යස කුල පුතුගේ මවු ප්‍රාසාදයට නැග සිය පුතු නො දැක, සැමියා හට ඒ බව දැන්වූවා ය. සිටු ද පුතු සොයනු පිණිස සිවු දෙසට අසරු දූතයන් යවා තෙමේත් නික්ම යනුයේ, රන් මිරිවැඩිවල අඩි සටහන් දැක එය අනුව ගියේ, ඉසිපතනාරාමයට පැමිණියේ ය. ඈත එන ඔහු දුටු භාග්‍යවතුන් වහන්සේ සිටුහට යස කුලපුත්‍ර නො පෙනෙන්නට සැලැස් වූ සේකි.
සිටු තෙමේ ද ආරාමයට පැමිණ “භාග්‍යවතුන් වහන්ස, දැන් ටිකකට පෙර මේ පැත්තට ආ යස කුලපුත්‍රයා දුටු සේක් දෝ”යි විතාළේ ය. “යස කුලපුතු දක්නා කැමැත්තෙහි නම්, ගෘහපතිය, ටිකක් මෙහි හිඳින්න. තව ටිකෙකින් මෙහි ම ඉන්නා යස කුලපුතු දැක්කැ හැකි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එ විටැ ගෘහපති තෙම “මෙහි ම ඉන්නා යස කුල පුතු දක්නෙමි” යි සිතා සතුටුව වැඳ එක් පැත්තෙකැ ඉඳ ගත්තේය. එසේ උන් ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ දාන කථාදී පිළිවෙළින් බණ වදාළ සේක. දේශනාවසානයේදී හේ සෝවාන් වූයේ, ඒ බව දන්වා වචනයෙන් ද තෙරුවන් සරණ ගියේ ය. ලොවැ තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යස කුල පුතුගේ පියා වූ බරණැස් සිටුය.