චත්තාරො ඉද්ධිපාදා, ඡන්දිද්ධිපාදො, විරියිද්ධිපාදො චිත්තිද්ධිපාදො විමංසිද්ධිපාදො.
ඡන්දිද්ධිපාදය විරියිද්ධිපාදය චිත්තිද්ධිපාදය වීමංසිද්ධිපාදය යි සෘද්ධිපාද ධර්ම සතරෙකි.
සෘද්ධි යනු යම් කිසිවක සිදු වීම ය. ඒ ඒ දෙය සිදුකළ හැකි ශක්තියට සෘද්ධි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ගස් හා වැල් උපන් තැනින් අන් තැනකට නො ගොස් එ තැනම කලක් ජීවත් වී මැරෙයි. සත්ත්වයෝ උන් තැන ම නො සිට තැනින් තැනට යති. ඔවුන් ගේ ඒ යාම සෘද්ධියෙකි. ඇතැම් සත්ත්ව කෙනෙක් තමන් අවට ඇති දෑ නො දකිති. ඇතැම් සත්ත්වයෝ දකිති. ඔවුන් ගේ ඒ දැකීම ද එක් සෘද්ධියෙකි. ඇතැම් සත්ත්වයෝ කිසි හඬක් නො අසති. ඇතැම්හු අසති. ඔවුන් ගේ ඒ ඇසීමත් එක් සෘද්ධියෙකි. බොහෝ සත්ත්වයෝ කථා කිරීමේ මාර්ගයෙන් තමන්ගේ අදහස් අන්‍යයන්ට දැන්වීමට නො සමත් වෙති. මනුෂ්‍යයෝ එය කරති. මනුෂ්‍යයන්ගේ ඒ කථා කිරීම ද එක් සෘද්ධියෙකි.
මෙසේ ලෝකයේ බොහෝ සෘද්ධීහු ඇත්තාහ. එහෙත් ඒ සිය්ලල ම ලෝකයා විසින් සෘද්ධි වශයෙන් සලකනු නො ලැබේ. ලෝකයා සෘද්ධි වශයෙන් සලකනු ලබනුයේ චිත්ත බලයෙන් අහසින් යාම, දිය සුළං ආදිය ඇති කිරීම, නො පෙනී සිටීම, ඇසට නො පෙනෙන දෑ දැකීම, අනුන්ගේ අදහස් දැනීම යනාදි සැම දෙනාට සිදු කළ නො හෙන ඉතා ටික දෙනකුට පමණක් සිදු කළ හැකි සිදු කිරීමට අපහසු සිදුවීම් ය.
මේ සෘද්ධිපාද කථාවෙහි සෘද්ධි වශයෙන් ගනු ලබන්නේ ද සැම දෙනාට ම සිදු කළ නො හෙන සිද්ධීන් ම ය.
සසර දුකින් මිදීම සඳහා ඇති කර ගත යුතු වූ දුකින් මිදීමට පිහිට වන්නා බුදු සස්නෙහි, යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වන්නා වූ ද බලාපොරොත්තු විය යුතු වූ ද ශාසනික සෘද්ධි පසක් ඇත්තේ ය. සෘද්ධිපාද ධර්මයන් වැඩිය යුත්තේ ඒ සෘද්ධීන් ලබනු සඳහා ය.
ඒ සෘද්ධි පස :-
- අභිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු අභිඤ්ඤ සිද්ධි
- පරිඤ්ඤය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤ සිද්ධි
- පහාතබ්බෙසු ධම්මෙසු පහාන සිද්ධි
- සච්ඡිකාතබ්බෙසු ධම්මෙසු සච්ඡිකිරියා සිද්ධි
- භාවෙතබ්බෙසු ධම්මෙසු භාවනා සිද්ධි
යනුවෙන් දක්වා තිබේ.
චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම “අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි” යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය. සන්තති ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය යන ඝණ සතරින් වැසී තිබෙන්නා වූ නාමරූපයෝ ධර්ම වශයෙන් නො ව සත්ත්ව පුද්ගලාදි වශයෙන් ම පෙනී සිටිති. එ බැවින් ඒවාට ලෝකයා රැවටෙති. ඒවායේ තතු නො වරදවා දැන ගැනීම ඉතා දුෂ්කරය. ඒවා හෙළි වන්නේ ලෝකයෙහි බුදුවරයන් පහළ වන කාලවලදී පමණෙකි. බුදු සස්නෙන් මිස ඉන් පිටත කොතැනකින්වත් කවර ආගමකින්වත් කවර දර්ශනයකින්වත් කවර විද්‍යාවකින් වත් ඒවා දැන ගත නො හැකිය.
දැන ගැනීමට දුෂ්කර වූ ද, දැන ගැනීමට දුර්ලභ වූ ද, ඒ පරමාර්ථ ධර්මඥානය එක්තරා සෘද්ධියකි. ඒ සෘද්ධිය විදර්ශනා කරන යෝගාවචරයන් විසින් පළමු කොට ම ලබා ගත යුතු ය. විදර්ශනාවට බිම වන්නේ ඒ සෘද්ධිය ය. ඒ සෘද්ධිය නමැති භූමියෙහි පිහිටා ම විදර්ශනා කළ යුතු ය. විදර්ශනාවෙන් ලැබිය හැකි නියම ඵලය ලැබිය හැකි වන්නේ ඒ සෘද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන යෝගාවචරයන්ට ය. අභිධර්මපිටකය හැදෑරීමෙන් ඒ සෘද්ධිය ලැබිය හැකි ය. අභිධර්මාර්ථ සංග්‍රහය හෝ එවැනි අන්‍ය ග්‍රන්ථයක් හෝ මැනවින් උගෙනීමෙන් ද යෝගාවචරයකුට ප්‍රමාණවත් වන පරිදි ඒ සෘද්ධිය ඇති කර ගත හැකි ය.
දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන් ද පිරිසිඳ දැන ගැනීම “පරිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤා සිද්ධි” යනුවෙන් දැක්වෙන දෙවන සෘද්ධිය ය.
සමුදයාර්‍ය්‍යසත්‍ය සංඛ්‍යාත තෘෂ්ණාව හා අවශේෂ ක්ලේශයන් ගේ ද ප්‍රහාණය “පහාතබ්බේසු ධම්මෙසු පහාන සිද්ධි” යනුවෙන් දැක්වෙන තුන්වන සෘද්ධිය ය.
තමන්ගේ සන්තානයෙහි අනුශය වශයෙන් පවත්නා වූ තෘෂ්ණාවන්ගේ හා අවශේෂ ක්ලේශයන් ගේ ද මතු කිසි කලෙක නූපදනා පරිද්දෙන් වන නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණධාතුව ස්වකීය ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම “සච්ඡිකාතබ්බෙසු ධම්මෙසු සච්ඡිකිරියා සිද්ධි” යනුවෙන් දැක්වෙන සෘද්ධිය ය.
ලෝකෝත්තර මාග සත්‍ය භාවයට පැමිණෙන තුරු ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය දියුණු කිරීම “භාවෙතබ්බෙසු ධම්මේසු භාවනා සිද්ධි” යනුවෙන් දැක්වෙන සෘද්ධිය ය. ලෝකෝත්තර මාර්ගය පහළ වීම ඒ සෘද්ධිය සම්පූර්ණ වීම ය. සෝවාන් වීම ය, සකෘදාගාමි වීම ය, අනාගාමි වීම ය. රහත් වීම ය යි කියනුයේ ද ඒ සෘද්ධියට ම ය. එය විශුද්ධි ක්‍රමයෙන් ද කිය හැකි ය. චතුපාරිශුද්ධි සීලය එක් සෘද්ධියකි. පරිකර්ම සමාධි උපචාර සමාධි සහිත වූ රූපාරූප ධ්‍යානයන් ගේ ප්‍රතිලාභය එක් සෘද්ධියකි. ධ්‍යානයන් වඩා දියුණු කිරීමෙන් ඇති කර ගන්නා වූ සෘද්ධිවිධාදි ලෞකික අභිඥා පස සෘද්ධි පසෙකි. නාමරූප ධර්මයන් තත්ත්වාකාරයෙන් හැඳින ගෙන දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම එක් සෘද්ධියකි.
සංස්කාරයන් ගේ හේතූන් තත්ත්වාකාරයෙන් දැන ගෙන ආත්මයක් ඇත ද නැත ද රූපාදිය ආත්මය ද නො වේ ද යනාදීන් පවත්නා වූ සැකයන් දුරු කර ගැනීම නිසැකව ආත්මයක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව දැන ගැනීම එක් සෘද්ධියකි. සැක දුරු කර ගෙන විදර්ශනා කරන තැනැත්තා හට ඕභාසාදි උපක්ලේශයන් ඇති වූ කල්හි ඇති කර ගත යුතු වූ වැරදි මඟ හා නිවැරදි මඟ වෙන් කර ගත හැකි නුවණ එක් සෘද්ධියකි. උදයව්‍යය ඥානාදි විදර්ශනා ඥාන නවය සෘද්ධි නවයකි. ලෝකෝත්තර මාර්ග ඥාන සතර සෘද්ධි සතරෙකි. මේ සියල්ල ශාසනික සෘද්ධීහු ය.
කියන ලද ශාසනික සෘද්ධීන්ට පැමිණීම, ඒ සෘද්ධීන් ලැබීම අති දුෂ්කර ය. සත්ත්වයන් නිවනයට නො පැමිණ සසර සයුරේ ම ගිලී දුක් විඳින්නේ ඒ නිසා ය. සිදු කිරීමට ඉතා දුෂ්කර දෑ අනෙකක උපකාරයෙන් සිදු කළ හැකි ය. මිනිසකුට සමුද්‍ර තරණය ඉතා දුෂ්කර ය. එහෙත් නැවක උපකාරයෙන් එය කළ හැකි ය. මිනිසාට අහසින් යාම ඉතා දුෂ්කර දෙයකි. එහෙත් අහස් යානයක උපකාරයෙන් එය සිදු කළ හැකි ය. සමුද්‍රතරණාදියට උපකාර වන නැව් ආදිය සේ පැමිණීමට - ලැබීමට උපකාර වූ සෘද්ධීන්ට පැමිණීමට - ලැබීමට උපකාර වන ධර්මයෝ ඇතහ. ඒවා ඇති කර ගෙන ඒවායේ ආධාරයෙන් ඒ සෘද්ධි ලැබිය හැකි ය. සෘද්ධිපාදයෝ යයි කියනු ලබනුයේ ඒ සෘද්ධීන්ට පැමිණීමට උපකාරක ධර්මයන්ට ය. යම් ධර්ම කෙනකුන් ගේ බලයෙන් උපකාරයෙන් සෘද්ධිය ලබා ද ඒ ධර්මයෝ සෘද්ධිපාද නම් වෙති. සෘද්ධිපාද සතර ඉහත දක්වන ලදි.
ඡන්දිද්ධිපාද යන මෙහි ඡන්ද යනු යම් කිසිවකට කැමැත්ත ය. තවත් ක්‍රමයකින් කියත හොත් යම් කිසිවකට ආශාව ය. සාමාන්‍යයෙන් ඡන්දය එකක් වුව ද එය ශක්තීන් ගේ ප්‍රමාණයෙන් අනේකාකර වේ. ලැබීමට දුෂ්කර වූ සිදු කිරීමට දුෂ්කර වූ යම් කිසිවක් පිළිබඳව ඇති වන ඡන්දයෝ බොහෝ සෙයින් ඒ බලාපොරොත්තු වූ දෙය නො ලබා ම සිදු නො කොට ම සන්සිදෙති. සන්සිඳීම ය යනු බලාපොරොත්තුව නැති වී යාම ය. එබඳු ඡන්දයෝ දුබල ඡන්දයෝ ය. ලබා ගැනීමට අතිශයින් දුෂ්කර වූ ඉහත කී ශාසනික සෘද්ධීහු එබඳු ඡන්දයකින් ලැබිය හැකි නො වෙති. ඒවා ලැබීමට කොතෙක් කල් ගත වුව ද, කොතෙක් වෙහෙසෙන්නට සිදු වුව ද, කොතෙක් සැප අත් හරින්නට වුව ද, කොතෙක් දුක් ගන්නට වුව ද සෘද්ධිය නො ලබන තුරු නො සන්සිදෙන බලවත් ඡන්දයක් තිබිය යුතු ය. ඡන්දිද්ධිපාදය යි කියනුයේ එබඳු බලවත් ඡන්දයට ය.
විරියිද්ධිපාද යනු ඉහත සම්‍යක්ප්‍රධාන කථාවෙහි දැක්වුණු වීර්‍ය්‍යය ම ය.
චිත්තිද්ධිපාද යනු සෘද්ධිය ලැබෙන තුරු අනෙකකට නො නැමෙන අතිශයින් සෘද්ධියට නැමුණා වූ සිත ය. සෘද්ධින් ගේ අනුසස් ශ්‍රවණය කළ කල්හි බොහෝ දෙනා ගේ සිත සෘද්ධියට නැමේ. මා විසින් ද ඒ සෘද්ධිය ලබා ගත හොත් මැනවැයි බොහෝ දෙනා සිතති. එහෙත් ඒ සෘද්ධිය ලබන්නට පෙර ම ඔවුන්ගේ සිත් නැවත කාමයන්ට නැමේ. සෘද්ධිය ඔවුනට අමතක වෙයි. එසේ ලබන්නට මත්තෙන් කාමයන්ට නැමී බර වී සෘද්ධිය අමතක වන්නා වූ දුබල සිත චිත්තිද්ධිපාදය නො වේ.
විමංසිද්ධිපාදය යනු අපාය දුඃඛයා ගේ භයානකත්වය විශාලත්වය දක්නා වූ ද, සංසාරදුඃඛයා ගේ විශාලත්වය දක්නා වූ ද, සෘද්ධියෙහි අනුසස් දක්නා වූ ද, ස්කන්ධාදි ගම්භීර ධර්මයන්හි හැසිරීමට සමර්ථ වූ ද ඥානය ය.
සෘද්ධිපාදයන් ගෙන් එකකුදු ඇති තැනැත්තා මේ භවයෙහි හෝ අනන්තර භවයෙහි හෝ මේ බුදුසස්නෙහි ම මගපල ලබන්නේ ය. දෙකක් හෝ තුනක් හෝ සතර ම හෝ ඇති තැනැත්තා ගැන කියනු ම කිම? සෘද්ධිපාද නැතියෝ මෙකල උත්සාහ කළත් මඟපල නො ලැබිය හැකි ය කියා හෝ අපට සුදුසු තැන් නැත, සුදුසු උපස්ථායකයන් නැත, සුදුසු ගුරුවරු නැත, අවකාශ නැත, සනීප නැත යනාදීන් නොයෙක් දේ සිතමින් පසු බසිති. ඔවුහු සෘද්ධිපාද ධර්ම ඇති කර ගන්නා තුරු කිසි කලෙක මඟපල නො ලබති. එක් සෘද්ධිපාදයක් වුව ද ඇති කර ගත හොත් එයින් හේ මඟපල ලබා නිවන් දක්නේ ය. සෘද්ධිපාදයන්ගෙන්, ඇතැමෙක් ඡන්දිද්ධිපාදය ලබා එයින් මඟපල ලබා නිවන් දකිති. ඇතැමෙක් විරියිද්ධිපාදයෙන් ද ඇතැමෙක් චිත්තිද්ධිපාදයෙන් ද ඇතැමෙක් වීමංසිද්ධිපාදයෙන් ද මඟපල ලබති.
රට්ඨපාල මහරහතන් වහන්සේ ඡන්දිද්ධිපාදය පිහිට කොට රහත් වූ සේක. උන් වහන්සේගේ චරිතය සැකෙවින් මෙසේ ය. කුරුරට ථුල්ලකොට්ඨික නම් නියම්ගම විසූ මහාසිටුවරයකුට රට්ඨපාල නම් වූ එකම පුත්‍රයෙක් විය. බුදුරජාණන් වහන්සේ ථුල්ලකොට්ඨික ගමට වැඩ දහම් දෙසූ කල්හි එය අසා රට්ඨපාලයන්ට පැවිදි වීමේ බලවත් කැමැත්ත ඇති විය. හේ මවුපියන් කරා ගොස් පැවිදි වීමට අවසර ඉල්ලීය. තමන් සතු මහා ධනස්කන්ධය හිමි කරවීමට ඇත්තේ එක ම දරුවා බැවින් මවුපියෝ ඔහුට අවසර නුදුන් හ. එහෙත් රට්ඨපාලයන්ගේ ඡන්දය නො සන්සිඳිණ. හේ ‘පැවිදි වන්නට අවසර නො ලැබෙතහොත් මෙ තැන ම නොකා නොබී සිට මිය යමි’ යි බිම නිදා ගත්තේ ය.
මවුපියෝ ඔහුට නොයෙක් ආකාරයෙන් පැවිදි නො වන්නට කරුණු කීහ. රට්ඨපාලයන්ගේ මිතුරන් ගෙන්වා ඔවුන් ලවා ද කරුණු කියවූහ. රට්ඨපාලයන් ගේ ඡන්දය සන්සිඳ වන්නට කිසිවෙක් අසමර්ථ වූහ. උපවාසයෙන් මිය ගිය හොත් නපුරු ය යි සිතා දින ගණනකට පසු මවුපියෝ ඔහුට පැවිදිවීමට අවසර දුන්හ. රට්ඨපාලයාණෝ නැඟිට කා බී ශරීරය ප්‍රකෘතියට පමුණුවා ගෙන බුදුන් වහන්සේ කරා එළඹ පැවිද්ද ලබා, අද අද ම රහත් බවට පැමිණෙන්නෙමි යි බලවත් ඕනෑකමින් මහණදම් පුරන්නට පටන් ගත්හ. එසේ කොට උන්වහන්සේ දොළොස් වසකින් සව්කෙලෙසුන් නසා රහත් වූහ.
(විස්තර - පාරමිතා ප්‍රකරණය බලන්න.)
සෝණ මහ රහතන් වහන්සේ විරියිද්ධිපාදය පිහිට කොට එහත් වූ සේක. උන් වහන්සේ චම්පා නගරයෙහි බොහෝ සම්පත් ඇති සිටුවරයකුගේ පුත්‍රයෙකි. ඒ සිටු පුත්‍රයාගේ පතුල් වල ලෝමයෝ වූහ. පතුල්වල ලොම් ඇති කෙනකු ඇති බව අසා පුදුම වූ බිම්සර රජතුමා වරක් ඔහු ගෙන්වා ඔහුගේ පතුල් බැලීය. පසු කලෙක ඒ සිටු පුත් තෙමේ ගිහිගෙයින් නික්ම බුදු සස්නෙහි පැවිදි විය. පැවිදි වූ සෝණ තෙරුන් වහන්සේ සීත වනයෙහි වාසය කළ සේක. උන්වහන්සේ මහණදම් පිරීමෙහි මහත් උත්සාහය ඇතියෙක් වූහ. නිදිමත නො එනු පිණිස උන්වහන්සේ සක්මන් කරමින් භාවනා කළ සේක. ඉතා මෘදු වූ උන්වහන්සේගේ පතුල්වල බොහෝ වේදනා ඇති වූ නමුත් උන්වහන්සේ නො නවත්වා ම සක්මන් කරමින් භාවනාවෙහි යෙදුණාහ.
ක්‍රමයෙන් උන්වහන්සේගේ මොළොක් පතුලේ ගෙවී ඒවායින් ලේ ගලන්නට විය. සක්මන් කරන තැන ලේ තැවරීමෙන් ගවයන් මැරූ තැනක් බඳු විය. එපමණ වීර්‍ය්‍යයෙන් මහණ දම් පුරා ද රහත් නො වූ බැවින් දිනක් සෝණ තෙරුන් වහන්සේ ට නැවත ගිහි වීමේ අදහස ද ඇති විය. ඒ බව තථාගතයන් වහන්සේ දැන, එහි වැඩ වදාරා වීණා උපමාවක් දක්වා පමණ ඉක්මවා වීර්‍ය්‍යය නො කොට පමණට වීර්‍ය්‍යය පවත්වන ලෙසට අවවාද කළ සේක. සෝණ තෙරුන් වහන්සේ එසේ කොට නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ සේක.
සම්භූත මහ රහතන් වහන්සේ චිත්තිද්ධිපාදය පිහිට කොට රහත් වූ සේක. උන් වහන්සේ තථාගතයන් වහන්සේ ගෙන් කායගතාසති කමටහන ගෙන භාවනා කරමින් සීත වනයෙහි වැඩහුන් සේක. දිනක් වෙසවුණු මහරජතුමා දකුණු දිග බලා අහසින් යන කල්හි උන් වහන්සේ සීත වනයෙහි එළිමහන්තැන කමටහන මෙනෙහි කරමින් වැඩ සිටිනු දැක, අහසින් බැස, වැඳ, “සමාධියෙන් නැඟුණු කල්හි මා ආ බව සැල කරවු. එතෙක් තෙපි තෙරුන් වහන්සේ ද ආරක්ෂා කරව් ය” යි යකුන් දෙදෙනකුට නියම කොට ගියේ ය. සමාධියෙන් නැඟී සිටි කල්හි යක්ෂයෝ තෙරුන් වහන්සේට ඒ බව සැල කළහ. එ කල්හි තෙරුන් වහන්සේ වදාරන සේක් :-
“යක්ෂයෙනි, අපට තථාගතයන් වහන්සේ විසින් දෙන ලද සිහිය නමැති ආරක්ෂකයෙක් ඇත්තේ ය. ඒ ආරක්ෂකයා ම අප රක්නේ ය. අන් ආරක්ෂකයකු අපට වුවමනා නැත. අපට මුර කොට තොප නො වෙහෙසිය යුතු ය. ඒ බව වෙසවුණු මහරජතුමාට ද දන්වනු මැනව” යි වදාළ සේක. එසේ කියා ඔවුන් යවා භාවනා කොට සම්භූත තෙරුන් වහන්සේ එකෙණෙහි ම රහත් වූහ. රහත් වීම කෙරෙහි ම තදින් නැමී පැවැතියා වූ උන්වහන්සේගේ සිත චිත්තිද්ධිපාදය ය.
ලූඛචීවර ධාරීන් අතුරෙන් අගතැන් පත් මෝඝරාජ මහ රහතන් වහන්සේ වීමංසිද්ධිපාදය පිහිට කොට රහත් බවට පැමිණියෝ ය. උන් වහන්සේ බාවරී නම් වූ මහතවුසා ගේ ප්‍රධාන ශිෂ්‍යයන් සොළොස් දෙනාගෙන් කෙනෙක් වූහ. ඒ තවුස් පිරිසෙහි සැම දෙනාට ම නුවණින් වැඩි වූවෝ මෝඝ රාජයෝ ය. බුදුන් වහන්සේ විසින් ඔවුන් විචාළ පැනයට පිළිතුරු වශයෙන් වදාළ :-
“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු
මොඝරාජ සදා සතො,
අත්තානදිට්ඨිං ඌහච්ච
එවං මච්චුතරො සියා
එවං ලොකං අවෙක්ඛන්තං
මච්චුරාජා න පස්සති.”
යන ගාථාව අසා ප්‍රඥාව පිහිට කොට සියලු කෙලෙසුන් නසා උන් වහන්සේ එතැන දී ම රහත් වූහ.
යම් කිසිවකට ධ්‍යාන මාර්ගාදි සෘද්ධි ධර්ම ඇති කර ගැනීමේ බලවත් කැමැත්ත ඇති නො වේ නම්, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමට වීර්‍ය්‍ය ඇති නො වේ නම්, ඒවාට නැමුණු සිත ඇති නො වේ නම්, ස්කන්ධාදි ගම්භිර ධර්මයන්හි පැවැත්විය හැකි නුවණ ඇති නො වේ නම්, සෘද්ධිපාද නැත්තා වූ පින්වතුන් විසින් සෘද්ධිපාද ඇතියවුන්ගේ චරිත මෙනෙහි කිරීමෙන් ද, සෘද්ධිපාද ඇත්තා වූ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ද, සෘද්ධිපාද ඇති වීමට හේතු වන ධර්මයන් ඇසීමෙන් හා භාවිත කිරීමෙන් ද, තමන්ගේ සන්තානයෙහි සෘද්ධිපාද ධර්ම ඇති කර ගත යුතු ය. සෘද්ධිපාද කථාව නොයෙක් ක්‍රම ඇත්තා වූ ද ආචාර්‍ය්‍ය මත භේද ඇත්තා වූ ද ගැඹුරු කථාවෙකි. මෙතෙකින් කරන ලද්දේ යෝගාවචරයනට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද යෝගකර්ම සිද්ධිය සඳහා දැන ගැනීමට ප්‍රමාණ වූ ද සෘද්ධිපාද විස්තරයෙකි.
තවත් ක්‍රමයකින් කියන කල්හි සෘද්ධිපාද සෘද්ධි විභාගය පරිකර්මයා ගේ හා ප්‍රතිලාභයා ගේ වශයෙන් දැක්විය යුතු ය. ඒ මෙසේ ය. ප්‍රථමධ්‍යානය සඳහා කරන පරිකර්මය සෘද්ධි පාදය ය. ප්‍රථමධ්‍යානය සෘද්ධිය ය. ද්විතීයධ්‍යානයට පරිකර්මය සෘද්ධිපාදය ය. ද්විතීයධ්‍යානය සෘද්ධිය ය. තෘතීය ධ්‍යානයට පරිකර්මය සෘද්ධිපාදය ය. තෘතීයධ්‍යානය සෘද්ධිය ය. මෙසේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය දක්වා කිය යුතු ය. සෝවාන් මාර්ගයට පරිකර්මය සෘද්ධිපාදය ය. සෝවාන් මාර්ගය හා ඵලය සෘද්ධිය ය යනාදීන් අර්හත් ඵලය දක්වා ද කිය යුතු ය. පූර්ව පූර්ව වූ සෘද්ධිය ද පශ්චිම පශ්චිම සෘද්ධියට පාදය වේ. ප්‍රථමධ්‍යානය සෘද්ධිපාදය ය, ද්විතීයධ්‍යානය සෘද්ධිය ය, ද්විතීයධ්‍යානය සෘද්ධිපාදය ය, තෘතීයධ්‍යානය සෘද්ධිය ය යනාදීන් අර්හත්ඵලය දක්වා ද විස්තර කළ යුතු ය.
මෙතෙකින් සෘද්ධිපාද කථාව නිමි.