ඉක්බිති ඔහු බුදුරජාණන් වහන්සේටත් යස භික්ෂුවටත් දන් පිළිගැන් වූහ. ඔවුන් වහන්සේ දන් වැළඳු පසු. ඔහු එක් පසෙකැ ඉඳ ගත්හ. බුදුරජාණන් වහන්සේ ඔවුනට අනුමෝදන බණ වදාරා විහාරයට වැඩි සේක.
යස කුල පුතු මහණ වූ පවත් ඇසූ ඔහුගේ යහළු වූ බරණැස උසස් කුල සතරෙකැ දරු වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සිටුකුල පුත්තුද යස රහතුන් වහන්සේ කරා පැමිණ වැඳ පසෙක සිටියෝය. යස රහත්හු එ යහලුවන් සිවුදෙනා ගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළැඹියහ. වැඳ පසෙක හිඳ ඔවුනට අවවාදානුශාසනා කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ අයැදූහ. බුදු රජාණන් වහන්සේ ඔවුනට දාන කථා ශීල කථා දි පිළිවෙල කථායෙන් අවවාදානුශාසනා කළ සේක. ඉක්බිති ඒ ඇසීමෙන් තුනී වූ කෙලෙස් ඇති ඔවුනට චතුසත්‍යය ප්‍රකාශ කළ සේක. ඔහු ඒ අසා සෝවාන් ව ඒහි භික්ෂූපසම්පත්තිය ලැබූහ. නැවතත් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බණ වදාළ සේක. එය ඇසූ ඒ භික්ෂූහු සියලු කෙලෙස් නසා රහත් වූහ.