1. ලෝසක ජාතකය (41)

star_outline

“යො අත්ථකාමස්ස” යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයේ ලෝසකතිස්ස තෙරුන් අරබයා වදාළ සේක. මේ ලෝසක තෙරුන් වහන්සේ කවරෙක් ද? කොසොල් රටේ තම කුලය වනසන, ධීවර පුත්‍රයකු වූ, ලැබීමෙන් තොර (අල්පලාභී) භික්‍ෂුවකි. ඔහු වනාහි පෙර උපන් තැනින් චුත ව කොසොල් රට ගෙවල් දහසක් ඇති ධීවර ගමක එක් ධීවරියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගත් දින ඒ කුල දහසේ වැසියන් දැල් ගත් අත් ඇතිව ගංගාවෙහි ද විල්වල ද මසුන් සෙවූ නමුත්, එක් කුඩා මසකුවත් නොලැබූහ. එතැන් පටන් ඒ ධීවරයෝ පිරිහෙන්නාහුමය. ඔහු කුසට පැමිණි දින සිට ඔවුන්ගේ ගම සත් වරක් ගින්නෙන් දැවී ගියේය. සත් වරක් රජු විසින් දඬුවම් දෙන ලදි. මෙසේ පිළිවෙළින් දුප්පත් වූ ඔවුහු සිතූහ: “පෙර අපට මෙබඳු දෙයක් සිදුවී නැත. දැන් වනාහි අපි පිරිහෙමු. අප අතර එක් කාලකණ්ණියකු සිටිය යුතුය. අපි කොටස් දෙකකට බෙදෙමු” යැයි පන්සියය බැගින් කුල වෙන් වූහ. එයින් පසු යම් තැනක ඔහුගේ මව්පියවරු වෙත් ද ඒ කොටස පිරිහෙයි. අනෙක් කොටස දියුණු වෙයි. ඔවුහු ඒ කොටසත් දෙකඩ කළහ. එය ද දෙකඩ විය. මෙසේ යම්තාක් ඒ පවුල තනි වන තුරු බෙදා, ඔවුන්ගේ කාලකණ්ණිකම දැන තලා බැහැර කළහ.

ඉක්බිති ඔහුගේ මව ඉතා අමාරුවෙන් ජීවත් වන්නී, ගැබ මෝරා ගිය කල එක් තැනක දරුවා බිහි කළාය. අන්තිම ආත්මයේ වසන සත්ත්වයා විනාශ කළ නොහැකිය. කළයක් තුළ ඇති පහනක් මෙන් ඔහුගේ හෘදයෙහි රහත්බවට හේතු සම්පත් දිලිසෙයි. ඇය මේ දරුවා පෝෂණය කොට දුව පැන ඇවිදින කාලයෙහි ඔහුට එක් කබලක් අතට දී, “පුත, ගෙවල්වලට ගොස් හිඟා කාපන්” යැයි පිටත් කර යවා පලා ගියාය. හෙතෙම එතැන් පටන් තනිවම එහි හිඟමන් සොයා එක් තැනක නිදයි. ස්නානය නොකරයි. ශරීරය පිරිසිදු නොකරයි. පස් කන පිසාචයෙක් මෙන් අමාරුවෙන් ජීවත් වෙයි. හෙතෙම පිළිවෙළින් සත් හැවිරිදි වී, එක් ගෙදරක ඉඳුල් වතුර දමන තැන කපුටෙක් මෙන් එක එක බත් ඇට අහුලා කයි.

ඉක්බිති ධර්ම සේනාපති සැරියුත් හිමියන් සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙද්දී, “මේ සත්ත්වයා ඉතා දුක්ඛිත තත්ත්වයට පත්ව ඇත්තේය. කවර ගමක වැසියෙක්ද?” යැයි සිතා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, “එව” යැයි කී සේක. ඔහු ගොස් තෙරුන් වහන්සේට වැඳ සිටියේය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ ඔහුගෙන්, “කවර ගමක වැසියෙක් ද? මව්පියෝ කොහිදැ?” යි විචාළ සේක. “ස්වාමීනි, මම අසරණයෙකි. මගේ මව ද පියා ද මා නිසා වෙහෙසට පත් වූහ යි මා අත්හැර දමා පලා ගියහ.” “එසේ නම් පැවිදි වන්නෙහි ද?” “ස්වාමීනි, මම පැවිදි වන්නම්, නමුත් මා වැනි දුගියකු කවරෙක් පැවිදි කරාවි ද?” “මම පැවිදි කරන්නෙමි.” “ස්වාමීනි, මැනවි. මා පැවිදි කරන සේක්වා.” තෙරුන් වහන්සේ ඔහුට කෑ යුතු බී යුතු දෑ දී, ඔහු විහාරයට ගෙන ගොස් සියතින්ම නාවා පැවිදිකොට, වයස් පිරුණු පසු උපසම්පදා කරවූ සේක. හෙතෙම මහලු කල ‘ලෝසකතිස්ස’ තෙරුන් යැයි ප්‍රකට විය. පින් මද හෙයින් ස්වල්ප ලාභ ඇත්තේය. ඔහු අසදෘශ දානයකදී වුවද කුස පුරා දනක් නොලැබුවේය. ජීවිතය ගැටගසා ගැනීමට පමණක්ම ආහාර ලබයි. උන්වහන්සේගේ පාත්‍රයට එක් කැඳ හැන්දක් බෙදූ කල්හි පාත්‍රය පිරීගියාක් මෙන් පෙනෙයි. එවිට මිනිස්සු මොහුගේ පාත්‍රය පිරී ඇතැයි සිතා ඊළඟට සිටි අයට කැඳ දෙති. උන්වහන්සේගේ පාත්‍රයට කැඳ බෙදන විට බෙදන්නාගේ බඳුන්වල ඇති කැඳ අතුරුදහන් වන බව ද කියති. කැවිලි ආදියෙහි ද මේ ස්වභාවයම විය.

උන්වහන්සේ කලක් ගත වූ පසු විදසුන් වඩා උසස් ඵලය වූ රහත් ඵලයෙහි පිහිටියේ නමුදු, ස්වල්ප ලාභ ඇත්තේම විය. ඉක්බිති උන්වහන්සේට පිළිවෙළින් ආයුෂ පිරිහුණු කල්හි පිරිනිවන් පාන දවස පැමිණියේය. දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ කරුණු සලකා බලන සේක්, “මේ ලෝසකතිස්ස ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පාන්නේය. අද මා විසින් මොහුට ඇති තාක් ආහාර දීම සුදුසුය” යැයි සිතා, උන්වහන්සේව ද කැඳවාගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. ස්ථවිරයන් වහන්සේ ඔහු නිසා බොහෝ මිනිසුන් සිටින සැවැත් නුවර තෙක් අත දිගුකොට වැඳුම් මාත්‍රයක්වත් නොලැබූ සේක. ඉක්බිති ඔහුට ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි, ඔබ ආසන ශාලාවට ගොස් වාඩි වී සිටින්න” යැයි ඔහු පිටත් කොට යවා, “මෙය ලෝසක තෙරුන්ට දෙව” යැයි තමන් ලැබූ ආහාර යැවූ සේක. එය රැගෙන ගිය අය ලෝසක තෙරුන් සිහි නොකොට තමන්ම අනුභව කළහ. ඉක්බිති තෙරුන් වහන්සේ විහාරයට පැමිණි කල්හි ලෝසකතිස්ස තෙරණුවෝ අවුත් තෙරුන් වැන්දේය. තෙරුන් වහන්සේ නැවතී සිටියේම, “ඇවැත්නි, ඔබ වහන්සේට බත් ලැබුණේදැ?” යි විචාළ සේක. “ස්වාමීනි, බත් නොලැබුණේය” යි කී සේක. තෙරුන් වහන්සේ සංවේගයට පත්ව වේලාව බැලූ සේක. දවල් දාන වේලාව ඉක්ම ගොස් තිබුණි. තෙරුන් වහන්සේ, “එසේ නම් ඇවැත්නි, මෙහිම ඉන්න” යැයි ලෝසක තෙරුන් වහන්සේ ආසන ශාලාවෙහි හිඳුවා කොසොල් රජතුමාගේ මාලිගාවට වැඩම කළ සේක. රජතුමා තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන්වාගෙන, බත් කෑමට වේලාව නොවේ යැයි පාත්‍රය පුරා චතුමධුර පූජා කළේය. තෙරුන් වහන්සේ එය රැගෙන වැඩමවා, “ඇවැත්නි තිස්සයෙනි, එව, මේ චතුමධුර වළඳන්න” යැයි වදාරා පාත්‍රය අතෙහි තබාගෙනම සිටි සේක. හෙතෙම තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ලජ්ජා වෙමින් නොවළඳයි. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ, “ඇවැත්නි තිස්සයෙනි, එව, මම මේ පාත්‍රය අතින් අල්ලාගෙනම සිටිමි. ඔබ වහන්සේ හිඳගෙන වළඳන්න. ඉදින් මා මේ පාත්‍රය අතින් අතහැරියේ නම් කිසිවක් ඉතුරු නොවන්නේය” යැයි වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් ලෝසකතිස්ස තෙරුන් වහන්සේ, අග්‍රශ්‍රාවක දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ පාත්‍රය අල්ලාගෙන සිටියදී චතුමධුර වැළඳූ සේක. එය තෙරුන් වහන්සේගේ ආර්ය ඍද්ධි බලයෙන් අවසන් නොවීය. එදා ලෝසකතිස්ස තෙරුන් වහන්සේ බඩ පිරෙන තුරු වැළඳූ සේක. එදිනම අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයෙහි සිට සිරුර ආදාහනය කරවූ සේක. ධාතුන් ගෙන චෛත්‍යයක් කළහ.

Story Illustration සැරියුත් මහ තෙරුන් වහන්සේ පාත්‍රය අතින් අල්ලාගෙන සිටියදී ලෝසක තිස්ස තෙරුන් දන් වළඳන අයුරු.

එකල්හි භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව, “ඇවැත්නි, ලෝසක තෙරුන් වහන්සේ පින් මදිය, ස්වල්ප ලාභ ඇත්තේය. මෙබඳු වූ පින් රහිත වූ අල්ප ලාභ ඇත්තෙකු විසින් ආර්ය ධර්මය කෙසේ ලබන ලදදැ?” යි සාකච්ඡා කරමින් උන්හ. බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩමවා, “මහණෙනි, මේ දැන් කවර කථාවකින් යුක්ත ව උන්නාහුදැ?” යි විචාළ සේක. උන්වහන්සේලා, “ස්වාමීනි, මෙනම් කථාවකිනි” යි පැවසූහ. බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, මේ භික්‍ෂුව තමාගේ නොලැබීම ද, ආර්ය ධර්ම ලාභය ද තමා විසින්ම කරගන්නා ලද්දකි. මොහු පෙර අනුන්ට ලැබීම් අවහිර කොට ස්වල්ප ලාභී විය. ‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත’ යන විදර්ශනාවෙන් යුක්ත වූ බලයෙන් ආර්ය ධර්ම ලාභී වූයේය” යැයි වදාරා අතීත කථාව ගෙන හැර දැක්වූ සේක.

යටගිය දවස කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් එක් ගෘහපතියකු නිසා ගමේ ආවාසයක වාසය කළ සේක. උන්වහන්සේ සාමාන්‍ය සිල්වත් භික්ෂුවක් වුවද විදර්ශනාවෙහි යෙදී පැහැදී වාසය කළහ. ඉක්බිති එක් රහත් තෙර කෙනෙක් වහන්සේ සමාන ප්‍රතිපත්ති පුරමින්, අනුක්‍රමයෙන් ඒ භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරන්නා වූ ගෘහපතියා වසන ගමට වැඩම කළ සේක. ගෘහපතියා තෙරුන් වහන්සේගේ ඉරියව් පැවැත්මෙහි පැහැදී, පාත්‍රය ගෙන ගෙට වඩමවා, හොඳින් වළඳවා, කෙටි බණක් අසා තෙරුන් වැඳ, “ස්වාමීනි, අපගේ ආසන්න විහාරයට වඩිනු මැනවි. අපි සවස් කාලයේ අවුත් බලන්නෙමු” යි කීවේය. ආගන්තුක ස්ථවිරයන් වහන්සේ විහාරයට ගොස් නේවාසික තෙරුන් වැඳ, අවසර ගෙන එකත්පසක වැඩහුන් සේක. උන්වහන්සේ ද ඔහු සමග පිළිසඳර කථාකොට, “ඇවැත්නි, දානය ලබන ලද්දේදැ?” යි විචාළ සේක. “එසේය, ලැබුණේය.” “කොහිදී ලබන ලද්දේ ද?” “නුඹ වහන්සේගේ දායකයා වන ගෘහපතියාගේ ගෙදරිනි.” මෙසේ කියා තමන්ගේ සෙනසුන විචාරා පිරිසිදු කොට, පා සිවුරු සකස් කොට තබා, ධ්‍යාන සුවයෙන් ද ඵල සුවයෙන් ද කල් ගෙවමින් වැඩහුන් සේක.

ඒ ගෘහපතියා ද සවස් කාලයෙහි සුවඳ මල් ද පහන් හා තෙල් ද ගෙන්වාගෙන විහාරයට ගොස් නේවාසික තෙරුන් වැඳ, “ස්වාමීනි, එක් ආගන්තුක ස්ථවිර නමක් වැඩියේදැ?” යි විචාළේය. “එසේය, පැමිණියේය.” “දැන් කොහි ද?” “අසවල් සේනාසනයෙහිය.” හෙතෙම උන්වහන්සේගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ, ධර්ම කථාව අසා, සිසිල් වේලාවෙහි චෛත්‍යය ද බෝධිය ද පුදා පහන් දල්වා, දෙදෙනා වහන්සේටම හෙට දානයට ආරාධනා කොට ගියේය. නේවාසික ස්ථවිරයන් වහන්සේට, “මේ ගෘහපතියා දැන් වෙනස් වී ඇත. ඉදින් මේ ආගන්තුක භික්‍ෂුව මේ විහාරයෙහි වාසය කරන්නේ නම්, හෙතෙම මා කිසිසේත් ගණන් නොගන්නේය” යැයි තෙරුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් හටගත්තේය. “මේ භික්ෂුව මේ විහාරයෙහි වාසය නොකරන ලෙස මා විසින් කටයුතු කිරීම වටී” යැයි සිතා, උපස්ථාන කරන වේලාවෙහි ආගන්තුක තෙරුන් සමග කිසිවක් කථා නොකළේය. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ඒ භික්‍ෂුවගේ අදහස දැනගෙන, “මේ ස්ථවිර තෙම මගේ කුලයෙහි හෝ පිරිසෙහි හෝ නොඇලී සිටින ස්වභාවය නොදනී” යැයි සිතා, තමන්ගේ වසන ස්ථානයට ගොස් ධ්‍යාන සැපයෙන් ද ඵල සැපයෙන් ද කල් ගත කළ සේක.

නේවාසික ස්ථවිරයන් වහන්සේ දෙවැනි දින අන් අයට නෑසෙන සේ නියපොත්තෙන් ඝණ්ඨාවට ගසා, නියපොත්තෙන් දොරට තට්ටු කොට (ආගන්තුක තෙරුන් අවදි නොකරම) ගෘහපතියාගේ නිවසට වැඩියහ. හෙතෙම උන්වහන්සේගේ පාත්‍රය ගෙන පනවන ලද ආසනයෙහි හිඳුවා, “ස්වාමීනි, ආගන්තුක ස්ථවිරයන් වහන්සේ කොහිදැ?” යි විචාළේය. “මම ඔබගේ කුළුපගයාගේ පුවත් නොදනිමි. මම ඝණ්ඨාව ගැසුවෙමි, දොරට තට්ටු කළෙමි, නමුත් අවදි කරන්නට නොහැකි විය. ඊයේ ඔබගේ ගෙයි ප්‍රණීත භෝජන අනුභව කොට දිරවගන්නට නොහැකිව දැන් නින්දට වැටී සිටිනවා විය යුතුය. පහදින ඔබ මෙබඳු කෑදරයන්ටම පැහැදෙන්නෙහිය” යි කීවේය. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ද තමන්ගේ පිඬුසිඟා හැසිරෙන වේලාව සලකා සිරුර පිරිසිදු කොට පා සිවුරු රැගෙන අහසට පැන නැඟී අන් තැනකට වැඩි සේක.

ඒ ගෘහපතියා නේවාසික ස්ථවිරයන්ට ගිතෙල්, මීපැණි, උක් සකුරුවලින් සකස් කළ කිරි බත් වළඳවා, පාත්‍රය සුවඳ කුඩුවලින් පිරිසිදු කොට නැවත කිරිබත් පුරවා, “ස්වාමීනි, ඒ ස්ථවිරයන් වහන්සේ මග ගෙවා විඩාවට පත්ව සිටිනු ඇත. උන්වහන්සේට මේ කිරිබත් රැගෙන යනු මැනවැ” යි පූජා කළේය. නේවාසික භික්ෂුව එය ප්‍රතික්ෂේප නොකොට රැගෙන යන්නේ, “ඉදින් ඒ භික්‍ෂුව මේ කිරිබත් වැළඳුවහොත්, බෙල්ලෙන් අල්ලා එළියට දැම්මද නොයන්නේය. ඉදින් මම මේ කිරිබත් මිනිසකුට දුන්නොත් මාගේ ඒ ක්‍රියාව ප්‍රකට වන්නේය. ජලයෙහි දැමුවහොත් දිය මත ගිතෙල් පාවීමෙන් හසුවන්නේය. බිම දැමුවහොත් කපුටන් ගැවසීමෙන් හසුවන්නේය. මෙය කොහි හැර දමන්නෙම්දැ?” යි කල්පනා කළේය. ඔහු ගිනි ගත් කෙතක් දැක, අඟුරු ඉවත් කොට එහි කිරිබත් දමා නැවත අඟුරුවලින් වසා විහාරයට ගියේය. එහි ගොස් ඒ භික්‍ෂුව නොදැක මෙසේ සිතිය: “ඒකාන්තයෙන්ම ඒ භික්‍ෂුව රහත් කෙනෙකි. මගේ අදහස් දැන අන් තැනකට යන්නට ඇත. අනේ, මා විසින් බඩජාරිකම නිසා මහා අපරාධයක් කරන ලද්දේය” යි එකෙණෙහිම ඔහුට මහත් වූ දොම්නසක් ඇතිවිය. එතැන් පටන්ම මිනිස් ප්‍රේතයෙක් ව සිට, නොබෝ කලකින්ම කළුරිය කොට නිරයෙහි උපන්නේය.

හෙතෙම බොහෝ වර්ෂ ලක්‍ෂ ගණනක් නිරයෙහි පැසී, ඉතිරි කර්ම විපාක වශයෙන් පිළිවෙළින් ජාති පන්සියයක් යක්ෂයෙක් වී ඉපදුණු අතර, එක් දිනක්වත් බඩපුරා ආහාරයක් නොලැබුවේය. එක් දිනක් පමණක් දරු ප්‍රසූතියකදී ඉවතලන මස් වැදැල්ලක් (ගැබ් මලයක්) බඩ පුරා ලැබුවේය. නැවත ජාති පන්සියයක් බල්ලෙක් වී උපන්නේය. එකල ද එක් දිනක් බත් වමනයක් බඩ පුරා ලැබුවේය. ඉතිරි කාලයෙහි ඔහු විසින් බඩපුරා අහරක් නොලද විරූය. බලු යෝනියෙන් චුත වී කාසි රට එක් ගමක දුප්පත් කුලයක උපන්නේය. ඔහු උපන් දින පටන් ඒ පවුල අතිශයින්ම දුප්පත් වූ අතර, නාභියෙන් ඉහළට පිරෙන තරම් කැඳ වතුර ටිකක්වත් නොලැබුවේය. ඔහුට ‘මිත්තවින්දක’ යැයි නමක් තැබූහ. මව්පියෝ බඩගිනි දුක ඉවසාගත නොහැකිව, “ඵලයන් කාලකණ්ණියා” යැයි ඔහුට තලා පන්නා දැමූහ. හෙතෙම පිළිසරණක් නොමැතිව ඇවිද යමින් බරණැසට ගියේය. එකල්හි බෝසතාණන් වහන්සේ බරණැස දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් තරුණයන්ට ශිල්පය උගන්වති. එකල බරණැස් නුවර වැසියෝ දුප්පතුන්ට ආහාර පාන දී ශිල්ප උගන්වති. මේ මිත්තවින්දක ද බෝසතාණන්ගේ සමීපයෙහි පිනට ශිල්ප හදාරයි. හෙතෙම රළු ගති ඇත්තේය. අවවාද නොපිළිගනී. ඒ ඒ අයට පහර දෙමින් හැසිරේ. බෝසතාණන් විසින් අවවාද කරනු ලැබුවද අවවාදය නොපිළිගනී. ඔහු නිසා ආචාර්යවරයාට ලැබෙන ආදායම ද අඩු විය.

ඉක්බිති හෙතෙම ශිෂ්‍යයන් සමග කලහ කොට, අවවාද නොපිළිගෙන එයින් පලා ගියේය. ඇවිද යමින් එක් පිටිසර ගමකට ගොස් කුලී වැඩ කොට ජීවත් වෙයි. හෙතෙම එහි එක් දුප්පත් ස්ත්‍රියක සමග විවාහ වී පදිංචි විය. ඇය ඔහු නිසා දරුවන් දෙදෙනකු වැදුවාය. ගම් වැසියෝ, “අපට යහපතක් හෝ අයහපතක් වේ නම් දන්වන්න” යැයි මිත්තවින්දකට වැටුප් දී ගම් දොරටුව අසල කුටියක ඔහු නැවැත්වූහ. ඒ මිත්තවින්දකයා නිසා ඒ පිටිසර ගම් වැසියෝ සත් වරක් රජ දඬුවම් වින්දෝය. සත් වරක් ඔවුන්ගේ ගෙවල් දැවී ගියේය. සත් වරක් වැව කැඩී ගියේය. එවිට ඔවුහු, “මීට පෙර මේ මිත්තවින්දකයා නොපැමිණි කල්හි අපට මෙබඳු විපතක් නොවීය. දැන් මොහු පැමිණි කාලයේ සිට අපි පිරිහෙමු” යැයි සිතා ඔහුට තලා ගමෙන් පන්නා දැමූහ.

හෙතෙම තමාගේ දරුවන් ගෙන අන් තැනකට යන්නේ, අමනුෂ්‍යයන් අරක් ගත් කැලෑවකට පිවිසියේය. එහි අමනුෂ්‍යයෝ දරුවන් ද බිරිඳ ද මරා මස් කෑහ. හෙතෙම එයින් පලා ගොස් ඒ ඒ තැන ඇවිදින්නේ, එක් ‘ගම්භීර’ නම් පටුනු ගමකට (වරාය නගරයකට) නැවක් පිටත් වන දිනයෙහිම පැමිණ, එහි කම්කරුවෙක් වී නැවට නැංගේය. නැව මුහුද මත සත් දවසක් ගොස් සත් වැනි දින මුහුද මැද අල්ලා නැවැත්වූවාක් මෙන් නතර විය. ඔවුහු “කාලකණ්ණි තුණ්ඩුව” හෙවත් අවාසනාවන්තයා සෙවීමේ කුසපත් ඇද්දහ. සත් වරක් ම කුසපත් මිත්තවින්දකට ම වැටුණි. මිනිස්සු ඔහුට උණ දඬු මිටියක් අතට දී මුහුදට විසි කළහ. ඔහු දැමූ විගස නැව වේගයෙන් ගියේය. මිත්තවින්දක තෙමේ උණ මිටිය ආධාරයෙන් මහා මුහුදෙහි පාවී යන්නේ, කාශ්‍යප සම්බුදුරජුන්ගේ කාලයෙහි රකින ලද ශීල බලයෙන් මුහුද මතුපිට එක් පළිඟු විමානයක දෙව් දූවරු සතර දෙනෙකු ලැබ, ඔවුන්ගේ සමීපයෙහි සැප විඳින්නේ සතියක් වාසය කළේය. ඒ විමාන ප්‍රේතියෝ සත් දිනක් සැප විඳිති; සත් දිනක් දුක් විඳිති. දුක් විඳීමට යන කල්හි, “අපි එනතුරු මෙහිම ඉන්න” යැයි කියා ඔවුහු ගියහ.

මිත්තවින්දක තෙම ඔවුන් ගිය කල උණ දඬු මිටියෙහි එල්ලී ඉදිරියට යන්නේ රිදී විමානයක දේව දූවරුන් අට දෙනෙකු ලැබුවේය. එයින් ද ඈත යන්නේ, මැණික් විමානයෙහි සොළොස් දෙනෙකු ද, රන් විමානයක තිස් දෙදෙනෙකු ද ලැබුවේය. ඔවුන්ගේ වචනය නොසලකා තවදුරටත් යන්නේ අතරමග දූපතක එක් යක්‍ෂ නගරයක් දුටුවේය. එහි එක් යකින්නියක් එළු ස්වරූපයෙන් හැසිරෙයි. මිත්තවින්දක තෙමේ ඇගේ යක්‍ෂ ස්වභාවය නොදැන, “එළු මස් කන්නෙමි” යි සිතා ඇය පාවලින් අල්ලා ගත්තේය. ඇය යක්‍ෂ ආනුභාවයෙන් ඔහු ඔසවා අහසට වීසි කළාය.

ඇය විසින් වීසි කරන ලද ඔහු, මුහුදට උඩින් ගොස් බරණැස දිය අගල අසල එක් කටු ලැහැබක් මත වැටී පෙරළී බිම පතිත විය. එසමයෙහි ඒ දිය අගල අසල රජුගේ එළුවන් තණ කමින් සිටියදී සොරු පැමිණ උන් පැහැර ගනිති. එළු පාලකයෝ “සොරුන් අල්ලා ගනිමු” යි සැඟවී සිටියහ. මිත්තවින්දක තෙමේ පෙරළී බිම සිටියේ ඒ එළුවන් දැක මෙසේ සිතීය: “මම මහ මුහුදෙහි එක් දූපතකදී එළුවෙකුගේ පය අල්ලා ගත් විට ඌ මා වීසි කළේය, එවිට මම මෙහි වැටුණෙමි. දැන් මම මේ එළුවෙකුගේ පය අල්ලා ගත්තොත්, ඌ මා ආපසු මුහුදු පිට විමාන දෙවියන්ගේ සමීපයට වීසි කරනු ඇත.” හෙතෙම මෙසේ අනුවණින් සිතා එළුවෙකුගේ පය අල්ලා ගත්තේය. ඌ අල්ලාගත් විගස කෑගැසුවේය. එළු පාලකයෝ වහා පැමිණ ඔහු අල්ලාගෙන, “මෙතෙක් කල් රජ ගෙදර එළුවන් කන සොරා මූ ය” යි ඔහුට තලා බැඳ රජුගේ සමීපයට ගෙන ගියෝය.

එකෙණෙහි බෝසත් තෙමේ පන්සියයක් සිසුන් පිරිවරා නුවරින් නික්ම නෑමට යන්නේ මිත්තවින්දක දැක හඳුනාගෙන ඒ මිනිසුන්ට, “දරුවනි, මේ තෙමේ අපගේ ශිෂ්‍යයෙකි. කුමක් නිසා ඔහු අල්ලා ගත්තාහු ද?” යි ඇසීය. “ස්වාමීනි, මූ එළු සොරා ය. එක් එළුවෙකුගේ පය අල්ලාගෙන සිටියදී අසු විය.” “එසේ නම් මොහු අපට දාසයකු කොට දෙන්න. අප නිසා ජීවත් වනු ඇත.” “ස්වාමීනි, යහපතැ” යි ඔවුහු ඔහු අත්හැර ගියහ. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ, “මිත්තවින්දකය, තෝ මෙතෙක් කල් කොහි විසුවේදැ?” යි විචාළ සේක. හෙතෙම තමා විසින් කරන ලද සියලු දේ පැවසීය. බෝසත් තෙමේ, “වැඩ කැමැත්තන්ගේ වචනය නොපිළිගන්නෝ මේ දුකට පැමිණෙති” යි කියා මේ ගාථාව වදාළේය:

“තමන්ට වැඩ කැමති, හිතවත් ව අනුකම්පා කරන්නවුන් අවවාද කරන විට යමෙක් එය නොකරයි ද, හෙතෙම එළු දෙනගේ පය අල්ලාගත් මිත්තක මෙන් ශෝක කරයි.”

එහි ‘අත්ථකාමස්ස’ යනු දියුණුව කැමති වන්නාගේ ය. ‘හිතානුකම්පිනො’ යනු හිතවත් ව අනුකම්පා කරන්නාගේ ය. ‘ඔවජ්ජමානො’ යනු මෘදු වූ හිතවත් සිතින් අවවාද දෙනු ලබන විට ය. ‘න කරොති සාසනං’ යනු උපදෙස් නොපිළිපදියි; අකීකරු ව අවවාද නොපිළිගන්නෙක් වෙයි. ‘මිත්තකො විය සොචතී’ යනු මේ මිත්තවින්දක තෙම එළු දෙනගේ පය අල්ලාගෙන ශෝක කරන්නේ යම් සේ ද, වෙහෙස වන්නේ යම් සේ ද, මෙසේ හැමදා ශෝක කරන්නේ යැයි මේ ගාථාවෙන් බෝසතාණෝ දහම් දෙසූහ.

මෙසේ ඒ තෙරුන් විසින් මෙතෙක් කාලයකට ආත්ම භාව තුනකදී පමණක් කුස පිරෙන බව ලබන ලදී. එනම් යක්ෂයකු වී එක් දිනක් ගැබ් මලයක් ද, බල්ලකු වී එක් දිනක් බත් වමනයක් ද, පිරිනිවන් පාන දිනයේ දම් සෙනෙවි සැරියුත් හිමියන්ගේ ආනුභාවයෙන් චතුමධුර ද ලබන ලදී. මෙසේ අනුන්ගේ ලාභවලට අන්තරාය කිරීම මහා දෝෂයක් යැයි දත යුතුය. ඒ කාලයෙහි ඒ ආචාර්ය තෙමේ ද මිත්තවින්දකයා ද කම් වූ පරිදි මිය පරලොව ගියෝය.

බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, මෙසේ තමා විසින් අල්ප ලාභී බවත් ආර්ය ධර්ම ලාභී බවත් තමා විසින්ම සාදා ගන්නා ලද්දේය” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල්හි මිත්තවින්දක තෙම දැන් මේ ලෝසකතිස්ස තෙරුන් විය. දිසාපාමොක් ඇදුරුතුමා නම් මම ම වෙමි” යි වදාළ සේක.

ලෝසක ජාතක වර්ණනාව පළමු වැනියි.