ලොව ඇති සියල්ලෙහි ම සත්ත්වයන් ගේ සිත් ඇද ගන්නා ස්වභාවයක් තිබේ. ඒ හැම දෙය ම ඇදෙන බව නැමෙන බව යොමු වන බව සිතේ ස්වභාවය ය. ගොඩක් ම බදා ගන්නට යන තැනැත්තා හට එකකුදු හොඳින් හසු නො වන්නාක් මෙන්, සිත හැම දෙයකට ම යොමු වුවහොත් එක දෙයක් ගැනවත් හොඳ දැනීමක් ඇති නො වේ. ඒ ඒ දෙය පිළිබඳ හොඳ දැනුම ඇති වීමට එක් එක් වරකදී එක් එක් දෙයකට පමණක් සිත් යොමු කළ යුතු ය. එක ම වස්තුවෙහි ද අනේකාකාර ඇත්තේ ය. ඒ ඒ දෙය පිළිබඳ දැනුම ඇතිවීමට ඒ අනේකාකරයන් ගෙන් එක් ආකාරයකට පමණක් සිත යොමු කළ යුතු ය. එසේ නො වුවහොත් එක් දෙයක් පිළිබඳවත් දැනීමක් ඇති නො වේ.
සිත්කම් දන්නා කෙනකුට එක් මිනිසකුගේ රූපය ආකාරය සියයකින් වුව ද ඇඳිය හැකි ය. එහෙත් එක වරක දී ඒ රූපය ඇඳිය හැක්කේ යම් කිසි එක ආකාරයකින් ය. එය නොයෙක් ආකාරයෙන් කරන්නට ගියහොත් එක් ආකාරයකිනුදු ඇඳීම සිදු නො වේ. සිතින් අරමුණු ගැනීම ද එසේ තේරුම් ගත යුතු ය. සිත හැම අරමුණට ම ඇදෙන බැවින් එය නොයෙක් දෙයට නොයෙක් අරමුණට, එක් අරමුණේ ද නොයෙක් ආකාරයන්ට යොමු වන්නට නො දී එක් අරමුණක එක් ආකාරයක පිහිටවන ධර්මයක උපකාරය සිතට සැම කල්හි ම වුවමනා ය. සමාධින්ද්‍රියය යි කියනුයේ එක් අරමුණක පිහිටවීම් වශයෙන් සිත ආණ්ඩු කරන ධර්මයට ය. එද එක් චෛතිසක ධර්මයෙකි. එය සැම සිතක ම ලැබෙන්නේ ය.
සමාධියෙන් තොර ව සිතට ඇති විය නො හැකි ය. සැම සිතක ම ඇති සැම දෙනාට ම ඇති ඒ දුබල සමාධිය ධ්‍යානාදිය සඳහා කරන යෝග කර්මයට ප්‍රමාණ නොවේ. එ බැවින් එය බෝධිපාක්ෂික සමාධින්ද්‍රිය ලෙස නො සලකනු ලැබේ. ඒ සමාධිය දියුණු කළ හැකි ධර්මයෙකි. සමාධිය දියුණු වීමෙන් සිත් රාශියක් ම සිත් පරම්පරා බොහෝ ගණනක් ම එක් අරමුණක පැවැත්වීමට සමත් වේ. ධ්‍යානාදිය සඳහා යෝග කරන්නා වූ සත්පුරුෂයන්ට වුවමනා, සිත් බොහෝ ගණනක් එක ම ආරම්මණයක එක ම ආකාරයකට පැවැත්විය හැකි සමාධියකි. බෝධිපාක්ෂික සමාධින්ද්‍රිය එය ය. එය පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි ය යි තෙවැදෑරුම් වේ. ඒවායේ විස්තර භාවනා ක්‍රම උගන්වන පොත්වලින් දත යුතු ය.
ආනාපානාද ශමථ භාවනාවන්හි යෙදීමෙන් සමාධිය විශේෂයෙන් දියුණු වේ. ශුද්ධ විදර්ශනාව ම කරන්නවුන්ට විදර්ශනා භාවනාවෙන්ද එය දියුණු වේ. “කත්ථ ච භික්ඛවෙ, සමාධින්ද්‍රියං දට්ඨබ්බං, චතුසු ඣානෙසු ඵත්ථ සමාධින්ද්‍රියං දට්ඨබ්බං” යි දේශිත පරිදි ධ්‍යාන චතුෂ්කයා ගේ වශයෙන් සමාධින්ද්‍රියේ දියුණුව දත යුතු ය.