8. සීහකොත්ථුක ජාතකය (188)

star_outline

සීහංගුලී සීහනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. එක් දිනක් කෝකාලික භික්ෂුව, අන්‍ය වූ බහුශ්‍රැත ධර්මකථිකයන් වහන්සේලා ධර්මය දේශනා කරන කල්හි තමන් ද ධර්මය දේශනා කිරීමට කැමති විය යනාදී සියලු විස්තරය (පෙර කතා වස්තුවල) මුලින් කියන ලද පරිදි දත යුතුය. ඒ ප්‍රවෘත්තිය අසා බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, කෝකාලික භික්ෂුව තමාගේ හඬ නිසා ප්‍රකට වූයේ දැන් පමණක් නොවේ, පෙර ද (හඬ නිසාම) ප්‍රකට විය” යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි, අප මහා බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි සිංහයෙක් ව ඉපිද, එක් හිවලියක සමඟ සංවාසයේ යෙදීමෙන් පුතෙකු ලැබූහ. ඒ සිංහ පැටවා ඇඟිලිවලින්, නියවලින්, කෙසරවලින්, වර්ණයෙන් හා ශරීර සටහනින් පියාට සමාන වූ නමුත් කටහඬින් මවට සමාන විය. ඉක්බිති එක් දිනක් වැසි වැස පහව ගිය කල්හි සිංහයන් නාද කරමින් ක්‍රීඩා කරන විට, ඒ සිංහ පැටවා ද සිංහයන් අතර සිට නාද කිරීමට කැමති ව හිවල් හඬින් නාද කළේ ය. එවිට ඔහුගේ ශබ්දය අසා සිංහයෝ නිහඬ වූහ. ඔහුගේ හඬ අසා බෝසතාණන් වහන්සේගේ ජාතියෙහි උපන් අනිත් සිංහ පුත්‍රයා, “පියාණෙනි, මේ සිංහයා වර්ණ ආදියෙන් අප හා සමාන ය. එහෙත් මොහුගේ ශබ්දය වනාහි වෙනස් ය. මේ කවරෙක් ද?” යි විමසමින් පළමු වන ගාථාව පැවසී ය.

“සිංහයන්ට බඳු ඇඟිලි ඇති, සිංහයන්ට බඳු නිය ඇති, සිංහ පාදයන්ගෙන් පිහිටියා වූ මේ සිංහ තෙමේ, සිංහ රංචුවෙහි සිටිය ද හුදෙකලාව අන් අයුරකින් (හිවල් හඬින්) නාද කරයි.”

එහි සීහපාදපතිට්ඨිතො යනු සිංහ පාදවලින් ම පිහිටියේ (සිංහ පාද ඇති) යන්න යි. එකො නදති අඤ්ඤථා යනු තනි ව ම සෙසු සිංහයන්ට අසමාන වූ හිවල් හඬින් නාද කරමින් අන් අයුරකින් හඬ නගයි යන්න යි.

එය අසා බෝසතාණන් වහන්සේ, “දරුව, මේ ඔබේ සහෝදරයා ය; හිවලියගේ පුත්‍රයා ය. රූපයෙන් මා හා සමාන ය; හඬින් මව හා සමාන ය,” යැයි කියා හිවලියගේ පුතා අමතා, “දරුව, ඔබ මෙතැන් පටන් මෙහි වසන තාක් කල් ශබ්ද නොකර වාසය කරන්න. ඉදින් යළිත් නාද කළොත් ඔබේ හිවල් බව ඔවුහු දැනගන්නාහු ය,” යි අවවාද දෙමින් දෙවන ගාථාව වදාළහ.

“සිංහ රාජයාගේ පුත්‍රයාණෙනි, ඔබ නාද නොකරන්න. නිහඬ ව වනයෙහි වාසය කරන්න. ඔබ ව ඔබේ ස්වරයෙන් (හඬින්) හඳුනා ගනිති. ඔබට පියාගේ කටහඬ පිහිටා නැත.”

එහි රාජපුත්ත යනු මෘගරාජ වූ සිංහයාගේ පුත්‍රයාණෙනි යන්න යි. මේ අවවාදය අසා නැවත ඒ සිංහ පැටවා නාද කරන්නට උත්සාහ නොකළේ ය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල හිවලා නම් කෝකාලික භික්ෂුව විය. සහජාත පුත්‍රයා රාහුල කුමාරයා ය. මෘගරාජයා (සිංහයා) වනාහි මම ම වූවෙමි” යි වදාළ සේක.

අටවන වූ සීහකොත්ථු ජාතක වර්ණනාව නිමාවිය.