1. අසදිස ජාතකය (181)

star_outline

“ධනුග්ගහො අසදිසො” (අසමසම දුනුධරයා) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සමයෙහි උන්වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය මුල්කරගෙන දේශනා කළ සේක. එක් දිනක් භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහි රැස්ව භාග්‍යවතුන් වහන්සේගේ මහා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වර්ණනා කරමින් වැඩ සිටියාහුය. එහි වැඩම කළ ශාස්තෲන් වහන්සේ, “මහණෙනි, නුඹලා දැන් කිනම් කතාවකින් යුතුව සිටියහුදැ”යි විචාරා, “මේ කතාවෙනි”යි පැවසූ කල්හි, “මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් මහාභිනිෂ්ක්‍රමණය කළාහු නොවෙති. පෙරත් රජ සැප හැරදමා (සේසත හැරදමා) නික්මුණාහු ය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරන කල්හි බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඒ දරුවා නිරුපද්‍රිතව උපන් බැවින්, නම් තබන දවසේ “අසදිස” (අසමසම) කුමාරයා යයි නම් කළහ. ඉක්බිති මොහු ඇවිදින දුවපැන නටන අවධියේ තවත් පින් ඇති දරුවෙක් (සත්ත්වයෙක්) දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුද නිරුපද්‍රිතව උපන් බැවින් නම් තබන දවසේ “බ්‍රහ්මදත්ත” කුමාරයා යයි නම් කළහ. ඔවුන් දෙදෙනාගෙන් බෝසතාණන් වහන්සේ සොළොස් වයස් කාලයේ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්‍රිවේදය ද අටළොස් ශිල්ප ද ඉගෙනගෙන, එම ශිල්ප අතරින් දුනු ශිල්පයෙහි අසමාන (අසදිස) පුහුණුවක් ලබාගෙන බරණැසට පෙරළා පැමිණියහ. පිය මහරජතුමා මරණාසන්න කාලයේ “අසදිස කුමාරයාට රාජ්‍යය දී බ්‍රහ්මදත්ත කුමරුට යුවරජකම දෙව”යි කියා සිටියදී කලුරිය කළේය. පියා කලුරිය කළ කල්හි බෝසතාණන් වහන්සේට රාජ්‍යය පවරද්දී “මට රාජ්‍යයෙන් ඵලක් නැතැ”යි රජකම ප්‍රතික්‍ෂේප කළහ. එබැවින් බ්‍රහ්මදත්ත කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ “මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැතැ”යි කිසිවක් නොකැමැති වූ සේක. කණිටු සොහොයුරා රජ කරද්දී සාමාන්‍ය ස්වභාවයෙන්ම විසූහ. රජතුමා ළඟින්ම ඇසුරු කරන රාජපාදමූලිකයෝ, “අසදිස කුමාරයා රජකම බලාපොරොත්තු වන්නේ ය”යි කියා රජු ලවා බෝධිසත්ත්වයන් කෙරෙහි සිත් බිඳවූහ. රජතුමා ද ඔවුන්ගේ වචනය විශ්වාස කොට බිඳුණු සිත් ඇත්තේ “මගේ සහෝදරයා අත්අඩංගුවට ගනිව්” යයි මිනිසුන් යෙදවීය.

ඉක්බිති බෝසතාණන් වහන්සේගේ යහපත කැමති එක් සේවකයෙක් ඒ බව දැන්වීය. බෝසතාණන් වහන්සේ බාල සහෝදරයා කෙරෙහි කිපී නගරයෙන් නික්ම වෙනත් රටකට ගොස් “එක් දුනුවායෙක් අවුත් රජ දොරටුවේ සිටියේ ය”යි රජුට දැන්වූහ. රජතුමා “ධනය කොපමණ බලාපොරොත්තු වන්නේදැ”යි විචාළේය. “වසරකට කහවණු ලක්ෂයක්” යැයි කී විට “හොඳයි එන්නැ”යි කීවේය. ඉක්බිති රජතුමා අවුත් සමීපයේ සිටි ඔහුගෙන් “නුඹ දුනුවායෙක්දැ”යි ඇසීය. “එසේය දේවයන් වහන්ස!” “යහපති, මට උපස්ථාන කරව”යි කීය. හෙතෙම එතැන් පටන් රජුට උපස්ථාන කළේය. ඔහුට දෙන වියදම් ප්‍රමාණය දැක “මොහු අති විශාල වැටුපක් ලබයි” කියා පැරණි දුනුවායෝ දොස් නැගූහ. ඉක්බිති එක් දිනක් රජතුමා උයනට ගොස් මඟුල් ගල්තලාව සමීපයෙහි තිර රෙදිවලින් වට කරවා අඹ ගස මුල මහා යහනක වැතිරුණේ උඩ බලමින් ගස මුදුනෙහි එක් අඹ පොකුරක් දැක, “මෙය ගසට නැග කඩාගන්නට නොහැකිය”යි සිතා දුනුවායන් කැඳවා “මේ අඹ පොකුර ඊතලයෙන් විද කඩා හෙළන්නට හැකිදැ”යි ඇසීය. “දේවයන් වහන්ස, මෙය අපට බැරිකමක් නැත. දේවයන් වහන්සේ විසින් බොහෝ වාරවලදී අපේ ක්‍රියා දැක ඇත. එහෙත් අළුතෙන් පැමිණි දුනුවායා අපට වඩා වැඩි වැටුප් ලබයි. ඔහු ලවා කඩවා ගනු මැනවැ”යි කීහ.

රජතුමා බෝසතාණන් වහන්සේ කැඳවා, “දරුව, මේ අඹ පොකුර බිම හෙළිය හැකි වන්නේදැ”යි ඇසීය. “එසේය මහරජ, සුදුසු අවස්ථාවක් ලබන්නේ නම් හැකි වන්නෙමි”යි කීය. “කොතැනකදැ”යි රජ ඇසීය. “ඔබ වහන්සේගේ සයනය තිබෙන තැන ය”යි බෝසත්හු කීහ. රජතුමා සයනය ඉවත් කරවා ඉඩ සැලැස්වීය. බෝධිසත්ත්වයන් වහන්සේගේ අතෙහි දුන්නක් නැත. ඇඳුම් අතරෙහි සඟවාගෙන (කොටස් වශයෙන්) හැසිරෙයි. ඒ නිසා “වටතිරයක් ලැබිය යුතුය”යි කීහ. රජතුමා “යහපතැ”යි තිරයක් ගෙන්වා වට කෙරෙව්වේය. බෝසතාණන් වහන්සේ තිරය ඇතුළට පිවිස උඩින් ඇඳ සිටි සුදු වස්ත්‍රය ඉවත් කොට එක් රතු පාට වස්ත්‍රයක් ඇඳ, බඳපටිය බැඳ, පසිම්බුවෙන් සන්ධි කළ හැකි කඩුව පිටතට ගෙන වම් උරේ එල්ලාගෙන, රන් හැට්ටය ඇඳගෙන ඊතල කොපුව පිටෙහි බැඳගෙන, කොටස් සවිකර තැනූ (සන්ධි යුක්ත) බැටළු අඟෙන් සාදන ලද මහා දුන්න අතින් ගෙන, පබලු වැලක් වැනි ඉතා රතු දුනු දියක් යොදාගෙන, නළල්පට හිසේ ගැට ගසා, තියුණු ඊතලය නියවලින් කරකවමින්, තිරය දෙබෑ කොට පොළොව පලාගෙන මතුවෙන සරසන ලද නාග රාජයෙකු මෙන් නික්මී ඊතල විදින තැනට ගොස් ඊතලය සූදානම් කොට රජතුමාට මෙසේ කීහ. “මහරජතුමනි, කෙසේද? මේ අඹ පොකුර උඩට යන ඊ පහරින් (ආරෝහණ කාණ්ඩයෙන්) බිම හෙළන්නෙම් ද? නැතිනම් පහළට එන ඊ පහරින් (අවරෝහණ කාණ්ඩයෙන්) බිම හෙළන්නෙම් ද?” “දරුව, මම බොහෝ විට උඩට යන ඊ පහරින් කැඩෙනු දැක ඇත්තෙමි. පහළට එන ඊ පහරින් කැඩෙනු දැක නැත්තෙමි. පහළට එන ඊ පහරින් හෙළන්නැ”යි කීය. “මහරජ, මේ ඊතලය චාතුර්මහාරාජික භවනය දක්වා ඉහළට ගොස් තෙමේම ආපසු බසින්නේය. ඊතලය බසින තුරු ඔබ වහන්සේ විසින් ඉවසා සිටීමට වටී ය”යි කීහ. රජතුමා “යහපතැ”යි පිළිගත්තේය.

Story Illustration අසදෘශ කුමාරයා දුන්න අතැතිව තිරයෙන් මෑත් වූ අයුරු

දුනුවායා නැවතත් රජුට මෙසේ කීවේය: “මහරජතුමනි, මේ ඊතලය වනාහි ඉහළ නගිමින් අඹ පොකුරේ නටුව මැදක් දක්වා කපාගෙන ඉහළ නගින්නේය. පහළට බසිමින් කෙසඟක් පමණවත් ඒ මේ අත නොගොස්, කැපූ සීමාවටම වැටී අඹ පොකුර ගෙන බසින්නේය. මහරජතුමනි, බලනු මැනවැ”යි වේගය උපදවා ඊතලය විද්දේය. ඊතලය අඹ පොකුරේ නටුව වැද අඩක් කපාගෙන ඉහළ නැංගේය. බෝසතාණෝ “දැන් ඒ ඊතලය චාතුර්මහාරාජික භවනය දක්වා යන්නට ඇතැ”යි දැනගෙන, පළමුව යැවූ ඊතලයට වඩා වේගයෙන් තවත් ඊතලයක් විද්දේය. එය ගොස් මුලින් යැවූ ඊයේ පසු කෙළවරට පහර ගසා ආපසු හරවා, එම දෙවන ඊය තව්තිසා භවනට නැගුනේය. එහිදී එය දෙවියෝ අල්ලා ගත්හ. ආපසු එන පළමු ඊතලයේ වාතය කපාගෙන එන ශබ්දය හෙණ හඬ මෙන් විය. මහජනයා විසින් “මේ කිනම් ශබ්දයක්දැ”යි විමසූ කල්හි බෝසතාණන් වහන්සේ, “ඒ ආපසු එන ඊතලයේ ශබ්දය” යයි කීහ. තම තමන්ගේ ශරීරවලට ඊය වැදේ යයි බියෙන් තැති ගත් මහජනයා “බිය නොවන්නැ”යි කියා අස්වසා “ඊතලය බිමට වැටෙන්නට නොදෙන්නෙමි”යි කීවේය. ඊතලය පහළට එමින් කෙසඟක් පමණවත් එහා මෙහා නොගොස් නටුවේ අඩක් කැපූ සීමාවටම වැටී අඹ පොකුර නටුවෙන් සිඳ දැමුවේය. බෝසතාණන් වහන්සේ අඹ පොකුර ද ඊතලය ද බිම වැටෙන්නට නොදී අහසේදීම පිළිගනිමින්, එක් අතකින් අඹ පොකුරත් අනිත් අතින් ඊයත් අල්ලා ගත්හ. මහජනයා ඒ අසිරිය දැක “අප විසින් මෙබඳු පුදුමයක් මීට පෙර දැක නැතැ”යි මහා පුරුෂයාට ප්‍රශංසා කරති; මහත් නාද කරති; අත්පොළසන් දෙති; ඇඟිලි පුරුක් ගසති (අසුරුසන් දෙති); උණ බට දහස් ගණනක හඬ පතුරුවති; වස්ත්‍ර උඩ දමති. තුටුපහටු වූ රජ පිරිස බෝසතාණන් වහන්සේට දුන් ධනය කෝටි ගණනකි. රජතුමා ද ඔහුට ධන වර්ෂාවක් වස්වන්නාක් මෙන් බොහෝ ධනය හා මහත් වූ යසස ලබා දුන්නේය.

මෙසේ රජතුමා විසින් සත්කාර ගරුකාර කරන ලද බෝසතාණන් වහන්සේ එහි වසන කල්හි, “අසදිස කුමාරයා බරණැස් නුවර නැතැ”යි දැනගත් රජවරුන් සත් දෙනෙක් පැමිණ බරණැස් නුවර වටකරගෙන “රාජ්‍යය දෙව, නැත්නම් යුද කරව”යි රජුට හසුනක් යැවූහ. බ්‍රහ්මදත්ත රජ මර බියෙන් බියපත් වී “මාගේ සහෝදරයා කොහි වසන්නේදැ”යි විචාරා, එක් අසල්වැසි රජ කෙනෙකුට උපස්ථාන කරන්නේ යයි අසා, “සහෝදරයා නොපැමිණියහොත් මගේ දිවි නැත; යව්, මාගේ වචනයෙන් ඔහුගේ පා වැඳ ක්‍ෂමා කරවා කැඳවාගෙන එව”යි දූතයන් යැවීය. ඔවුහු ගොස් බෝසතාණන්ට ඒ පුවත සැල කළාහුය. බෝසතාණන් වහන්සේ ඒ පුවත තමන් සේවය කළ රජතුමාට පවසා බරණැසට ආපසු ගොස්, සහෝදර රජතුමාට “බිය නොවන්නැ”යි අස්වසා, ඊතලයක අකුරු කොටා: “අසදිස කුමාරයා වන මම ආවෙමි. තවත් එක් ඊතලයක් විදිමින් තොප හැමදෙනාගේ දිවි තොර කරන්නෙමි. ජීවත් වීමට කැමති අය පලා යව”යි ලියා, අටල්ලෙහි සිට සත් රජවරුන් ආහාර අනුභව කරන රන් තලියෙහි ඇති නෙළුම් මොට්ටුව මත ඊතලය හෙළූහ. ඔවුහු ඒ අකුරු දැක මර බියෙන් සියල්ලෝම පලා ගියහ. මෙසේ බෝසතාණන් වහන්සේ කුඩා මැස්සෙකු බොන තරම්වත් ලේ බිඳක් හෝ නොසොල්වා, සත් රජවරුන් පලවා හැර, බාල සහෝදරයාට රජ සැප පවරා, කාම සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා හා සමාපත්ති උපදවාගෙන දිවි කෙළවර බඹලොව උපන්නාහ.

බුදුරජාණන් වහන්සේ, “මහණෙනි! මෙසේ අසදිස කුමාරයා සත් රජවරුන් පලවා හැර දිනන ලද යුද ඇත්තේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ ය”යි වදාරා අභිසම්බුද්ධ වී මේ ගාථා වදාළ සේක:

“මහත් වූ බල ඇති, ඊතලය දුරට විදිනා වූ, ඉලක්ක නොවරදවා විදින, මහා කායයන් පලන්නා වූ, අසදිස නම් රාජ පුත්‍ර දුනුවායා,”

“සියලු සතුරන් සමඟ යුද කොට පලවා හැර කිසිවෙකුත් නොපෙළීය. මලනුවන් සුවපත් කොට සීල සංයමයට (පැවිද්දට) පැමිණියේය.”

යන මේ ගාථා වදාළ සේක.

එහි අසදිසො යනු හුදෙක් නමින් පමණක් නොව බලයෙන්, වීර්යයෙන් හා නුවණින් ද අසමාන හෙවත් ‘අසදිස’ වේ. මහබ්බලො යනු කාය බලයෙන් හා ඤාණ බලයෙන් ද මහ බල ඇත්තේය. දූරෙපාතී යනු චාතුර්මහාරාජිකය හා තාවතිංස භවනය දක්වා ඊතලය යැවීමට සමත් බැවින් දුරට විදින්නේය. අක්ඛණවෙධී යනු නොවරද්දාම විදින්නේය. නැතහොත් ‘අක්ඛණ’ යයි විදුලියට කියනු ලැබේ; එක් විදුලියක් නික්මෙන විට ඇතිවන ඒ එළියෙන් සත් අට වරක් ඊතල ගෙන විදියි යන අර්ථයෙන් ‘අක්ඛණවෙධී’ නම් වේ. මහාකායප්පදාලනො යනු ලොකු ශරීර පලයි. ඒ මහා කාය සත (7) නම්:

  1. චම්ම කාය (සම් කය)
  2. දාරු කාය (දර කය)
  3. ලෝහ කාය
  4. අයො කාය (යකඩ කය)
  5. වාලිකා කාය (වැලි තලා කය)
  6. උදක කාය (ජල කය)
  7. ඵලක කාය (ලෑලි කය)

එහි සම් කය පලන අනිකෙක් මීහරක් හම සිදුරු කරයි; මොහු වනාහි මීහරක් සම් සියයක් වුව පසාරු කරයි. අනිකෙක් අඟල් අටක් ඝන තිඹිරි ලෑල්ලක් හෝ අඟල් හතරක් ඝන පියා ලෑල්ලක් (පියා පෝරු) සිදුරු කරයි; හෙතෙම (බෝසත්තුමා) වනාහි එකට බැඳි ලෑලි සියයක් වුවද සිදුරු කරයි. එසේම දෑඟුල් (අඟල් 2) ඝන තඹ තහඩුවක් ද, අඟලක් ඝන වූ යකඩ තහඩුවක් ද විදිනු ලබයි. වැලි කරත්තයක හෝ ලෑලි කරත්තයක හෝ පිදුරු කරත්තයක හෝ පසුපසින් ඊයක් යවා ඉදිරිපසින් විදියි. ප්‍රකෘති ජලයෙහි සතර උසබක් (රියන් 560ක්) පමණ ගැඹුරු තැනකට වුවද ඊ යවයි. ගොඩබිම අට උසබක් (රියන් 1120ක්) පමණ දුරට විදියි. මෙසේ මේ මහා කාය සත පලන බැවින් මහාකායප්පදාලනො නම් වේ. සබ්බාමිත්තෙ යනු සියලු අමිත්‍රයන්ය. රණං කත්වා යනු යුද්ධ කොට පලවා හැරියේය යන අර්ථයි. න ච කිඤ්චි විහෙඨයි යනු එකෙකු ද නොවෙහෙසුවේය; වෙහෙසට පත් නොකරමින්ම ඊතලය යැවීම් පමණකින්ම යුද කොට දිනුවේය. සංයමං අජ්ඣුපාගමී යනු සීල සංවරයට හෙවත් පැවිද්දට එළඹියේය යනුයි.

මෙසේ ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල බාල සහෝදරයා වූයේ දැන් මේ ආනන්දය. අසදිස කුමාරයා වනාහි මම ම වෙමි” යි වදාළ සේක.

පළමුවන අසදිස ජාතක වර්ණනාව නිමි.