“සෙය්‍යො අමිත්තො” (නුවණ ඇති සතුරා උතුම්) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මගධ දේශයේ චාරිකාවේ හැසිරෙන අතරතුර, එක්තරා කුඩා ගමක සිටි මෝඩ ගැමියන් අරබයා දේශනා කළ සේක. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සිට මගධ රටට වැඩමවා එහි චාරිකාවේ යෙදෙද්දී එක්තරා කුඩා ගමකට පැමිණි සේක. ඒ කුඩා ගම බොහෝ සෙයින් මෝඩ මිනිසුන්ගෙන්ම පිරී තිබුණි. එහි එක් දිනක් ඒ අන්ධබාල මිනිසුන් රැස්ව, “පින්වතුනි, අප කැලයට ගොස් වැඩ කරන විට මදුරුවෝ අපව කති. එයින් අපේ කර්මාන්ත වැඩ අඩාල වෙයි. එනිසා අපි සියල්ලෝම දුනු හා ආයුධ ගෙන ගොස් මදුරුවන් සමඟ යුද්ධ කොට, සියලු මදුරුවන්ට විද, කපා කොටා මරා දමමු” යි කතිකා කරගත්හ. ඔවුහු කැලයට ගොස් “මදුරුවන්ට විදින්නෙමු” යි කියමින් ඔවුනොවුන්ට විද, පහර දී, මහත් දුකට පත්ව ආපසු පැමිණ, ගම ඇතුළත ද, ගම මැද ද, ගම් දොර ද වැතිර ගත්හ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා විසින් පිරිවරා ගන්නා ලද්දේ, ඒ ගමට පිණ්ඩපාතය පිණිස වැඩම කළ සේක. එහි සිටි නුවණ ඇති මිනිසුන් බුදුරජාණන් වහන්සේ දැක ගම් දොර මණ්ඩපයක් කරවා, බුදුරජුන් ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් දී බුදුරජුන් වැඳ එකත්පස්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන වැටී සිටි මිනිසුන් දැක, ඒ උපාසකවරුන්ගෙන් “මේ බොහෝ දෙනෙක් ගිලන්ව සිටිති. මොවුන්ට කුමක් සිදුවී ද?” යි විචාළ සේක. “ස්වාමීනි, ඒ මිනිසුන් ‘මදුරු යුද්ධයක් කරන්නෙමු’ යි ගොස් ඔවුනොවුන්ට විද ගෙන තමන්ම ගිලන් වූහ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට බුදුරජාණන් වහන්සේ, “දැන් පමණක් නොව, පෙරත් අන්ධ බාල මිනිසුන් ‘මදුරුවන්ට පහර දෙන්නෙමු’ යි සිතා අනුන්ට පහර දුන් මිනිසුන් වූවෝ ම යැ” යි වදාරා, ඒ මිනිසුන් විසින් අයැද සිටි හෙයින් අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරන සමයේ බෝසතාණෝ වෙළඳාමෙන් ජීවිකාව ගෙන ගියහ. එකල කාසි රටේ එක් පසල් ගමක බොහෝ වඩුවෝ වාසය කළහ. එහි එක්තරා හිස මුඩු වඩුවෙක් ගසක් හාරමින් සිටියේය. ඉක්බිති එක් මදුරුවෙක් තඹ ලෝ තලියක පිට පැත්තක් වැනි වූ (ඔහුගේ මුඩු) හිසෙහි වසා, අඩයටියකින් පහර දෙන්නාක් මෙන් හිස මුව තුඩින් විද්දේය. හෙතෙම තමන් සමීපයෙහි උන් පුතාට, “දරුව, මගේ හිසට මදුරුවෙක් අඩයටියකින් පහර දෙන්නාක් මෙන් විදියි. ඌ එළවා දමනු” යි කීවේය. “පියාණෙනි, ඉවසන්න. එක පහරින්ම ඌ මරන්නෙමි” යි කී පුතණුවෝ, තියුණු ලොකු පොරවක් ගෙන පියාගේ පිටුපසට වී, “මදුරුවාට පහර දෙන්නෙමි” යි සිතා පියාගේ හිස දෙකට පැලෙන සේ පහර දුන්නේය. වඩුවා එතැනම මරණයට පත් විය.
මදුරුවා මරනු පිණිස පුත්‍රයා පොරොවෙන් පහර දී පියාගේ හිස දෙපලු කළ මොහොත.
එකල බෝසතාණෝ ද තමන්ගේ වෙළඳ භාණ්ඩ සොයමින් ඒ ගමට පැමිණ, ඒ වඩුවාගේ ශාලාවෙහි වාඩි වී සිටියදී ඔහුගේ ඒ ක්‍රියාව දැක, “සතුරා වුව ද නුවණ ඇත්තා ම ශ්‍රේෂ්ඨය. ඔහු වනාහි දඬුවමට බියෙන් හෝ මිනිසුන් නොමරන්නේය” යි සිතා මේ ගාථාව ප්‍රකාශ කළේය.
“නුවණ ඇති සතුරා වුව ද උතුම් වේ. නුවණ නැති නම් මිතුරා වුව ද උතුම් නොවේ ම ය. (කුමක් හෙයින් ද යත්) මෝඩ පුත්‍රයා මදුරුවා මරමි යි සිතා පියාගේ හිස පැළුවේය.”
එහි “සෙය්‍යො” යනු ශ්‍රේෂ්ඨ වූ හෙවත් උත්තම වූ යන්නයි. “මතියා උපෙතො” යනු ප්‍රඥාවෙන් යුක්ත වූ යන්නයි. “එළමූගො” යනු කටින් කෙළ හලන බාලයා ය. “පුත්තො පිතු අබ්භිදා උත්තමඞ්ගං” යනු තමන්ගේ මෝඩකම නිසා පුතකු වුව ද ‘මදුරුවාට පහර දෙන්නෙමි’ යි සිතා පියාගේ උත්තමාංගය හෙවත් හිස දෙපලු කළ බවයි. එනිසා මෝඩ මිතුරාට වඩා නුවණ ඇති පසමිතුරා ම ශ්‍රේෂ්ඨ යැයි, මේ ගාථාව වදාරා බෝසතාණන් වහන්සේ නැඟිට තමන්ගේ කටයුතු සඳහා පිටත්ව ගියේය. වඩුවාගේ ඤාතීහු ඔහුගේ ශරීර කෘත්‍යය (භූමදානය) කළහ.
බුදුරජාණන් වහන්සේ, “උපාසකවරුනි, පෙරත් මදුරුවන්ට පහර දෙන්නෙමු යි සිතා අන්‍යයන්ට පහර දුන් මිනිස්සු මොවුන් ම යැ” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතක කතාව නිමවා වදාළ සේක. “එකල්හි ගාථාවක් කියා පිටත්ව ගිය නුවණ ඇති වෙළෙන්දා වනාහි දැන් මම ම වෙමි.”
සිව්වන මකස ජාතක වර්ණනාව නිමියේය.