යසකුල පුත්‍රයා

එ සමයෙහි එක් දිනෙකැ රෑ බරණැස් සිටු පුත් යස නම් තරුණ තෙම ගිහිගෙය කලකිරී, කිසිවකුටත් නො දන්වා හුදෙකලාව සිය මාලිගයෙන් නික්ම තවුස් පැවිද්ද ලබන අදහසින් යන්නේ, එ කලැ තවුසන්ගේ වාසස්ථානයක් ලෙස ප්‍රකට ව පැවැති සෘෂිපතනයට ළඟා වි ය. මේ වේලාව රෑ එළිවෙන යාම යයි. භාග්‍යවතුන් වහන්සේ සිරිත් පරිදි අලුයම්හි නැගිට නුවණින් ලොව බලන සේක්, යසකුල පුත්‍ර ගිහිගෙන් නික්ම එන්නහු දැක ඔහු හමු වීම ද බලාපොරොත්තුවෙන් සක්මන් කරමින් සිටි සේක. සක්මනෙහි යෙදී සිටි උන් වහන්සේ දුරැ එන යස කුල පුතු දැක සක්මන් මළුයෙන් බැස (පස් වග රහතුන් විසින් එ වේලායෙහි) පණවන ලද ආසනයෙහි වැඩ හුන් සේක. යස තෙම ආරාමය සමීපයට එන්නේ භාග්‍යවතුන් වහන්සේ නො දුරු තන්හි දී “අහෝ! ගිහිගෙය උවදුරු සහිතය! අහෝ! හිරිහැර සහිතය! යන වචන කීයේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “යස, මේ මහණ දම නම් ඒ උවදුරුවලින් මිදුණේ ය. හිරිහැර නො මැත්තේ ය. යස මෙහි එන්න, ඉඳ ගන්න, නුඹට ධර්මයක් දේශනා කරන්නෙමි” යි වදාළ සේක. එය ඇසූ යසකුලපුත් “මේ මහණ දම් උවදුරු නැති එකක් ලු, හිරිහැර නැති එකක් ලු” යැ යි සිතා සතුටු වැ පාවහන් ගලවා තබා, බුදුරජාණන් වහන්සේ කරා පැමිණ වැඳ එක් පැත්තකැ ඉඳ ගත්තේ ය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ “දන් දීමේ අනුසස්, සිල් රැකීමේ අනුසස්, එයින් ලැබෙන ස්වර්ග සම්පත්තියේ හැටි, එහෙත් ඒ සියලු කාම සම්පත්තීන් දොස් සහිත බව, ලාමක බව, කිලුටු බව, එ බැවින් කම්සැප හැර දමා මහණවීමේ වටිනාකම” යන දේශනා ක්‍රමයෙන් දහම් දෙසු සේකි. ඒ බණ ඇසීමෙන් කෙලෙස් බර ගතිය, කෙලෙස් රළු ගතිය අඩු වී ගොස් යස කුල පුතුගේ සිත මෘදු වූ, පහන් වූ, චතුස්සත්‍ය අවබෝධ කැර ගැනීමට සුදුසු සේ පිළියෙල වූ විගස බුදුවරුන්ගේ ම දේශනා ක්‍රමය වූ දුක්, දුක් හේතුව, නිවන, නිවනට මඟ යන සැබෑ සතර ප්‍රකාශකැරැ වදාළ සේක. පිරිසිදු වස්ත්‍රය යම් සේ රදන් (සායම්) ඉතා තදින් උරා ගන්නේ ද, එසේ ම එ ආසනයේ ඉන්දැ දී ම චතුස්සත්‍යාවබෝධය කිරීමෙන් යස කුල පුත් සෝවාන් විය.