6. බක ජාතකය (236)

star_outline

‘භද්දකො වතයං පක්ඛී’ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි එක් වංචාකාරී කුහක භික්ෂුවක් අරබයා වදාළ සේක. ශාස්තෘන් වහන්සේ තමන් වෙත පමුණුවා පෙන්වන ලද ඒ භික්ෂුව දැක, “මහණෙනි, මොහු දැන් පමණක් නොව පෙරත් කුහක පුද්ගලයෙකි” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කල්හි, අප මහා බෝධිසත්වයන් වහන්සේ හිමාල ප්‍රදේශයේ එක් විලක මත්ස්‍යයෙකු වී විශාල පිරිවරක් සහිතව වාසය කළහ. එකල එක් කොකෙක් “මසුන් කන්නෙමි”යි සිතා විල අසල තැනක හිස පහත් කරගෙන, පියාපත් විදහාගෙන, දුබල ලීලාවෙන් මසුන් දෙස බලමින්, ඔවුන්ගේ ප්‍රමාදයක් බලාපොරොත්තුව සිටියේය. ඒ මොහොතේ බෝධිසත්වයන් වහන්සේ මත්ස්‍ය සමූහයා පිරිවරා ගොදුරු සොයමින් ඒ ස්ථානයට පැමිණියහ. මත්ස්‍ය සමූහයා ඒ කොකා දැක පළමු වන ගාථාව පැවසූහ.

“හෙළැඹුල් මල් පෙති බඳු පියාපත් ඇති මේ පක්ෂියා ඉතා යහපත් ය. සන්සුන් පියාපත් ඇතිව, (මසුන් දෙස බලමින්) ඉතා දුබල අයෙකු මෙන් ධ්‍යාන වඩන්නාක් මෙන් සිටියි.”

එහි ‘මන්දමන්දොව ඣායති’ යනු, ඉතා දුබලයෙකු මෙන් වී කිසිවක් නොදත්තෙකු මෙන් තනිවම ධ්‍යාන වැඩීමයි (භාවනා කිරීමයි).

ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ ඒ කොකා දෙස බලා දෙවන ගාථාව වදාළහ.

Story Illustration බක තපස් රකින කොකා දෙස බලා සිටින බෝධිසත්ව මත්ස්‍ය රාජයා

“(තොපි) මොහුගේ සිල්වත් බවක් නොදන්නෙහු ය. නොදැන මොහුට ප්‍රශංසා කරන්නෙහු ය. මේ පක්ෂියා අපව රැක බලා ගන්නේ නැත. මොහු පියාපත් නොසොල්වා සිටින්නේ, (අල්ලා ගන්නේ කුමන මාලුවාදැයි සිතන) නිසා ය.”

එහි ‘අනඤ්ඤාය’ යනු නොදැන ය. ‘අම්හෙ දිජො න පාලෙති’ යනු මේ පක්ෂියා අපව නොරකියි, පාලනය නොකරයි; “මොවුන් අතුරෙන් කවර මත්ස්‍යයෙකු ආහාරයට ගන්නෙම්දැයි” විමසා බලයි. ‘තෙන පක්ඛී න ඵන්දති’ යනු ඒ නිසා මේ පක්ෂියා නොසෙල්වෙයි, කම්පා නොවෙයි. මෙසේ කී කල්හි මත්ස්‍ය සමූහයා ජලය කළඹා කොකා පලවා හැරියහ.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල කොකා වූයේ මේ කපටි භික්ෂුවයි. මත්ස්‍ය රජතුමා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.

හයවන බක ජාතක වර්ණනාව නිමියේය.