්තේය.
මෙසේ රජතුමාට පැසුණු කෙස් පහළ වූ බව කල්පනා කරද්දී කරද්දී ශරීර අභ්‍යන්තරයෙහි දැඩි දාහයක් හටගත්තේය. මුළු ශරීරයෙන් දහඩිය ගලන්නට පටන් ගත්තේය. එවෙලෙහි රජතුමා, “අදම නික්ම ගොස් මහණ දම් පුරන්නට වටින්නේය” යි සිතා, කරණවෑමියාට ලක්ෂයක් වටිනා ආදායම් උපදින ගම්වරයක් තෑගි කොට දී, ප්‍රධාන පුත්‍ර වූ රාජ කුමාරයන් කැඳවීය.
“පුත, මාගේ හිසෙහි පැසුණු කෙසක් පහළ විය. එබැවින් මම මහලු වී ගියෙමි. මා විසින් මනුෂ්‍ය ලෝකයෙහි විඳිය යුතු සම්පත් අනුභව කරන ලද්දේය. දැන් මම දිව්‍ය සම්පත් අනුභව කිරීමට කැමැත්තෙමි. එනිසා මහණ වන්නට දැන්ම මට සුදුසු කාලය වන්නේය. තොප මේ රාජ්‍යය බාර ගනු මැනව. මම පැවිදි වී මඛාදේව නම් අඹ උයනෙහි වාසය කරමින් මහණ දම් පුරන්නෙමි” යි රජතුමා කීවේය.
මෙසේ මහණ වීමට කැමති වූ රජතුමා වෙත පැමිණි අමාත්‍යයෝ, “ස්වාමීනි, ඔබ වහන්සේ කවර කාරණයක් නිසා මහණ වන සේක් දැ?” යි විමසූහ.
රජතුමා පැසුණු කෙස අතින් ගෙන අමාත්‍යයන්ට තමන් මහණ වන කාරණය කියමින්, “ප්‍රථම වයසය, මධ්‍යම වයසය, පශ්චිම වයසය යැයි කියන ලද තුන් වයසම නසන හෙයින්, වයස පැහැර ගන්නා වූ මේ පැසුණු කෙස මාගේ හිසෙහි හටගත්තේය. හිසෙහි පැසුණු කෙස් හටගත් විටම මරණය අවුත් නළල් තලෙහි සිටියාක් මෙන් වෙයි. පැසුණු කෙස් නම් යම රජු විසින් එවූ දේව දූතයන් වැනිය. එබැවින් අදම මට මහණ වන්නට කාලය වන්නේය” යි අමාත්‍යයන්ට කීවේය.
එදිනම රාජ්‍යය අතහැර සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වී මඛාදේව නම් අඹ උයනෙහි වාසය කරමින්, ඉතිරි වූ අසූහාර දහසක් අවුරුදු මුළුල්ලෙහි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යැයි කියන ලද චතුර්විධ බ්‍රහ්ම විහාර භාවනා කොට, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව මිය ගොස් බ්‍රහ්ම ලෝකයෙහි උපන් සේක. නැවත එයින් චුතව අවුත් මිථිලා නුවර ඉපදී, පිරිහෙමින් පැවති තමන්ගේ වංශය නැවත ගළපා, එම අඹ උයනේ දීම මහණ වී බ්‍රහ්ම විහාර භාවනා කොට නැවත බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, සර්වඥයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ දැන් පමණක් නොවේ, පෙරත් නික්මුණේම වේ දැ” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක.
චතුස් සත්‍ය ධර්ම දේශනාව අවසානයේදී ඒ භික්ෂූන් වහන්සේලා අතරින් සමහර කෙනෙක් සෝවාන් ඵලයෙහි පිහිටි සේක. සමහර කෙනෙක් සකෘදාගාමි ඵලයෙහි පිහිටි සේක. සමහර කෙනෙක් අනාගාමි ඵලයෙහි පිහිටි සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවත් වර්තමාන කතාවත් දෙක එක් කොට සන්ධි ගළපා මේ මඛාදේව ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි කරණවෑමියා නම් දැන් මේ ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ප්‍රධාන පුත්‍රයා නම් දැන් මේ රාහුල ස්ථවිරයෝය. එසමයෙහි මඛාදේව රජතුමා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේ දැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.