තම පියාට දෙසූ ධර්මය අසා යස කුලපුත් තෙම නුවණ මුහුකුරුවා සියල් කෙලෙස් නසා රහත් විය. ඉන්පසු හේ කිසිසේත් ගිහි ගෙයි නො බැඳෙන්නේය. මේ බව සැලකූ බුදුරජාණන් වහන්සේ බරණැස් සිටුහට යස කුලපුත්‍රයා පෙනෙන්නට සැලැස් වූ සේක. එ විට ගෘහපති තෙම ස්වකීය පුත්‍රයා දැක “පුත, නුඹේ මව හඬමින් මැරෙන තරම් ශෝකයෙන් තැවි තැවී ඉඳී. මවට ජීවිතය දෙව” යි කීය. යස තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ මුහුණ බැලීය. බුදුරජාණන් වහන්සේ යස කුලපුතු රහත් වූ බවත් එහෙයින් ගිහිගෙහි නොරැඳෙන බවත් වදාළ සේක. සිටු ද යස කුල පුත්‍රයාට වූයේ මහත් ලාභයෙකැයි සතුටු වැ එ දින දනට යසයන් හා සමග වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචන කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ද තුෂ්ණිම් භාවයෙන් එය පිළිගත් සේක. සිටු ද බුදුරජාණන් වහන්සේ තමාගේ ආයාචනය පිළිගත් බව දැන, වැඳ පැදකුණු කොට ගියේ ය. සිටු ගිය පසු යස කුල පුත් තෙම බුදුරජාණන් වහන්සේගෙන් ඒහි භික්ෂු සම්පත්තිය ලැබුයේ ය.