සද්ධින්ද්‍රිය යන මෙහි සද්ධා යනු බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණයෝ ය. පින් පව් ඇති බවය, පින් - පව්වලට විපාක ඇති බවය යනාදිය පිළිගන්නා ස්වභාවය ය. විශ්වාසය යනු ද එයට නමෙකි. එහෙත් බුද්ධගුණාදියෙන් අන්‍ය වූ විශ්වාසයන් මෙහි අදහස් කරන ශ්‍රද්ධාව නො වන බව ද සැලකිය යුතු ය. පැහැදීම ය යනු ද ශ්‍රද්ධාවට නමෙකි. මෝහ දෘෂ්ටි මානාදි ක්ලේශයෝ සිතට බුද්ධගුණාදිය පිළිගන්නට නො දෙති. බුද්ධගුණාදිය පිළිගැනීමට බාධා කරති. සිතට බුද්ධගුණාදිය පිළිගැනෙන්නේ ඒ ක්ලේශයන් සිතින් පහ වූ කල්හි ය. ශ්‍රද්ධාව පැමිණීමෙන් සිතෙහි ඇති බුද්ධගුණාදිය පිළිගැනීමට බාධා කරන ක්ලේශයෝ සිතින් පහවෙති. එයින් සිත පැහැදේ. සිතේ ඒ පැහැදීම මිශ්‍ර ව පවත්නා වූ මඩ ආදිය ඉවත් වීමෙන් ඇති වන ජලයේ පැහැදීම මෙන් දත යුතු ය.
තවත් ක්‍රමයකින් කියත හොත් ශ්‍රද්ධාව ම, බුද්ධ ගුණාදිය පිළිගැනීමට බාධා කරන ක්ලේශයන්ගෙන් කිලිටි ගතියට විරුද්ධ වූ පෑදුණු ස්වභාවයකැයි කිය යුතු ය. එය ඇති කල්හි එයට අනුව සිත පහදින්නේ ය. ඇතැමෙක් ශ්‍රද්ධාවය හෙවත් පැහැදීමය යනු සතුටය කියා හෝ ආදරය ය කියා හෝ වරදවා තේරුම් ගෙන සිටිති. බුද්ධාදීන් කෙරෙහි ඇති වන්නා වූ සතුට ආදරය, පැහැදීමේ ඵලයෝ ය. පැහැදීම වූ බුද්ධගුණාදිය පිළිගන්නා ස්වභාවය නිසා බුද්ධාදීන් කෙරෙහි සතුට ද ආදරය ද ඇති වේ. බුද්ධගුණාදිය පිළිගන්නා ස්වභාවයෙන් උපදනා වූ ශ්‍රද්ධාව තමා හා සම්ප්‍රයුක්ත සිත හා චෛතසිකයන් ද බුද්ධගුණාදිය පිළිගැනීමෙහි යොදවයි. බුද්ධගුණාදිය පිළිගැනීමට සම්ප්‍රයුක්ත චිත්ත - චෛතසිකයන් අනුකූල කරවා ගනී. සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූල කරවීම් වශයෙන් ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් ද වෙයි. එ බැවින් එයට සද්ධින්ද්‍රියය යි කියනු ලැබේ.
හැම පිනක් ම කරන හැම දෙනා කෙරෙහි ම සද්ධින්ද්‍රියය ඇති වේ. සද්ධින්ද්‍රියයෙන් තොර ව කරන පිනක් නැත්තේ ය. එහෙත් ඒ හැම සද්ධින්ද්‍රියක් ම බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට අයත් නො වේ. දන් දෙන්නා වූ ද, සිල් රකින්නා වූ ද, මෙයත් මරණින් මතු සැප ලැබීමට හේතු වන එක්තරා පිනකැයි සිතා මෛත්‍රී භාවනාදිය කරන්නා වූ ද, සාමාන්‍ය ජනයා කෙරෙහි ඒ පින් සිදු කිරීමේ දී උපදනා වූ දුර්වල ශ්‍රද්ධාව යෝග ක්‍රියාවන්ට ප්‍රමාණ නො වේ. යෝග ක්‍රියාවන්හි දී සිත තමාගේ වශයෙහි පැවැත්වීමට හෙවත් සිත ආණ්ඩු කිරීමට ඒ දුර්වල ශ්‍රද්ධාව සමත් නො වේ. යෝගකර්මයට වන් කල්හි ඒ ශ්‍රද්ධාව සිතට පැරදෙයි. සිත ඒ ශ්‍රද්ධාව තමා කෙරෙන් බැහැර කොට අන් අතකට හැරෙයි. එ බැවින් ඒ දුර්වල ශ්‍රද්ධාව බෝධිපාක්ෂික සද්ධින්ද්‍රියය නො වේ.
ශ්‍රද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල සැදැහැයක් ඇති තැනැත්තාට යෝග කර්මය අප්‍රිය දෙයකි. ඔහුට එහි ආස්වාදයක් ප්‍රීතියක් නැත. එ බැවින් යෝගක්‍රියාව පටන් ගත්තේ ද ඔහුගේ සිත එහි නො පිහිටා කාමයන් දෙසට ම නැවත හැරෙන්නේ ය. සිතට යෝග කර්මය ප්‍රියවීමට යෝගකර්මයෙන් ආස්වාදයක් ප්‍රීතියක් ලැබිය හැකි වීමට බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතු ය. බෝධිපාක්ෂික සද්ධින්ද්‍රිය වනුයේ වනුයේ සිතට යෝග කර්මයේ දී ආස්වාදයක් ප්‍රීතියක් ලබා දී එහි සිත පිහිටවිය හැකි වන තරමේ බලයෙන් යුක්ත වූ ශ්‍රද්ධාව ය. ප්‍රකෘති ශ්‍රද්ධාව ඒ තත්ත්වයට පැමිණෙන සැටියට දියුණු කළ හැක්කේ ද භාවනාවෙහි යෙදීමෙන් ම ය. එබැවින් එසේ දියුණු කරන ලද බලවත් කරන ලද ශ්‍රද්ධාවට භාවනා ශ්‍රද්ධාව යයි ද කියනු ලැබේ. ලෝකෝත්තර මාර්ගඥානය ඇති වන තෙක් යෝග ක්‍රියාව ගෙන යා හැකි වීමට භාවනා ශ්‍රද්ධාව වූ සද්ධින්ද්‍රියය ඇති කර ගත යුතු ය.
ඉන්ද්‍රිය භාවනාව කරන්නා වූ යෝගාවචරයා විසින් තමාගේ ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව ද තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රිය බලය විමසිය යුත්තේ ඒ ඒ ඉන්ද්‍රියයාගේ බලය විශේෂයෙන් පවත්නා වූ ස්ථානයන් ගෙනි. “චතුසු සොතාපත්තියංගෙසු එත්ථ සද්ධින්ද්‍රියං දට්ඨබ්බං” යි සෝතාපත්තියංග සතරෙහි දී සද්ධින්ද්‍රිය දත යුතුය යි වදාරන ලද පරිදි සෝතාපත්තියංගයන්හි සද්ධින්ද්‍රිය විමසිය යුතු ය. සෝතාපත්තියංග සද්ධින්ද්‍රියයාගේ බලය විශේෂයෙන් පවත්නා වූ ද, සද්ධින්ද්‍රිය ය ප්‍රට වන්නා වූ ද ස්ථානය ය.
බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණයන් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි ඒ අරමුණ තමාගේ සිතට මිහිරි වේ නම්, එහි සිත පිහිටුවා ගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආස්වාදයක් වේ නම්, ධ්‍යානයට සමවැදුන කෙනකුට මෙන් කැමති තාක් කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් සද්ධින්ද්‍රිය දියුණු වී තිබෙන බව තේරුම් ගත යුතු ය. භාවනාවන් අතුරෙන් සද්ධින්ද්‍රිය දියුණු කර ගැනීමට ඉතා හොඳ ඉතා පහසු භාවනාවත් බුද්ධගුණ භාවනාව ම ය. සද්ධින්ද්‍රියය දුබල තැනැත්තන් විසින් එය දියුණු තියුණු කර ගැනීමට ආනුභාව සම්පන්න කර ගැනීමට බුද්ධානුස්මෘති භාවනාව කළ යුතු ය. බුද්ධානුස්මෘතිය වැඩීමෙහි දී ද බුද්ධ ගුණය තේරුම් ගැනීම ප්‍රඥෙන්ද්‍රියයට අයත් ය. බුද්ධානුස්මෘතිය පටන් ගත යුත්තේ ද පළමු කොට හොඳින් බුද්ධ ගුණය තේරුම් ගෙන ය. බුද්ධ ගුණය අවබෝධ නො වී භාවනා කිරීමෙන් ද සද්ධින්ද්‍රියය නො වැඩේ.