6. දධිවාහන ජාතකය (186)

star_outline

“වණ්ණගන්‍ධ රසූපෙතො” (වර්ණ ගන්ධ රසයෙන් යුක්ත වූ) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සමයේ, විරුද්ධ පාර්ශ්විකයන් (දුශ්ශීලයන්) ඇසුරු කළ භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව මුලින් සඳහන් කළ කථාව හා සමානය. ශාස්තෲන් වහන්සේ වනාහි, “මහණෙනි! පවිටන් සමග වාසය කිරීම ලාමකය, අනර්ථකාරීය. එහිදී මනුෂ්‍යයන්ට පවිටන්ගේ ආශ්‍රය අනතුරුදායක බව කියනුම කවරේද? පෙර තිත්ත වූ, අමිහිරි කොහොඹ ගසක් සමග වාසයට පැමිණ, මිහිරි රස ඇති දිව්‍ය රසය හා සමාන වූ සිත් නැති අඹ ගස පවා අමිහිරි තිත්ත එකක් බවට පත්වූයේ ය” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයේ, කාසි රටෙහි බමුණු සහෝදරයෝ හතර දෙනෙක් තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාල වනයෙහි පිළිවෙලින් පන්සල් තනාගෙන වාසය කළාහුය. ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා කලුරිය කොට ශක්‍ර පදවියට පත්විය. හෙතෙම ඒ කාරණය දැන, අතරින් පතර සත් අට දවසක් ගිය තැන සහෝදරයන් තුන්දෙනාට උපස්ථාන කිරීම පිණිස පැමිණෙන්නේ, එක් දවසක් වැඩිමල් තවුසා වැඳ එකත්පසෙක හිඳ, “ස්වාමීනි! ඔබවහන්සේට කිනම් දෙයක් අවශ්‍ය දැ?” යි විචාළේය. පාණ්ඩු රෝගයෙන් පෙළෙන තාපසයා, “මට ගින්නෙන් ප්‍රයෝජන ඇතැ” යි කීවේය. ශක්‍රයා ඔහුට වෑ පොරවක් (වාසි ඵරසුවක්) දුන්නේය. ‘වාසි ඵරසුව’ නම් මිටට ඇතුල් කිරීමේ ක්‍රමයට අනුව වෑය ද වේ, පොරව ද වේ. එවිට තවුසා, “කවරෙක් මේ පොරොව ගෙන දර ගෙන එන්නේ දැ?” යි ඇසීය. ඉක්බිති ශක්‍රයා ඔහුට, “ස්වාමීනි! ඔබට දර අවශ්‍ය වූ විට අත ඔසවා ‘මේ පොරොව මට දර ගෙනවිත් ගිනි දල්වන්න’ යැයි කියන්න. එවිට එය දර ගෙනවිත් ගිනි දල්වා දෙන්නේ ය” යි කීවේය. මෙසේ කියා ඔහුට වෑ පොරව දී දෙවැන්නා ළඟට ගොස්, “ස්වාමීනි! ඔබවහන්සේට කුමකින් ප්‍රයෝජන ඇත් දැ?” යි විචාළේය. ඔහුගේ පන්සල අසලින් ඇතුන් යන මාර්ගයක් තිබිණි. තවුසා “මම ඇතුන්ගෙන් පීඩාවට පත්ව සිටිමි. ඇතුන් නිසා මට දුකක් උපදියි. ඔවුන් පලවා හරින්නැ” යි කීවේය. ශක්‍රයා ඔහුට එක් බෙරයක් ඉදිරිපත් කොට, “ස්වාමීනි, මේ බෙර ඇසට ගැසූ විට ඔබගේ සතුරෝ පලා යන්නෝය. මේ පැත්තට ගැසූ විට මෙත් සිත් ඇතිව සිව්රඟ සේනාවෙන් පිරිවරා ගන්නේ ය” යි කියා ඒ බෙරය දී, බාල සහෝදරයා සමීපයට ගොස්, “ස්වාමීනි! ඔබ වහන්සේට කවර දෙයකින් ප්‍රයෝජන දැ?” යි විචාළේය. ඔහු ද පාණ්ඩු රෝගියෙකි. එහෙයින් “මට දීකිරිවලින් ප්‍රයෝජන ඇතැ” යි කීවේය. ශක්‍රයා ඔහුට එක් මිදුණු කිරි (දීකිරි) කලයක් දී, “ඉදින් ඔබ කැමති වන්නේ නම් මෙය මෙසේ වත් කරන්න; එවිට මහ ගඟක් වී, මහා සැඩ පහරක් ඇති වී නුඹ වහන්සේට රාජ්‍යය ලබා දෙන්නට පවා සමත් වන්නේ ය” යි කියා නික්ම ගියේය. එතැන් පටන් වෑ පොරව වැඩිමල් සහෝදරයාට ගිනි සපයයි. අනිකා විසින් බෙර ඇසට පහර දුන් විට ඇත්තු පලා යති. බාල සහෝදරයා දීකිරි අනුභව කරයි.

එකල එක්තරා ඌරෙක් පැරණි ගමක් තිබුණු තැනක හැසිරෙන්නේ, ආනුභාව සම්පන්න වූ එක් විශාල මැණිකක් දුටුවේය. ඒ ඌරා ඒ ලොකු මැණික කටින් ඩැහැගෙන, එහි බලයෙන් අහසට පැන නැගී, මුහුද මැද එක් දිවයිනකට ගොස්, “දැන් මා විසින් මෙහි වාසය කිරීමට වටින්නේ ය” යි සිතා, එහි බැස පහසු තැනක වූ එක් තිඹිරි (දිඹුල්) ගසක් මුල වාසය කළේය. දිනක් ඒ ඌරා ඒ ගස මුල මැණික තමා ඉදිරියෙහි තබා නින්දට ගියේය. ඉක්බිති කාසි රට වැසි එක්තරා මිනිසෙක්, “මොහු අපට වැඩකට නැති අයෙකැ” යි මව්පියන් විසින් ගෙදරින් නෙරපන ලද්දේ, වරායක් සහිත වූ ගමකට ගොස් නැවියන්ගේ කම්කරුවෙක් වී නැවකට නැගී යන්නේ, මුහුද මැදදී නැව කැඩුණු නිසා ලෑල්ලක් පිහිට කරගෙන ඒ දිවයිනටම පැමිණියේය. එහි ලොකු කුඩා පළතුරු සොයන්නේ, ඒ ඌරා නිදන අයුරු දැක සෙමින් ගොස් ලොකු මැණික ගෙන, එහි අනුහසින් අහසට පැන නැගී දිඹුල් ගසේ හිඳගෙන මෙසේ සිතුවේය: “මේ ඌරා මේ මැණිකේ ආනුභාවයෙන් අහසින් සැරිසරන්නෙකු වී මෙහි වාසය කරන්නේ යැයි සිතමි. මා විසින් පළමුවෙන්ම මූ මරා මස් කා පසුව යාම වටී.” හෙතෙම එක් දණ්ඩක් කඩා ඌරාගේ හිසට හෙළුවේය. ඌරා අවදි වී මැණික නොදැක වෙව්ලමින් ඒ මේ අත දුවයි. ගස උඩ සිටි පුරුෂයා සිනාසුනේය. ඌරා වටපිට බලන්නේ ඒ පුරුෂයා දැක, ඒ ගසට හිසෙන් පහර දී එහිම මළේය.

ඒ පුරුෂයා ගසින් බැස ගිනි දල්වා ඌරාගේ මස් පුළුස්සා කා අහසට පැන නැගී, හිමාල වනය උඩින් යන්නේ අසපුව දැක, දෙටු තවුසාගේ අසපුව ළඟට බැස දෙතුන් දිනක් වාසය කොට තවුසාට වත් පිළිවෙත් කළේය. වෑ පොරවේ බලමහිමය ද දුටුවේය. ඔහු “මෙය මා විසින් ලබා ගැනීම වටනේ ය” යි සිතා මැණිකේ බලය ද තාපසයාට දක්වා, “ස්වාමීනි! මාගේ මේ මැණික ගෙන වෑ පොරව මට දෙව” යි කීවේය. තාපසයා අහසින් හැසිරෙනු කැමැත්තේ ඒ මැණික ගෙන වෑ පොරව ඔහුට දුන්නේය. ඔහු එය ගෙන ටික දුරක් ගොස් වෑ පොරව පිරිමැද, “වෑ පොරව! තවුසාගේ හිස සිඳ ලොකු මැණික මට ගෙන එව” යි කීවේය. වෑ පොරව ගොස් තවුසාගේ හිස සිඳ මැණික් ගල ගෙනාවේය. හෙතෙම වෑ පොරව සැඟවුණු තැනක තබා, මැද තවුසා ළඟට ගොස් කීප දිනක් වාසය කොට බෙරයෙහි බලය දැක, ලොකු මැණික දී බෙරය ගෙන, පෙර පරිද්දෙන්ම ඔහුගේ ද හිස ගස්වා මැරවීය. අනතුරුව බාල තවුසා වෙත එළඹ, දීකිරි කලයේ බලමහිමය අසා, ලොකු මැණික දී දීකිරි කළය ද ගෙන, පෙර පරිද්දෙන්ම ඔහුගේ හිස සිඳුවා ලොකු මැණික ද, වෑ පොරව ද, බෙරය ද, දීකිරි කළය ද රැගෙන අහසට පැන නැගී බරණැසට නුදුරෙහි සිට, “රාජ්‍යය දෙව, නැතිනම් යුද්ධ කරව” යි බරණැස් රජුට ලිපියක් යැවීය.

රජතුමා එම පණිවුඩය අසාම, “සොරා අල්ලන්නෙමි” යි නික්මුනේය. අර පුරුෂයා බෙරයේ එක් පලුවකට පහර දුන්නේය. එවිට සිවුරඟ සෙනඟ ඔහු වටා පිරිවරා ගත්හ. (සතුරුව සිටි) රජතුමා තමා යටපත් කරන බව දැන දීකිරි කළය විවෘත කොට විසිරෙව්වේය. එවිට මහ ගඟක් මතු විය. මහජනයා දීකිරිවල එරී නික්මෙන්නට නොහැකි වූහ. එවිට ඔහු වෑ පොරව පිරිමැද “රජුගේ හිස ගෙන එව” යි කීවේය. වෑ පොරව ගොස් රජුගේ හිස රැගෙන විත් ඔහුගේ පාමුල දැම්මේය. එකෙකුටවත් ආයුධ ඔසවන්නට සමත් නොහැකි විය. ඔහු මහත් බලයෙන් පිරිවරා ගන්නා ලද්දේ නගරයට පිවිස, අභිෂේක කරවා, ‘දධිවාහන’ නම් රජ වී දැහැමින් රජකම් කළේය.

Story Illustration දධිවාහන රජු මායාමය ආයුධවලින් සේනාව පරදවන අයුරු

දිනක් ඔහු මහ ගඟෙහි දැල් කොටුවක ජල ක්‍රීඩා කරද්දී, කර්ණ මුණ්ඩ නම් විලෙන් දෙවියන් විසින් පරිභෝග කරන ලද එක් අඹ ගෙඩියක් ගඟෙහි ගසාගෙන අවුත් දැලෙහි රැඳුනේය. දැළ ඔසවන්නෝ එය දැක රජුට දුන්නාහුය. එය ලොකු කලයක් පමණ වූ රවුම් රන්වන් ගෙඩියක් විය. රජතුමා “මේ කිනම් ගෙඩියක් දැ?” යි වැද්දන්ගෙන් විචාරා, අඹ ගෙඩියක් යැයි අසා, අඹ රස විඳ, ඒ ඇටය තම රජ උයනේ සිටුවා කිරි දිය ඉස්සවීය. ගස වැඩී තුන්වන අවුරුද්දේ ගෙඩි හට ගත්තේය. අඹ ගසට සත්කාර වැඩි කළේය. කිරි දියර ඉසිති; සුවඳ පසඟුල් දෙති; මල්දම්වලින් වටකරති; සුවඳ තෙලින් පහන් දල්වති. ඒ අඹ ගසට වටිනා පටසළුවෙන් කළ ආවරණයක් ද විය. මිහිරි අඹ ගෙඩි රන්වන් විය. දධිවාහන රජතුමා සෙසු රජවරුන්ටත් අඹ ඵල යවන්නේ, ඔවුන් අඹ ඇට සිටුවා අඹ ගස් රෝපණය කරාවි යන බියෙන්, අංකුර හටගන්නා තැන වඩු කටුවලින් විද යැව්වේය. ඔවුන් ඒ අඹ අනුභව කොට සිටුවන ලද ඇට පැල නොවෙයි. ඔවුහු “මීට හේතුව කවරේ දැ?” යි විමසමින් ඒ රහස දැන ගත්තාහුය.

මේ අතර එක්තරා රජෙක් උයන්පල්ලෙකු කැඳවා, “දධිවාහන රජුගේ අඹවල රස නසා තිත්ත භාවයට පත්කළ හැකි වන්නෙහි දැ?” යි විචාරා, “එසේය දේවයන් වහන්ස” යි කී කල්හි, “එසේ නම් යව” යි දහසක් දී යැව්වේය. හෙතෙම බරණැසට ගොස්, “එක් උයන්පල්ලෙකු පැමිණියේ ය” යි රජුට දන්වා රජු විසින් කැඳවන ලද්දේ, රජු වෙත පිවිස වැඳ ගත්තේය. “නුඹ උයන්පල්ලෙක් දැ?” යි රජු ඇසූ විට, “එසේය දේවයන් වහන්ස” යි කියා තමන්ගේ හැකියාවන් හා බලමහිමය වර්ණනා කළේය. රජතුමා “යව, අපගේ උයන්පල්ලා සමීපයේ සිටුව” යි කීවේය. ඔවුන් දෙදෙනා එතැන් පටන් උයන රැකබලා ගත්හ. අලුතින් පැමිණි උයන්පල්ලා අකාලයෙහි මල් හා ගෙඩි ඇති කරමින් උයන සිත්කලු කළේය. රජතුමා ඔහුට පැහැදී පැරණි උයන්පල්ලා ඉවත් කොට අලුත් උයන්පල්ලාට උයන බාර කළේය. හෙතෙම උයනේ පාලනය තමන් අතට පත් වූ බව දැන, අඹ ගස වට කොට කොහොඹ ගස් ද, අඟුන වැල් ද රෝපණය කළේය. පිළිවෙලින් කොහොඹ ගස් වැඩුණේය. මුලෙන් මුල ද, අත්තෙන් අත්ත ද ගැටී එකිනෙක වෙලී බැඳුණේය. ඒ නිසා කටුක අමිහිරි රස එක්වීමෙන් එතෙක් මිහිරිව තිබූ අඹ ඵල තිත්ත රස විය. කොහොඹ කොළ රසට සමාන විය. අඹ ඵල තිත්ත බව දැන උයන්පල්ලා පලා ගියේය.

දධිවාහන රජතුමා උයනට ගොස් අඹ ගෙඩි කන්නේ, කටට ගත් අඹ රසය කොහොඹ කහට මෙන් වූයෙන් ගිලින්නට නොහැකිව, කාරා බිම හෙලීය. එකල බෝසතාණන් වහන්සේ ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නෙකු වූ සේක. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා, “පණ්ඩිතයෙනි, මේ අඹ ගසට කළ යුතු සත්කාරයෙන් අඩුවක් නැත. එසේ තිබියදීත් අඹ ගෙඩි තිත්ත විය. ඒ කුමක් නිසා දැ?” යි විමසමින් පළමු ගාථාව කීවේය.

“පෙර මේ අඹ වර්ණයෙන්, සුවඳින් හා රසයෙන් යුක්ත වූයේ විය. ඒ පුද සැලකිලිම ලබද්දීත්, අඹ දැන් අමිහිරි තිත්ත රස වූයේ කුමක් නිසාද?”

ඉක්බිති අඹ නීරස වීමට කරුණු කියන්නා වූ බෝසතාණන් වහන්සේ මෙම දෙවන ගාථාව කී සේක.

“දධිවාහන රජතුමනි, ඔබගේ මේ අඹ ගස දැන් කොහොඹ ගස් පිරිවර කොට ඇත්තේය. (කොහොඹ) මුලෙන් (අඹ) මුල බැඳී, අත්තෙන් අත්ත ගැටී පවතියි. මෙසේ අමිහිරි කොහොඹ සමග එක්වීමෙන් මිහිරි අඹ ගස තිත්ත ඵල ඇත්තේ වී ය.”

එහි පුචිමන්‍ද පරිවාරො යනු කොහොඹ ගස් පිරිවර කොට ඇති බවයි. සාඛා සාඛා නිසෙවරෙ යනු කොහොඹ අතු හා අඹ අතු එකට ඇසුරු කිරීමෙන් හා ගැටීමෙන් පවතින බවයි. අසාත සන්නිවාසෙන යනු අමිහිරි කොහොඹ සමග ඇසුරු කිරීමෙනි. තෙන යනු ඒ කාරණයෙන් අයං අම්බො කටුකප්ඵලො හෙවත් මේ අඹ ගස අමිහිරි තිත්ත ඵල ඇත්තේ වී ය.

රජතුමා ඔහුගේ වචනය අසා සියලුම කොහොඹ ගස් ද, අඟුන වැල් ද කපා දමවා, මුල් උදුරා දමවා, වටේට අමිහිරි රස උපදවන පස් ඉවත් කොට, මිහිරි බව ඇති කරන පස් දම්මවා, කිරි වතුර, හකුරු සහ සුවඳ දියෙන් අඹ ගසට සත්කාර කරවීය. ඒ අඹ ගස මිහිරි රස සංයෝගයෙන් නැවත මිහිරි රස ඇත්තේ විය. රජතුමා මුල් උයන්පල්ලාටම උයන පවරා දී, දිවි ඇති තෙක් වාසය කොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල නුවණ ඇති ඇමතියා වූයේ මම ම ය.”

දධිවාහන ජාතක කථා වර්ණනාව නිමාවිය.