“සද්ධින්ද්‍රියං භික්ඛවෙ, බෝධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සතින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සමාධින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්‍රියං බොධි පක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණාසීහො තෙසං මිගරාජා අග්ගමක්ඛායති යදිදං ථාමෙන ජවෙන සූරියෙන, එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය.”
තේරුම :-
මහණෙනි, සද්ධින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. විරියින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සතින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සමාධින්ද්‍රිය ය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. පඤ්ඤින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. මහණෙනි, යම් තිරිසන් සත්ත්ව කෙනෙක් වෙද්ද, ඔවුන් අතුරෙන් සිංහයා වීර්‍ය්‍යයෙන් ද වේගයෙන් ද සූරභාවයෙන් ද අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් යම් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත් ද, ඔවුන් අතුරෙන් පඤ්ඤින්ද්‍රිය ය අග්‍රය යි කියනු ලැබේ.
අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්වන රාජාදීන් මෙන් නාමරූප ධර්මයන්හි අධිපති බව පවත්නා වූ ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති. අධිපති බව පැවැත්වීමය යනු අන්‍ය ධර්මයන් තමා හට අනුකූල කරවා ගැනීම ය. බුද්ධාගමෙහි ඉන්ද්‍රිය ධර්ම දෙවිස්සක් දක්වා තිබේ. ඒ සියල්ල ම සම්බෝධියට උපකාර වන්නේ නො වේ. දෙවිසි ඉන්ද්‍රිය ධර්මයන් අතුරෙන් සද්ධින්ද්‍රියය. විරියින්ද්‍රියය, සතින්ද්‍රියය, සමාදින්ද්‍රියය, පඤ්ඤින්ද්‍රියය යන මේ ඉන්ද්‍රියයෝ පස්දෙන විශේෂයෙන් සම්බෝධියට උපකාර වෙති. එ බැවින් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ඒ පස පමණක් ගනු ලැබේ.