මෙසේ හිරු අස්තයට යන්නට පළමු කොටම සපිරිවර මාර පරාජය කොට, රාත්‍රියේ පළමු යාමයෙහි තමාගේද අනුන්ගේද පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නට සමර්ථ වූ ‘පූර්වේනිවාසානුස්මෘති ඥානය’ ලබා, මධ්‍යම යාමයෙහි සකල සත්ත්වයන්ගේ චුති උත්පත්ති ආදිය දකින ‘දිව්‍ය චක්ෂුරාභිඥානය’ ලැබ, පශ්චිම යාමයෙහි පටිච්ච සමුප්පාදයෙහි ප්‍රඥාව මෙහෙයවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසත් විමසත්ම, දස දහසක් සක්වළ දොළොස් වාරය බැගින් එක්ලක්ෂ විසිදහසක් වර සාධුකාර දෙන්නා සේ මහ පොළොව කම්පා විය.
මෙසේ දස දහසක් සක්වළ එක විට කම්පා කරවා, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මග සතර ඵලයට පැමිණ, අරුණ නැගෙන වේලෙහි සවාසනා සකල ක්ලේශයන් නසා ලොව්තුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
ඒ වේලෙහි සියලු දස දහසක් සක්වළ එකම මඟුල් ගෙයක් සේ සියලු අලංකාරයෙන් සැරසී සිට ගත්හ. එදා රැස් වූ දෙවියන් විසින් නැගෙනහිර, බටහිර, දකුණ, උතුර යන සතර දිශාවෙහි සක්වළ මුවවිට සිට නැගූ ධජයක් අනෙක් දිශාවල චක්‍රවාළ කෙළවරෙහිද, බ්‍රහ්ම ලෝකයෙහිද ගැටී සිටියාහුය. දස දහසක් සක්වළ සියලු ගස් වැල් ආදියෙහි මල් පල හටගෙන එකම මල් පොකුරක් සේ විය.
අටදහසක් යොදුන් ලෝකාන්තරික නරකය හිරු හතක් පෑව්වාක් මෙන් මහත් ආලෝකයක් විය. අසූ හාර දහසක් යොදුන් ගැඹුර ඇති මහා සමුද්‍රයෙහි ජලය මිහිරි දිය විය. සියලු ගංගා ජලයෝ උඩුගං බලා ගියහ. උපතින් අන්ධ වූවෝ රූපයන් දුටුවාහුය. උපතින් බිහිරි වූවෝ ශබ්ද ඇසුවාහුය. උපතින් කොර වූවෝ කෙලින් ගමන් කළාහුය. බන්ධනගත සත්ත්වයෝ එයින් මිදුනාහුය. මේ ආදී දෙතිස් මහා පූර්ව නිමිති හා අනෙකුත් ආශ්චර්ය අද්භූත ධර්මයන් පහළ කිරීමෙන් ලොව්තුරා බුදුව, අසූ හාර දහසක් ධර්ම ස්කන්ධයන්ට පළමු වෙනි වූ, සියලු බුදුවරයන් විසින් අත් නොහරින ලද චාරිත්‍ර ධර්මයක් වූ උදාන වාක්‍ය වදාළ සේක.
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං;
ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි;
සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං;
විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති.
යන මේ මංගල ගාථාවන් කියා අතිශයින් සතුටු වූ, තුන් ලොවටම එකම චින්තාමාණික්‍යයක් බඳු වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ, සූර්ය රශ්මි ස්පර්ශය ලත් පද්මයක් සේ අතිශයින් සතුටු වූ චිත්ත සන්තාන ඇති සේක්, “අනන්ත වූ කල්ප කෝටි සිය දහසක් මුළුල්ලෙහි මේ බෝධි පර්යංකය නිසා සසර දිව ඇවිද්දෙමි. ඇස්, හිස්, මස්, ලේ දන් දුනිමි. ජීවිතයද, තමා හා සමාන පුත්‍රදාරාවන්ද අනුන්ට දාස කොට දුනිමි. මේ පර්යංකයෙහි හුන්නා වූ මා විසින් මාර සේනාව විනාශ කරන ලද්දේය. මෙහි හුන්නා වූ මාගේ මනදොළ පිරුණේය. එහෙයින් තවම ඒ පර්යංකයෙන් නොනැගෙමි” යි කියා නොයෙක් කෝටි ලක්ෂ ගණන් සමාපත්තියට සමවදින සේක්, විමුක්ති සුඛ සංඛ්‍යාත නිවන් සැපයෙන් සතියක් මුළුල්ලෙහි වාසය කොට, ඉක්බිති පර්යංකයෙන් නැගී සිටි සේක.
“සර්වඥතා ඥාන ප්‍රතිලාභය වීද? නොවීදෝ හෝ” යි සැක උපදවා සිටි සමහර දේවතාවන්ගේ සැක දුරු කරනු පිණිස අටවැනි දිනයෙහි ආකාශයට පැන නැගී ‘යමක ප්‍රාතිහාර්යය’ දක්වා ආකාශයෙන් බැස, මහා බෝධි පර්යංකයට ඊසාන දිශාවෙහි සිට, “ඒකාන්තයෙන්ම මා විසින් මේ බෝධි පර්යංකයෙහි හිඳ සර්වඥතා ඥානය අවබෝධ කරන ලද්දේය” යි කියා ප්‍රමාණය ඉක්මවූ කාලයක් මුළුල්ලෙහි රැස් කරන ලද පාරමිතාවන්ගේ ඵලයට පැමිණි ස්ථානයද, පර්යංකයද, බෝධි වෘක්ෂයද, පස් පැහැයෙන් බබළන්නා වූ, ප්‍රීතියෙන් විකසිත වූ ‘අනිමිස ලෝචනය’ යි කියන ලද නොහෙළන ලද ඇස්පිය ඇතිව, ප්‍රේමයෙන් පිරුණු නෙත් යුවළින් පූජා කෙරෙමින් එතැන්හි සතියක් මුළුල්ලෙහි වැඩ සිටි සේක. ඒ ස්ථානය දැන් ‘අනිමිස ලෝචන චෛත්‍යය’ නම් වේ.
ඉක්බිති බෝධි පර්යංකයටද, අනිමිස ලෝචනයෙන් වැඩ සිටි ස්ථානයටද අතරෙහි, නැගෙනහිර සක්වළ කෙළවර පටන් බටහිර සක්වළ කෙළවර දක්වා දෙවියන් විසින් මවන ලද රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් ගත කළ සේක. මේ ත්‍රිවිධ සතියෙහි එක දවසකවත් සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන් බුදුරැස් නොනික්මිණි.
බෝ මැඩ බටහිර දිශා භාගයෙහි දෙවියන් විසින් මවන ලද රුවන් ගෙයි පලඟ බැඳ වැඩ හිඳ, පරම ගම්භීර වූ අනන්ත නය ඇති අභිධර්ම පිටකය මෙනෙහි කරන්නට පටන්ගෙන, පළමු කොට ධම්මසංගණී ප්‍රකරණය මෙනෙහි කළේය. එකල්හිද බුදුරැස් නොනික්මිණි. නැවත විභංග ප්‍රකරණය, පුද්ගල ප්‍රඥප්තිය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය මෙනෙහි කළේය. ඒ කාලයෙහිද බුදුරැස් නොනික්මිණි.
ඉක්බිති මහා ප්‍රකරණයට බැස “හේතු පච්චයෝ, ආරම්මණ පච්චයෝ” යනාදිය විමසීමට පටන් ගෙන, විසි හතරක් වූ සමන්ත පට්ඨානය විමසීමට පටන් ගත් කල්හි, ‘තිමිංගල’ නම් මහා මත්ස්‍යරාජයාට අසූ හාර දහසක් යොදුන් ගැඹුර ඇති මහා සමුද්‍රය මෙන් (සිත මෙහෙයවීමට) අවකාශ ඇති විය.
මෙසේ සර්වඥතා ඥානයට අවකාශ ලැබ, ඉතා සියුම් වූ පරම ගම්භීර වූ ධර්මයන් මෙනෙහි කරන්නා වූ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන් නීල, පීත, ලෝහිත, අවදාත, මාංජිෂ්ඨ, ප්‍රභාස්වර යන ෂඩ් වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාවෝ නික්මුණාහුය.
සතරවන සතියේදී බුද්ධ ශරීරයෙන් ෂඩ් වර්ණ රශ්මි මාලාවන් විහිදීම
මෙසේ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙහි කේෂාදී නීල ස්ථානවලින් නීල වර්ණයද, සම ආදී පීත ස්ථානවලින් පීත වර්ණයද, මස් ලේ ආදී රක්ත ස්ථානවලින් ලෝහිත වර්ණයද, දත් ආදී සුදු වර්ණ ස්ථානවලින් අවදාත වර්ණයද, මාංජිෂ්ඨ ප්‍රභාස්වරයන් ශරීරයෙහි ඒ ඒ වර්ණ ස්ථානවලින්ද නික්මුණාහුය.
මේ කියන ලද බුදුරැස් මාලාවෝ පෘථිවියෙහි වැදී, දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝන වූ මහා පෘථිවිය එකම රන් ගුලියක් මෙන් රන්වන්ව, නැවත පෘථිවියෙහි කිමිදී යටට බැස ‘පඨවිසන්ධාරක’ නම් ජල පොළොවද, එයිනුත් යටට බැස වා පොළොවද යන සියල්ල එසේම රන්වන් කරමින්, එයින් නැගී චාතුර්මහාරාජිකාදී ෂඩ් දිව්‍ය ලෝකද, බ්‍රහ්ම පාරිෂද්‍යාදී සොළොස් බ්‍රහ්ම ලෝකයන්ද, ආකාසානඤ්චායතනාදී අරූ තලද යන සියල්ල ඉක්මවා ගොස්, අජටාකාශයෙහි වැදී, දහසක් වූ දස දහසක් වූ සියලු ලෝක ධාතු සම්බන්ධ චන්ද්‍ර සූර්යාදී සියලු ආලෝක වස්තූන්ද බ්‍රහ්මාදී සියලු දෙවියන්ද, හිරු දුටු කණාමැදිරියන් සේ නිෂ්ප්‍රභ කොට බුදුරැස් මාලාවන්ගෙන්ම ඒකාලෝක විය.
මේ ප්‍රකාරයෙන් බබළ බබළා සත් දවසක් වැඩ හිඳ විමසන ලද අභිධර්මය වනාහි වචනයෙන් කියා නිම කරන සේක් වී නම්, අවුරුදු සියයක් දහසක් වුවද මදි වන්නේය. මෙසේ අභිධර්මය මෙනෙහි කරමින් සතරවන සතිය ගත කළ සේක. ඒ ස්ථානය දැන් ‘රත්නඝර චෛත්‍යය’ නම් විය.
මේ ක්‍රමයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි සති හතරක් ගත කොට, පස්වෙනි සතියෙහි බෝධි වෘක්ෂ මූලය කෙරෙන් යම් තැනක අජපාල නුග වෘක්ෂය වේද එතැනට වැඩම කළ සේක. එහි එළඹ වැඩ හිඳ, රාගයට වසඟ කර ගැනීමට පැමිණි මාර දූවරුන්ගේ අභිප්‍රාය ඉටු කරගත නොහැකිව, ඔවුන් කලකිරවා, “රාග පාශයෙන් බඳිමු” යි කියා සතුටු වීම් වශයෙන් ප්‍රබෝධ වූ ඔවුන්ගේ මුහුණු නමැති පියුම් වනය, දේශනා නමැති සඳ රැසින් මලානික කරවා, ත්‍රෛලෝකාග්‍ර සර්වඥ නමැති චන්ද්‍ර දිව්‍ය රාජ තෙම ධර්මය මෙනෙහි කරමින්, විමුක්ති සුඛ සංඛ්‍යාත නිවන් සැප විඳිමින් අජපාල නුග වෘක්ෂ මූලයෙහි සතියක් ගත කළ සේක.
මෙසේ අජපාල නුග වෘක්ෂ මූලයෙහි පස්වන සතිය ගත කොට, එයින් මත්තෙහි සත් දවසක් මුළුල්ලෙහි ධාරානිපාතයෙන් සතර දෙසින් අඳුරු කරමින් වසින වර්ෂාවට, ‘මුචලින්ද’ නම් විලෙහි මිදෙල්ල ගසක් මුල මුචලින්ද නම් නාගරාජයාගේ භෝග මන්දිරයෙහි හෙවත් දරණ ගැබෙහි සමවත් සුව විඳිමින් සතියක් ගත කළ සේක.
එයින් නික්ම ගොස් සත්වන සතියෙහි මහ කිරිපලු වනයට වැඩ, කිරිපලු ගසක් මුල ගල් තලාවක වැඩ හිඳ ධ්‍යාන සුවයෙන් සත් දවසක් ගත කළ සේක.
මෙසේ ‘සත් සතිය’ යැයි කියන ලද එකුන් පනස් දවස මුළුල්ලෙහි ආහාර කෘත්‍යයන් නොකොට, නිවන් සැප වළඳා දවස් යැවූ කල්හි, බුදු වූ පනස් වනදා අරුණෝදයෙහි ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් පිළිගන්වන ලද දිව්‍යමය අරළු හා දැහැටි පිළිගෙන වළඳා, එම ශක්‍ර දෙවි රජු විසින්ම පිළිගන්වන ලද පැන් වළඳා, අනෝතප්ත විලෙහි ජලයෙන් මුහුණ සෝදා, නැවත එම රාජායතන (කිරිපලු) ගස මුල වැඩ සිටි කල්හි, “බුදු කෙනෙකුන්ට අග්‍ර භෝජනයක් පිළිගන්වමි” යි ප්‍රාර්ථනා කොට ආවා වූ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් මී පිඬු ගෙනවිත් පිළිගන්වන්නට පටන් ගත් කල්හි;
බ්‍රහ්මයා දුන් පාත්‍රය කිරිපිඬු දානය පිළිගත් දවසේ අතුරුදන් වූ හෙයිනුත්, කිරිපිඬු පිළිගත් තලිය නාග භවනයට ගිය හෙයිනුත්, සිව්වරම් රජ දරුවන් විසින් පිළිගන්වන ලද මුද්ග පියලි පැහැති ශෛලමය (ගල්) පාත්‍රයන් සතර ඔවුන්ට අනුග්‍රහ පිණිස මතු මත්තෙහි තබා අධිෂ්ඨාන වශයෙන් මුවවිටි දක්වමින් (එක පාත්‍රයක් සේ) එකක් කොටගෙන, ඒ ශෛලමය පාත්‍රයෙන් මී පිඬු පිළිගෙන වළඳා, ඔවුන්ට අනුමෝදනා වශයෙන් බණ වදාරා...
ඉන්පසුව බුදුරජාණන් වහන්සේ අජපාල් නම් නුග රුක මුලට වැඩම කළ සේක. එහි වැඩ හිඳින විට බුදුරජාණන් වහන්සේට බුදුවරුන්ගේ සිරිත පරිදි ධර්ම දේශනා කිරීම පිළිබඳව මන්දෝත්සාහී ස්වභාවයක් (කම්මැලිකමක් හෝ පසුබට වීමක් නොව, ධර්මයේ ගැඹුර නිසා ඇතිවන විමසීමක්) ඇතිවිය. උන්වහන්සේට මෙසේ සිතුණි: “මා විසින් අවබෝධ කරන ලද මේ නිර්වාණ ධර්මය වනාහි මහ පොළොවට යටින් පිහිටි ජල තලයක් මෙන් අතිශයින්ම ගැඹුරුය. පර්වතයකින් වසා තිබූ දෙයක් මෙන් කිසිවෙකුටත් දැකගත නොහැකිය. එසේ නොදැකිය හැකි බැවින්ම එය අවබෝධ කරගත නොහැක්කේය. නිවී ගියා වූ සියලු එක්දහස් පන්සියයක් වූ ක්ලේශ දාහයන් ඇති බැවින් මේ ධර්මය ශාන්ත වන්නේය.”
“මධුර රස ඇති භෝජනයක් අනුභව කළ විට තෘප්තියකට නොපැමිණෙන්නා සේ, මේ ධර්මය ද අසන්නා තෘප්තියකට නොපැමිණෙන බැවින් ප්‍රණීතය. ආර්ය ඥානයෙන් මිස අන්‍යයන්ගේ කල්පනාවෙන් හෝ තර්කයෙන් වටහා ගත නොහැකි බැවින් මෙය ‘අතර්කාවචර’ වන්නේය. සිය වරක් පළන ලද අශ්ව ලොම් ගසක අග කොටසක් මෙන් ඉතා සූක්ෂම බැවින් මෙය ‘නිපුණ’ වන්නේය. ධාතු, ආයතන, ප්‍රත්‍ය (හේතු ඵල) ආදී කරුණු සංඛ්‍යාත වූ සිව් වැදෑරුම් කෞශල්‍යයෙන් යුක්ත පණ්ඩිත ජනයන් විසින්ම දැනගත යුතු බැවින් මෙය ‘පණ්ඩිත වේදනීය’ වන්නේය.”
“එසේ වූ මේ ධර්මය ලබා ගැනීම උදෙසා මා විසින් ඉල්ලන්නන්ට දෙන ලද්දා වූ, මැණික් ඔටුනු ආදියෙන් සරසා පිළියෙළ කරන ලද, හිස් කපා දන් දීමෙන් ද; ලේ දන් දීමෙන් ද; මනා කොට අඳුන් ගා සරසන ලද ඇස් උපුටා දන් දීමෙන් ද; කුල වංශයට පහනක් වැනි වූ පුත්‍රයන් හා සිත සතුටු කරන්නා වූ භාර්යාවන් දන් දීමෙන් ද නොදුන් දානයක් නම් නැත්තේය. ශංඛපාල ජාතකයේ ආදී ආත්මභාවයන්හි තණ පතක් මෙන් සිතා කරන ලද්දා වූ ජීවිත පරිත්‍යාගය ද, පොළොව පෙරළන්නාක් මෙන් සිතන්නා වූ සිල් බිඳීම් ඇති මා විසින් නොරකින ලද සීලයක් නම් නැත්තේය.”
“චුල්ල සුත සෝම ආදී වූ ආත්මභාවයන්හි මනරම් වූ සම්පත්තිය අත්හැරියා වූ මා විසින්, නොපුරන ලද කිසි පාරමිතාවක් නම් නැත්තේය. මෙබඳු වූ මා සවස් වේලෙහි මාර සේනාව පරාජය කරන විටත් මහ පොළොව කම්පා නොවීය. රාත්‍රී පළමු යාමයෙහි ‘පූර්වේනිවාසානුස්මෘති ඥානය’ ලබන්නා හට ද, මධ්‍යම යාමයෙහි ‘දිව්‍ය චක්ෂුරභිඥානය’ උපදවන්නා හට ද, පෘථිවිය කම්පා නොවීය. එහෙත් පශ්චිම යාමයෙහි වනාහි දොළොස් ආකාර වූ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලොම වශයෙන් අවබෝධ කරන්නා වූ මටම, දස දහසක් සක්වළ යකඩ දණ්ඩකින් පහර ලත් ලෝහ තලියක් (තැටියක්) මෙන් දස දහසක් ගණන් ශබ්ද පවත්වමින් ද, පොලු පහර කෑ පියුම් පතක පතිත වූ ජල බින්දුවක් මෙන් ද කම්පා විය.”
“මෙසේ තියුණු ප්‍රඥා ඇත්තා වූ මා විසින් ද මේ ධර්මය ඉතා දුක සේ අවබෝධ කරන ලද්දේය. නමුත් මේ ලෞකික මහජනයා ක්ලේශයන්ගෙන් සැදුම් ලත් චරිත ඇත්තෝය; ඉතා කිලිටි වූ සිත් ඇත්තෝය; රාගයෙන් ඇලුණෝය; ද්වේෂයෙන් නරක් වූවෝය; චතුරාර්ය සත්‍යය නොදන්නා අවිද්‍යාවෙන් මැඩ මිරිකා දමන ලද්දෝය. එසේ වූ සත්ත්වයෝ මෙසේ ගැඹුරු වූ ධර්මය කෙසේ නම් අවබෝධ කර ගනිත් ද? එසේ හෙයින් මේ ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කවරේ ද?” යැයි සිතමින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට මන්දෝත්සාහී වූ සේක.
බුදුරජාණන් වහන්සේගේ ඒ සිතුවිල්ල දුටු සහම්පතී මහා බ්‍රහ්මයා, “අහෝ! ලෝකයා නැසෙන්නේය. අහෝ! ලෝකයා විනාශ වන්නේය. තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත ධර්ම දේශනාව පිණිස නොනැමෙන්නේය, උන්වහන්සේ උත්සාහ රහිත වී ඇත්තේය,” යැයි කියමින් දස දහසක් ලෝක ධාතුව එකම හඬකින් නාද කරවමින්, මහත් වූ ස්වරයක් විහිදුවා දස දහසක් සක්වළ මහා බ්‍රහ්මයන් හා, දස දහසක් පරිනිර්මිත වසවර්ති දිව්‍ය රාජයන් හා, දස දහසක් නිර්මාණරතී දිව්‍ය රාජයන් හා, දස දහසක් තුසිත දිව්‍ය රාජයන් හා, දස දහසක් යාම දිව්‍ය රාජයන් හා, දස දහසක් ශක්‍රයන් සහ සතළිස් දහසක් වරම් රජ දරුවන් සමඟ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට පහළ විය. ඔහු තම උතුරු සළුව ඒකාංශ කොට (එක්වුරක් කොට) පොරවා, දකුණු දණ මඬල බිම ඔබා, දෑත් එක්කොට දොහොත් මුදුනෙහි තබා, “දෙසේතු භන්තේ භගවා ධම්මං” (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා!) යනාදී වශයෙන් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේය.
සහම්පතී බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම