සූර්ය වංශයේ උපන්, තුන්ලොවටම ගුරු වූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඇසුරු කරමින් ජීවකයන්ගේ අඹ උයනේ වැඩවසන සමයේ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ අරභයා මෙම ජාතකය ගෙනහැර දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්, රජගහ නුවර වාසය කරන මහා ධන සිටුතුමාගේ දියණිය වූ එක් කුමාරිකාවක් තමාගේ දාසයෙකු සමඟ මිත්‍ර සන්ථවයෙන් වාසය කළාය. මෙසේ වසන කල්හි, “මේ ක්‍රියාව වෙනත් කෙනෙක් දැක පිය නම් සුදුසු නොවෙයි” යැයි සිතා බියට පත්ව ඇය ඒ පුරුෂයාට මෙසේ කීවාය.
“අප දෙදෙනාට මෙතැන වාසය කිරීමට නොහැකිය. ඉදින් මාගේ දෙමව්පියෝ මේ වරද දැක පිය නම් කටයුතු නොවෙයි. අපව කැබලි කර කපා දමනු ඇතැයි සිතා, අපි අන්‍ය දේශයකට ගොස් වාසය කරමු.”
මෙසේ කියා අතට අසු වූ වටිනා වස්තු රැගෙන, පළමුව නිවසේ දොරෙන් නික්ම, “අනුන් නොදන්නා යම් තැනකට යමු” යැයි කතා කරගෙන දෙදෙනාම ගියහ.
මෙසේ ගොස් එක් තැනක වාසය කරන ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට දරු ගැබක් පිහිටියේය. ඇය දරු ගැබ මුහුකුරා ගිය කල්හි ස්වාමි පුරුෂයා සමඟ කතා කළාය.
“දරු ගැබ මුහුකුරා ගියේය. ඥාති බන්ධුන් නැති තැනකදී දරුවන් වැදීම අප දෙදෙනාටම දුක් වන්නේය. එසේ හෙයින් දෙමව්පියන්ගේ ගමට යමු.”
එවිට ඒ පුරුෂයා, “අද යමු, හෙට යමු” යැයි කියමින් කල් මැරුවේය. එකල කුමාරිකාව මෙසේ සිතුවාය.
“මේ අඥාන පුරුෂයා තමාගේ වරද මහත් බැවින් යාමට උත්සාහ නොකරයි. දෙමව්පියෝ නම් දරුවන්ට වැඩ කැමැත්තෝය. එසේ හෙයින් මොහු ගියත් කුමක්ද? නොගියත් කුමක්ද? මා යාම සුදුසු වන්නේය.”
මෙසේ සිතා ඒ පුරුෂයා නිවසින් බැහැරට ගිය වේලාවක, තමාගේ නිවසේ ඇති වළං, ඇඳ පුටු ආදිය සියල්ල තැන්පත් කර තබා, තමාගේ දෙමව්පියන්ගේ ගමට යන බව අසල්වැසියන්ට කියා මඟට නික්මුණාය.
එකල්හි ස්වාමි පුරුෂයා නිවසට අවුත් කුමාරිකාව නොදැක, අසල්වැසි මිනිසුන්ගෙන් විමසා, ඇය දෙමව්පියන්ගේ ගමට ගිය බව අසා වහා වහා ලුහුබැඳ ගොස් අතරමගදී ඇයව දුටුවේය. ඒ දකින විට අතරමගදීම දරු උපත සිදුවිය. ඒ ස්වාමි පුරුෂයා ඇය අමතා විමසුවේය.
“අනේ සොඳුර, කිමෙක්ද?”
“ස්වාමීනි, පුතෙකු වැදුවෙමි.”
“දැන් කුමක් කරමුද?” යැයි පුරුෂයා ඇසූ කල්හි ඇය මෙසේ කීවාය.
“යම් දරු කෙනෙකුන් වැදීම සඳහා මා දෙමව්පියන්ගේ ගමට යන්නේ නම්, ඒ කාරණය අතරමගදීම සිද්ධ විය. දැන් නෑයන්ගේ ගෙදර ගොස් කුමක් කරමුද?”
මෙසේ කියා දෙදෙනාම නැවත නික්මුණාහ. මෙසේ එක් සිත් වී පෙරළා තමන්ගේ නිවසට පැමිණියහ. ඒ උපන්නා වූ කුමාරයාට, මගදී උපන් බැවින් “පන්ථක කුමාරයෝය” යැයි නම් තැබූහ.
තවද ඒ සිටු කුමාරිකාවට නොබෝ දිනකින් තවත් දරු ගැබක් පිහිටියේය. ඒ සිටු දියණිය පළමු පරිද්දෙන්ම “දෙමව්පියන්ගේ ගමට යමි” යැයි කියා ගොස් අතරමගදීම දරුවා වැදුවාය. ඒ කුමාරයාටත් මගදී උපන් බැවින් ද, පළමු උපන් කුමාරයා මහාපන්ථක වූ බැවින් ද, බාල පුතණුවන්ට “චුල්ලපන්ථක කුමාරයෝය” යැයි නම් තැබූහ.
ඔවුන් දෙදෙනාම දරුවන් පෝෂණය කොට ක්‍රමයෙන් වැඩෙන්නා වූ ඔවුන් දෙදෙනාගෙන් මහා පන්ථක නම් කුමාරයා සෙසු කුමාරවරුන් හා සෙල්ලම් කරන විට, සෙසු කුමාරවරු “සුළු පියාණෝය, මුත්තණුවෝය, මිත්තණියෝය” යැයි කියන බස් අසා මෑණියන්ගෙන් විමසුවේය.
“මෑණියන් වහන්ස, සෙසු දරුවෝ ‘සුළු පියාණෝය, මුත්තණුවෝය, මිත්තණියෝය’ යැයි කියති. කිමෙක්ද? අපට නෑයෝ නැද්ද?”
එකල්හි මෑණියෝ මෙසේ කීවාය.
“එසේය පුත, තොපගේ නෑයෝ මෙතැන නැත. රජගහ නුවර මහ සිටාණෝ යන කෙනෙක් තොපගේ මුත්තණුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහෝය.”
ඒ අසා කුමාරයෝ, “කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයමුද?” යැයි ඇසූහ. මෑණියෝ ද තමන් එහි නොයන කාරණා කියා දරුවන් නැවැත්වූවාය. ඒ කුමාරයෝ නැවතත් “මුතුන් මිත්තන් සමීපයට යමු” යැයි කියා ඇවිටිලි කරන හෙයින් ඇය පුරුෂයාට මෙසේ කීවාය.
“මේ දරුවෝ හැමවේලේම මට පීඩා කරති. කිමෙක්ද? දෙමව්පියෝ අප දැක ඇඟ මස් කපා කත්ද? දරුවන් කැඳවාගෙන ගොස් මුතුන් මිත්තන් දකිමු.”
ඒ අසා ස්වාමි පුරුෂයා, “මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්ට අසමර්ථ වෙමි. එහෙයින් තොපි දරුවන් දෙදෙනා කැඳවාගෙන ගොස් මුතුන් මිත්තන් දක්වන්න” යැයි කීවේය.
“දැක්වීමෙනුත් ප්‍රයෝජන ඇතැ” යි කියා දරුවන් දෙදෙනා කැඳවාගෙන රජගහ නුවරට ගොස්, නුවර දොරටුව අසල එක් ශාලාවක නවාතැන් ගෙන, දරුවන්ගේ මෑණියෝ දරුවන් දෙදෙනා කැඳවාගෙන ආ බව දෙමව්පියන්ට දන්වා යැවූහ.
ඒ අසා සිටු දියණියගේ දෙමව්පියෝ මෙසේ සිතූහ.
“සසර සැරිසරන්නා වූ අපට පුත් නොවූ, දූ නොවූ කෙනෙක් නැත. ඔවුන් දෙදෙනා අපගේ වංශයට හානි කළාහ. මහත් වූ අපරාධ කළාහ. එසේ හෙයින් ඔවුන් දෙදෙනා අප ඇස් හමුවේ සිටින්ට නොහැකිය. මේ අප දුන් වස්තුව රැගෙන දෙදෙනාම තමන් කැමති සැප තැනකට ගොස් ජීවත් වෙත්වා.”
මෙසේ කියා යැවූහ. ඒ අසා සිටු දියණිය දෙමව්පියන් එවූ වස්තුව රැගෙන, දරුවන් දෙදෙනා තමන් සමීපයට ආ දූතයන් අතට පාවා දී යැවූහ. දරුවන් දෙදෙනා මුතුන් මිත්තන් සමීපයේ ඇති දැඩි වෙති.
ඔවුන් දෙදෙනා අතුරෙන් චුල්ලපන්ථක කුමාරයා ඉතා බාලයාය. මහාපන්ථක කුමාරයා මුත්තණුවන් සමඟ බුදුන් සමීපයට බණ අසන්නට යයි. නිරන්තරයෙන් බණ අසන්නා වූ කුමාරයාට මහණ වීමට සිත නැමුණේය. එකල්හි කුමාරයා මුත්තණුවන්ට මෙසේ කීවේය.
“ඉදින් නුඹ වහන්සේ කැමති වන්නේ නම් මම මහණ වන්නෙමි.”
ඒ බස් අසා මුත්තණුවෝ, “පුත, තෙපි කුමක් කියව්ද? සියලු ලෝ වැසියන්ගේ මහණ වීමටත් වඩා තොපගේ මහණ වීම යහපත් වන්නේය. ඉදින් තෙපි මහණදම් පුරන්නට සමර්ථ නම් මහණකම ලබාගන්න” යැයි කියා කුමාරයාගේ බසට එකඟ වූහ. පසුව සර්වඥයන් වහන්සේ සමීපයට ගියහ. සර්වඥයන් වහන්සේ විසින් “මේ කිමෙක්ද? මහ සිටාණෙනි, තෙපි දරු කෙනෙකුන් ලද්දේද?” යැයි විචාළ කල්හි සිටාණෝ මෙසේ පැවසූහ.
“එසේය ස්වාමීනි, මේ කුමාරයා මාගේ මුනුපුරාය. ඔහු නුඹ වහන්සේ සමීපයෙහි මහණ වෙමි යි කියයි.”
එබස් ඇසූ බුදුරජාණන් වහන්සේ එක්තරා තෙර කෙනෙකුන් වහන්සේට “මේ කුමාරයා මහණ කරවන්න” යැයි නියෝග කොට වදාළ සේක. ඒ තෙරුන් වහන්සේ කුමාරයාට තචපංචක කර්මස්ථානය දී මහණ කළ සේක.
උන්වහන්සේ බොහෝ වූ බුද්ධ වචනයන් ඉගෙන, පිරුණා වූ විසි වයස් ඇති කල්හි උපසම්පදාව ලැබූ සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනසිකාර කරමින් නොබෝ දිනකින් රහත් වූ සේක.
මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන සුවයෙන් දවස් යවන විට, “කිමෙක්ද? මේ සැපය චුල්ලපන්ථකයන්ට දෙන්නට පුළුවන් වේදෝ” යැයි සිතූ සේක. ඉක්බිතිව ඒ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මුතුන් සිටාණන්ගේ නිවසට ගොස් මෙසේ වදාළ සේක.
“මහ සිටාණෙනි, ඉදින් තෙපි එකඟ නම් මම චුල්ලපන්ථකයන් මහණ කරවන්නෙමි.”
ඒ අසා සිටාණෝ, “යහපත ස්වාමීනි, චුල්ලපන්ථකයන් මහණ කළ මැනවැ” යි කීහ. තෙරුන් වහන්සේ චුල්ලපන්ථකයන් මහණ කොට දස ශීලයෙහි පිහිට වූ සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වී මන්ද ප්‍රඥාවන්ත (නුවණ මඳ) වූහ.
“පදුමං යථා කොකනදං සුගන්ධං,
පාතො සියා ඵුල්ලමවීතගන්ධං;
අඞ්ගීරසං පස්ස විරොචමානං,
තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති.
යන මේ ගාථාව මාස හතරකින් පාඩම් කරගැනීමට උන්වහන්සේ අසමර්ථ වූ සේක. ඊට හේතුව නම්, ඒ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ සමයේ මහණව, නුවණැතිව සිටියදී, පාළි ඉගෙන ගන්නා එක්තරා නුවණ මඳ භික්ෂූන් වහන්සේ කෙනෙකුට සිනාසී, නින්දා කොට විහිළු කළ සේක. ඒ නුවණ මඳ භික්ෂූන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්දාව නිසා පාළි ඉගෙන නොගත් සේක. පාඩම් නොකළ සේක.
ඒ පූර්ව ජන්මයේ කරන ලද අකුසල කර්මානුභාවයෙන් මේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වූ විගස නුවණින් මඳ වූ සේක. පළමුව පාඩම් කළ පදය ඊළඟ පදය පාඩම් කරන විට අමතක වී යයි. මේ ගාථාව පාඩම් කිරීමට උත්සාහ කරන්නා වූ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට මාස හතරක් ගත විය.
එකල්හි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පන්ථකයෙනි, මේ ශාසනයට අයෝග්‍යව මාස හතරකින් එක ගාථාවක් පාඩම් කරගැනීමට අසමර්ථව, ප්‍රව්‍රජ්‍යා කෘත්‍යය වූ කලී තෙපි කෙසේ මුදුන්පත් කරව්ද? මෙතැනින් පලා යන්න.” යැයි කියා විහාරයෙන් එළවා දැමූ සේක.
එසමයෙහි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයා වහන්සේට බත් බෙදා දෙන (භත්තඋද්දේසක) සේක. ජීවකයෝ බොහෝ ගඳ, දුම්, මල්, පහන් ආදිය ගෙන්වාගෙන තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජා කොට, බණ අසා ආසනයෙන් නැඟී බුදුන් වැඳ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ මෙසේ විමසූහ.
“ස්වාමීනි, බුදුන් සමීපයේ කොතෙක් භික්ෂූන් වහන්සේලා සිටින සේක්ද?”
තෙරුන් වහන්සේ, “පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලාය” යැයි වදාළ සේක.
එකල්හි ජීවකයෝ, “ස්වාමීනි, හෙට බුදුන් ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්ෂූන් වහන්සේලා කැඳවාගෙන අවුත් මාගේ නිවසේදී දානය වැළඳුව මැනව” යැයි ආරාධනා කළහ.
“උපාසකයිනි, චුල්ලපන්ථකයෝ ශාසනයෙහි පිහිටක් නොලද්දෝය. උන් හැර සෙසු භික්ෂූන් වහන්සේලාට තොපගේ ආරාධනාව භාරගන්නෙමි” යැයි තෙරුන් වහන්සේ වදාළ සේක.
ඒ අසා චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මෙසේ සිතූ සේක.
“මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මෙතෙක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආරාධනාව භාරගන්නා සේක්, මා පිටත් කොට (මා හැර) භාරගත් සේක. ඒකාන්තයෙන් මාගේ අයියණ්ඩි වහන්සේ මා කෙරෙහි කලකිරී ඇත. එසේ නම් මට දැන් ශාසනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ගිහි වෙමි. ගිහිව සිට දානාදී වූ පින්කම් කොට ජීවත් වෙමි” යැයි සිතා “දෙවැනි දින උදෑසන ගිහි වෙමි” යැයි සිතා නික්මුණේය.
සර්වඥයන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරන සේක්, මේ කාරණය දැක පළමුව ගොස් චුල්ලපන්ථකයන් වහන්සේ යන මාර්ගයේ දොරටුවේ සක්මන් කරන සේක. චුල්ලපන්ථක හිමියෝ තමන් වහන්සේ වසන තැනින් නික්මුණු සේක් සර්වඥයන් වහන්සේ දැක “ස්වාමීනි” යැයි කියා ළඟට ගොස් නමස්කාර කළ සේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ මෙසේ විමසූ සේක.
“චුල්ලපන්ථක, මේ වේලාවේ කොහි යන්නෙහිද?”
“ස්වාමීනි, මාගේ අයියණ්ඩි වහන්සේ මා ශාසනයෙන් නෙරපූ සේක. එසේ හෙයින් මම ගිහි වන්නෙමි” යැයි දැන්වූ සේක.
ඒ අසා සර්වඥයන් වහන්සේ, “චුල්ලපන්ථකයෙනි, තොපගේ පැවිද්ද නම් මා සන්තකය. අයියණ්ඩි විසින් එළවා දමන ලද්දා වූ තොපි කවර කාරණයක් නිසා මා සමීපයට නාවාහුද? මා කැටුව එන්න. ගිහි වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මා සමීපයේ වාසය කරන්න” යැයි වදාළහ.
ඉක්බිති චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවාගෙන ගොස් ගන්ධ කුටිය ඉදිරිපිට හිඳුවා, “චුල්ලපන්ථකයෙනි, නැගෙනහිරට මුහුණලා හිඳ මේ රෙදි කැබැල්ල ‘රජොහරණං, රජොහරණං’ යැයි කිය කියා පිරිමැදීමෙන් මෙතන රැඳී සිටින්න” යැයි වදාරා, සෘද්ධියෙන් මවන ලද පිරිසිදු රෙදි කැබැල්ලක් දුන් සේක.
දානය වැළඳීමට වේලාව දැන්වූ කල්හි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ නිවසට ගොස් පනවන ලද බුද්ධාසනයෙහි වැඩ උන් සේක.
චුල්ලපන්ථකයන් වහන්සේ ද සූර්ය රශ්මිය දෙස බල බලා ඒ රෙදි කඩ “රජොහරණං, රජොහරණං” යැයි කිය කියා පිරිමදිමින් උන් සේක. මෙසේ ඒ චුල්ලපන්ථකයන් වහන්සේ ඒ රෙදි කඩ පිරිමදිද්දීම එය කිලිටි වී ගියේය. ඉක්බිති උන්වහන්සේ මෙසේ සිතූ සේක.
“මේ රෙදි කඩ ඉතා පිරිසිදුය, නිර්මලය. මේ ආත්මභාවය (ශරීරය) නිසා පෙර තිබූ ස්වභාවය හැර මෙසේ කිලිටි වී ගියේය. ඒකාන්තයෙන් ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයෝ ඉපද නැසෙන සුළුය” යැයි කිය කියා ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයන්ගේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද නැසෙන බව සලකමින් විදර්ශනා වැඩූ සේක.
සර්වඥයන් වහන්සේ ද, “චුල්ලපන්ථකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේය. චුල්ලපන්ථකය, රෙදි කැබැල්ල කිලිටි වී රජසින් (දූවිල්ලෙන්) වැසී ගියේද? එමෙන් තාගේ අභ්‍යන්තරයෙහි ද රාග රජස් ආදිය ඇත. ඔවුන් දුරු කරව” යැයි සිතා ආලෝක ධාරාවක් යවා ඉදිරියේ සිටින්නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාවන් වදාළ සේක.
“රාගො රජො න ච පන රෙණු වුච්චති,
රාගස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
දොසො රජො න ච පන රෙණු වුච්චති,
දොසස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
මොහො රජො න ච පන රෙණු වුච්චති,
මොහස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”ති.
යන මේ ගාථා වදාළ ඉක්බිති චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව්පිළිසිඹියාපත් රහත් බවට පත් වූ සේක. චතුපටිසම්භිදාවට (සිව්පිළිසිඹියාවට) පැමිණීමත් සමඟම ත්‍රිපිටකය ප්‍රගුණ විය.
ඒ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපදී නුවර පැදකුණු කරන විට නළලින් දහඩිය වැගිරෙන්නට පටන් ගත් කල්හි පිරිසිදු සළු පටින් නළල් කෙළවර පිසදැමූ සේක. සළුව කිලිටි වී ගියේය. ඒ රජතුමා සිතන්නේ, “මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසිදු සළුව තමාගේ පිරිසිදු ධවල ගුණය හැර කිලිටි වී ගියේය. ඒකාන්තයෙන් ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයෝ අනිත්‍යයෝය” යැයි අනිත්‍ය සංඥාව සිහි කළේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝහරණයම (කිලිටි පිස දැමීමම) රහත් වීමට ප්‍රත්‍යය විය.
ජීවකයෝ සර්වඥයන් වහන්සේට දක්ෂිණෝදකය (අත් සේදීමට පැන්) එළවූහ. බුදුහු එවෙලේ, “ජීවකයෙනි, විහාරයෙහි භික්ෂූන් ඇත්තේ නොවේද?” යැයි කියා අතින් පාත්‍රය වැසූ සේක. එවෙලේ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, විහාරයෙහි භික්ෂූන් නැත්තේ වේද?” යැයි කී සේක.
සර්වඥයන් වහන්සේ “භික්ෂූන් ඇති නැති බව දැන එව” යැයි කියා පුරුෂයෙකු යැවූහ.
එකෙණෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ, “මාගේ අයියණ්ඩි වහන්සේ විහාරයෙහි භික්ෂූන් නැතැයි සිතූහ. විහාරයෙහි භික්ෂූන් ඇති බව උන්වහන්සේට ප්‍රකාශ කළ යුතුය” යැයි සිතා සියලු අඹ උයන භික්ෂූන්ගෙන්ම පිරවූ සේක.
සමහර භික්ෂූන් වහන්සේලා සිවුරු ගෙත්තම් කරන සේක. සමහර කෙනෙක් සිවුරු පඬු පොවති. සමහර කෙනෙක් බණ පාඩම් කරති. මෙසේ එකිනෙකාට වෙනසක් නැතිව එකම ස්වරූප ඇති භික්ෂූන් දහසක් මැවූ සේක.
බලන්නට ගිය පුරුෂයා විහාරයේ බොහෝ භික්ෂූන් දැක නැවත අවුත් ජීවකයන්ට කියන්නේ, “සියලු අඹ උයන භික්ෂූන්ගෙන් පිරී ගියේය” යැයි කීවේය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරන සේක්, “බුදුහු චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවන සේකැයි කියව” යි වදාළ සේක.
ඒ බස් අසා පුරුෂයා ගොස් ඒ පරිද්දෙන්ම කී කල්හි, “මම චුල්ලපන්ථකයෙමි”, “මම චුල්ලපන්ථකයෙමි” යැයි කියන මුව දහසක් නැඟුණේය. එකල්හි ඒ පුරුෂයා නැවත බුදුන් වෙත ගොස්, “ස්වාමීනි, හැමදෙනා වහන්සේම ‘අපි චුල්ලපන්ථකයමු, අපි චුල්ලපන්ථකයමු’ යැයි කියන සේක” යැයි දැන්වීය.
ඒ බස් අසා බුදුහු, “දැන් තොප ගොස් පළමුව යමෙක් ‘මම චුල්ලපන්ථකයෙමි’ යැයි කීවේ නම් ඔහුගේ අතින් අල්ලා ගනු. අවශේෂ භික්ෂූන් අතුරුදහන් වෙති” යැයි වදාළහ. එවෙලේ ඒ පුරුෂයා එලෙසම කළේය. දහසක් පමණ භික්ෂූන් වහන්සේලා අතුරුදහන් වූ සේක. තෙරුන් වහන්සේ ද කැඳවා ගිය පුරුෂයා සමඟ වැඩිය සේක.
සර්වඥයන් වහන්සේ ජීවකයන් අමතා, “ජීවකයෙනි, චුල්ලපන්ථකයන්ගේ පාත්‍රය ගන්න. චුල්ලපන්ථකයෝ තොපට පුණ්‍යානුමෝදනා ධර්ම දේශනා කරති” යැයි වදාළහ. ජීවකයෝ එලෙසම කළෝය. එවෙලෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිංහනාද කරන්නා වූ අභීත කේසර සිංහ රාජයෙකු මෙන් තුන් පිටකය කළඹා පුණ්‍යානුමෝදනා ධර්ම දේශනා කළ සේක.
සර්වඥයන් වහන්සේ ආසනයෙන් පැන නැඟී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ, භික්ෂූන් විසින් වත් දැක්වූ කල්හි, ගන්ධ කුටිය ඉදිරිපිට සිට භික්ෂු සංඝයා වහන්සේට අවවාද දී, කමටහන් දී වදාරා, භික්ෂු සංඝයා පිටත් කර යවා සිව් වර්ගයක සුවඳින් සුවඳ කරන ලද ගන්ධ කුටියට වැද දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාව (සිංහයෙකු මෙන් නිදා ගැනීම) කළ සේක.
ඉක්බිත්තෙන් සවස් වේලෙහි දම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේලා නොයෙක් තැනින් රැස්ව, රත් පැහැති පලසකින් වට කරන ලද්දාක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කථාව පටන් ගත් සේක.
“ඇවැත්නි, මහාපන්ථක ස්ථවිරයෝ චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ අධ්‍යාශය නොදන්නාහ. එක ගාථාවක් මාස හතරකින් පාඩම් කරගනු බැරි වූ නිසා නුවණ මඳයෝ යැයි කියා විහාරයෙන් නෙරපූහ. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින් එකම පෙරු දානය අතරතුර සිව්පිළිසිඹියා සමඟ අරහත් ඵලය දුන් සේක. සිව්පිළිසිඹියාප්‍රාප්ත විය. එමෙන්ම තුන් පිටකය ප්‍රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බල මහිමය නම් ඉතා ආශ්චර්යය වන්නේය” යැයි බුදුන්ගේ ගුණ කිය කියා උන් සේක.
එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි මේ කථා ප්‍රවෘත්තිය දැන, “අද මා විසින් එතැනට යාම වටින්නේය” යැයි සිතා බුද්ධ සෙය්‍යාවෙන් නැඟී, රත් වූ දෙපට සිවුර ඇඳ, විදුලි කෙටීමක් මෙන් බබළන පටිය ඉණෙහි බැඳ, රත් පලසක් හා සමාන වූ පාංශුකූල සුගත මහා චීවරය ඒකාංශ කොට (එක් අතකට) පොරවා, සුවඳවත් ගන්ධ කුටියෙන් නික්ම, මත් වූ ඇතෙකු අල්ලා ගැනීමට නික්මුණු කේසර සිංහ රාජයෙකුගේ විලාසයෙන් අප්‍රමාණ සර්වඥ ලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කළ සේක. සරසන ලද මණ්ඩප මධ්‍යයෙහි පනවන ලද උතුම් වූ බුද්ධාසනය මත හිඳ ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින්, සාගර පත්ල බබළවමින් යුගඳුරු කඳු මුදුනෙහි දිලිසෙන්නා වූ ලා හිරු මඬලක් මෙන් බුදුරජාණන් වහන්සේ ආසන මධ්‍යයෙහි වැඩ උන් සේක.
බුදුරජාණන් වහන්සේ එතැනට පැමිණි විගස භික්ෂු සංඝයා වහන්සේ කතාව නවත්වා නිහඬව වැඩ උන් සේක. සර්වඥයන් වහන්සේ මොළොක් වූ මෙත් සිතින් භික්ෂු පිරිස දෙස බලා මෙසේ සිතූ සේක.
“මේ පිරිස ඉතා බොහෝ වන්නේය. එකද භික්ෂුවකගේ අතපය සෙලවීමක් හෝ කැස්සක්, කිවිසුම් ශබ්දයක් හෝ නැත. මේ සියලු භික්ෂූහුම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධ තේජසින් තැති ගත්හ. මුළු ආයු කාලය පුරාම මා කතා නොකර සිටියත් මොවුහු පළමුව කථාවක් නූපදවති. එහෙයින් මම පළමුව කථාවක් උපදවමි.”
මෙසේ සිතා මිහිරි වූ බ්‍රහ්ම ස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට, “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියහුද? කවර නම් කථාවක් තොපට අතරමග නතර වූයේද?” යැයි විචාළ සේක.
එකල්හි ඒ භික්ෂූන් වහන්සේලා, “අපි මෙතැන සිටියේ අන්‍ය වූ ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වූ හිස් වචන කතා කරමින් නොවේ. නුඹ වහන්සේගේ ගුණ වර්ණනා කරමින් සිටියෙමු” යැයි දැන්වූ සේක. එකල්හි භික්ෂූන් වහන්සේගේ කතාව අසා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, චුල්ලපන්ථකයෝ දැන් මා නිසා ධර්මයේ උසස් බවට පැමිණියෝය. පෙරත් මා නිසා භෝග සම්පතින් උසස් බවට පැමිණියෝය.”
එකල්හි එක් භික්ෂුවක් ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්, අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන සමයෙහි අප මහ බෝසතාණෝ සිටු කුලයක ඉපදී, වැඩිවිය පැමිණ සිටු තනතුරු ලබා ‘චුල්ල සිටාණෝය’ යන නමින් ප්‍රසිද්ධව විසූහ. ඒ සිටාණෝ නුවණැත්තෝය, ව්‍යක්තයෝය, සියලු නිමිති දනිති.
එක් දිනක් ඒ සිටාණෝ රාජ සේවයට යන අතරමග වීදිය මැද මළ මීයෙකු දැක, නක්ෂත්‍ර යෝගය පරීක්ෂා කොට මෙසේ කීහ.
“නුවණැති කුලපුත්‍රයෙකුට මේ මීයා රැගෙන ගොස් අඹු දරුවන් පෝෂණය කිරීමටත්, වෙළඳාම් කිරීමටත් පුළුවන් වන්නේය.”
එක්තරා දුගී පුරුෂයෙක් (චුල්ලන්තේවාසික) සිටාණන්ගේ ඒ වචනය අසා “සිටාණෝ නොදැන නොකියති” යැයි සිතා, මීයා රැගෙන ගොස් එක් වෙළඳසැලක බළලෙකු සඳහා දී කහවණුවෙන් හතරෙන් පංගුවක් තරම් වූ (කාකණික මාත්‍රාවක්) කුඩා මුදලක් ලැබුවේය.
[චුල්ල සිටාණන් මළ මීයා පෙන්වූ අවස්ථාව]
ඒ මුදලින් උක් හකුරු ගෙන එක් කළයකින් පැන් ගත්තේය. හෙතෙම වනයෙන් මල් කඩාගෙන එන්නා වූ මල්කරුවන් දැක, උක් හකුරු ස්වල්පයක් දී පැන් දුන්නේය. ඒ මල්කරුවෝ ඔහුට මල් මිට බැගින් දුන්හ. ඔහු ඒ මල් විකුණා, ඒ මල් මිලයෙන් දෙවෙනි දින උක් හකුරු හා පැන් කළයක් රැගෙන මල් වත්තට ගියේය. එදින ඔහුට මල්කරුවෝ මල් භාගයක් කඩාගෙන මල් ගස්ම දී ගියහ. ඔහු නොබෝ දිනකින් මේ උපායෙන් කහවණු අටක් ලැබුවේය.
නැවත එක් වැසි සහිත සුළං ඇති දවසක රාජකීය උයනෙහි බොහෝ වියළි දඬු හා අතු පත් සුළඟින් බිම වැටුණේය. උයන්පල්ලා ද තමාට කරගත හැකි උපායක් නොදිටීය. එකල්හි ඒ පුරුෂයා එතැනට ගොස් උයන්පල්ලාට මෙසේ කීවේය.
“ඉදින් තොපි මේ දඬු හා අතු පත් මට දෙන්නේ නම්, මම සියලු දඬු සහ කොළ උයනින් පිටත් කර දමන්නෙමි.”
උයන්පල්ලා, “යහපත යහළුව, රැගෙන යන්න” යැයි එකඟ විය.
චුල්ලන්තේවාසික තෙම කුඩා ළමුන්ගේ කෙළි මඩුල්ලට ගොස් උක් හකුරු දී, මොහොතකින් ඒ සියලු දඬු සහ කොළ කුඩා ළමුන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකඩ ගොඩ ගැසුවේය. එකල්හි රජගෙට වළං සපයන කුඹල්කරු රජගෙට වළං පිලිස්සීම සඳහා දර සොයා ඇවිදින්නේ, උයන දොරකඩ තිබූ ඒ දර ගොඩ දැක ඔහුගෙන් මිල දී ගත්තේය.
එදින චුල්ලන්තේවාසික තෙම දහසය කහවණුවක් සහ සැළි ආදී වූ වළං පන්සියයක් ද ලැබුවේය. ඔහු වෙළඳාම් කිරීමෙන් කහවණු විසිහතරක් වූ කල්හි, “මට මේ උපාය ඇතැ” යි සිතා නුවර දොරටුවට නුදුරු තැනක පැන් සැලක් තබාගෙන, පන්සියයක් තණකොළ කපන පුරුෂයන්ට පැන් දුන්නේය. ඔවුහු මෙසේ කීහ.
“යහළුව, තොපි අපට බොහෝ උපකාර කළෙහිය. තොපට අපි කුමක් කරමුද?”
එකල්හි චුල්ලන්තේවාසිකයා, “මාගේ කාර්යයක් පැමිණි කල්හි කියන්නෙමි” යැයි කියා, ඔබ මොබ ඇවිදින්නේ ගොඩබිම් වෙළඳාම් කරන්නවුන් සමඟත්, මුහුදු වෙළඳාම් කරන්නවුන් සමඟත් මිත්‍ර වී ගත්තේය.
එකල්හි ඔහුට ගොඩබිම් වෙළඳාම් කරන්නවුන්ගේ ප්‍රධාන පුරුෂයා, “හෙට දින මේ නුවරට අශ්ව වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් රැගෙන එන්නේය” යැයි කීවේය.
ඔහු ඒ වචනය අසා තණකොළ ගෙනෙන්නා වූ පන්නයන්ට (තණ කපන්නන්ට), “අද මට එක් අයෙක් තණ මිටිය බැගින් දෙන්න. මා තණකොළ විකුණන්නට කලින් තොපි කිසිවෙක් තණ නොවිකුණන්න” යැයි කීවේය. එකල ඔවුහු හැමදෙනා “යහපතැ” යි එකඟ වී පන්සියයක් තණ මිටි ගෙනැවිත් ඔහුගේ නිවස දොර තැබූහ.
අශ්ව වෙළෙන්දා මුළු නුවරම ඇවිද අශ්වයන්ට තණකොළ නොලැබ, ඒ චුල්ලන්තේවාසිකයාට කහවණු දහසක් දී තණකොළ මිලදී ගත්තේය.
ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කල සමුද්‍ර යාත්‍රාවෙන් වෙළඳාම් කරන්නා වූ යහළුවා ඔහුට කියන්නේ, “තොටුපළට නැවක් ආවේය” යැයි කීවේය.
එකල චුල්ලන්තේවාසික පුරුෂයා “මට මේ උපායෙන් ප්‍රයෝජන ඇතැ” යි සිතා, කහවණු අටක් දී සියලු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන, මහත් වූ යස පිරිවරින් බටහිර තොටුපළ ගමට ගොස්, පේරැස් මුද්දක් නැවට අත්තිකාරම් වශයෙන් දී, නුදුරු තැනක වට කොට තිරයක් බඳවා, ළඟ සිටි චර පුරුෂයන්ට මෙසේ විධාන කළේය.
“පිටතින් වෙළෙන්දෝ එත් නම්, රැකවල් තුනකින් මෙහෙවර කියා (අවසර ගෙන) මා සමීපයට කැඳවාගෙන එන්න.”
එකල “පටුනු ගමට නැවක් පැමිණියේය” යැයි අසා බරණැස් නුවරින් වෙළෙන්දෝ සියයක් “බඩු ගනිමු” යැයි ආවාහුය. නැවේ බඩු වෙළඳාම් කරන්නා වූ මනුෂ්‍යයෝ මෙසේ කීහ.
“අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තැන සිටින මහා වෙළඳාණන් විසින් අත්තිකාරම් දෙන ලද්දේය.”
ඒ බස් අසා බරණැස් නුවර වෙළෙන්දෝ ඒ චුල්ලන්තේවාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමුව දුන් විධාන පරිදි රැකවල් තුනකින් තුන් වරක් ඔබිනොබ මෙහෙවර කියා අවුත් ඒ වෙළෙන්දන් ආ බව කියා යැවූහ. වෙළෙන්දෝ චුල්ලන්තේවාසිකයාට එක් අයෙක් දහස බැගින් දී, “චුල්ලන්තේවාසික පුරුෂයා සමඟ නැව් බඩු ගනිමු” යැයි කොටස් ලබාගෙන, නැවත එක් අයෙක් දහස බැගින් දී නැවත බඩු මුදවාගෙන බඩු තමන් සන්තක කළාහ.
චුල්ලන්තේවාසික තෙම දෙලක්ෂයක් වස්තුව උපයාගෙන බරණැස් නුවරට අවුත්, “සත්පුරුෂයන්ට කෙළෙහි ගුණ දැක්වීම සුදුසු වේ” යැයි සිතා ලක්ෂයක් වස්තුව ගෙන්වාගෙන චුල්ල සිටාණන් සමීපයට ගියේය.
එකල්හි සිටාණෝ ඔහුට, “දරුව, තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දේද?” යැයි ඇසූහ. මළ මීයා විකිණීමේ සිට සියලු ප්‍රවෘත්තිය ඔහු කීවේය.
චුල්ල සිටාණෝ ඔහුගේ බස් අසා, “මෙබඳු පුරුෂයෙකු අනුන්ට අතහැර දැමීම සුදුසු නොවන්නේය” යැයි කියා වැඩිවිය පැමිණ සිටි තමන්ගේ දියණිය ඔහුට විවාහ කර දී සියලු තමන්ගේ වස්තුවට හිමිකාරයා කළහ. ඒ පුරුෂයා චුල්ල සිටාණන්ගේ ඇවෑමෙන් ඒ නුවර සිටු තනතුර ලැබුවේය. මහ බෝසතාණෝ දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.
තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, මත්තෙහිත් ධර්ම දේශනා කොට, “යම් සේ නුවණැති පුරුෂයෙක් මද ගින්නක් ක්‍රමයෙන් ගොම, දර ආදිය දමා මුඛයෙන් පිඹ මහත් වූ ගිනි කන්දක් කරන්නේ ද, එපරිද්දෙන්ම නුවණැති සත්වයා යම් ස්වල්ප වූ බඩු මිලක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තුව හා යසස වර්ධනය කරන්නේය” යැයි වදාළ සේක.
මෙසේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, චුල්ලපන්ථක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහන්තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මයෙහි මහත් භෝග මහන්තත්වයට පැමිණියෝය” යැයි මේ ධර්ම දේශනාව වදාරා, අතීත කතාවත් වර්තමාන කතාවත් දෙකම එක් කොට පූර්වාපර සන්ධි ගළපා මේ චුල්ලසෙට්ඨි ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි චුල්ලන්තේවාසික පුරුෂයා නම් දැන් මේ චුල්ලපන්ථක ස්ථවිරයෝය. එසමයෙහි චුල්ල සිටුව උපන්නේ දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම වෙමි” යැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.