පෘථග්ජන සත්ත්වයාගේ සිත පඤ්චකාමයට හා පාපයට බර ව පවත්නකි. පඤ්චකාම විෂයයෙහි හා පාපයෙහි පැවැත්ම එහි ස්වභාවය ය. එය කුශල පක්ෂයට හරවා ගැනීමට කුශල පක්ෂයෙහි නැවැත්වීමට යම් කිසි බලයක් වුවමනා ය. සතිය ය යි කියනුයේ සිතට පඤ්චකාම විෂයයෙහි ම යන්නට නො දී, පාප පක්ෂයෙහි ම පවතින්නට නො දී එය කුශල පක්ෂයට හරවන කුශල පක්ෂයෙහි පිහිටවන චෛතසික ධර්මයට ය. සිහිය යනු ද එයට නමෙකි. ඒ චෛතසිකය තමා හා සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන්නා වූ ස්වභාවයෙන් සතින්ද්‍රිය නම් වේ. එය දියුණු කරන කල්හි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයේ සත් වන අංගය වූ සම්මාසතිය වන්නේ ය. අර්හත් මාර්ග සම්ප්‍රයුක්ත අෂ්ටාංගික මාර්ගයේ සම්මාසතිය වීම එහි දියුණුවේ අවසානය ය. දානාදි පින්කම් වරින් වර කරන සාමාන්‍ය ජනයාගේ සතින්ද්‍රියයට වඩා උසස් වූ යෝග කර්මයෙන් දියුණු කරන ලද සතින්ද්‍රියය ම බෝධිපාක්ෂික සතින්ද්‍රියය වේ.
“කත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සතිපට්ඨානෙසු ඵත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං” යි වදාළ පරිදි සතින්ද්‍රියයා ගේ දියුණුව සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් දත යුතු ය. සතිපට්ඨාන භාවනාව සතින්ද්‍රිය ප්‍රකට ව පෙනෙන තැන ය. ආශ්වාස ප්‍රශ්වාසය හෝ කේශාදි කොට්ඨාසයන් හෝ මෙනෙහි කරන කල්හි සිත අන් අරමුණු කරා නොගොස් කාය කොට්ඨාසයන්හි ම පවතී නම්, වෙහෙසක් නැති ව කාය කොට්ඨාසයන්හි ම සිත පැවැත්විය හැකි වේ නම්, බොහෝ වේලා ගත වුව ද සිත කාය කොට්ඨාසයන්හි ම පවතී නම් එයින් සතින්ද්‍රියයා ගේ දියුණුව දත යුතු ය. සිත කාය කොට්ඨාසයන්හි නො පිහිටා නැවත නැවත වහ වහා බැහැරට යේ නම් එයින් සතින්ද්‍රිය දියුණු ව නැති බව තේරුම් ගත යුතු ය.