01 ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ දශබලධාරීන් වහන්සේ සෝලසාසංඛ්‍ය කල්ප ප්‍රමාණයක් මනෝවාග්ප්‍රණිධාන (සිතින් හා වචනයෙන් පෙරුම් පිරීම්) වශයෙන් හා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට මහාප්‍රණිධාන (ක්‍රියාවෙන් පෙරුම් පිරීම්) වශයෙන් ද අනන්‍යසාධාරණ වූ ක්‍රියාවන් සිදු කොට සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක් අප වැනි අප්‍රමාණ සත්වයින් කෙරෙහි වූ අසීමිත කරුණාව හේතුවෙනි. බුද්ධත්වය ලැබ අනන්ත අපරිමාණ සත්වයින්ට නිවන් සාක්‍ෂාත් කරවමින්, බොහෝ පිරිසක් සුගතිගාමී කරවමින් පුරා හතලිස් පස් වසක් දහම් අමාවෙන් මුලු විශ්වයම සනසවා පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පිරිසිදුව පවතින තාක් කල් අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින්ම පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

‘‘සියා ඛො පනානන්‌ද, තුම්‌හාකං එවමස්‌ස – ‘අතීතසත්‌ථුකං පාවචනං, නත්‌ථි නො සත්‌ථා’ති. න ඛො පනෙතං, ආනන්‌ද, එවං දට්‌ඨබ්‌බං. යො වො, ආනන්‌ද, මයා ධම්‌මො ච විනයො ච දෙසිතො පඤ්‌ඤත්‌තො, සො වො මමච්‌චයෙන සත්‌ථා...”

“ආනන්දය, නුඹ වහන්සේලාට ‘මේ බුද්ධදේශනාව ඉක්මුණු (පිරිනිවුණු) ශාස්තෘවරයෙකු ඇති දේශනාවකි, අපගේ ශාස්තෲන් වහන්සේ නැත’යි මෙසේ අදහසක් ඇති වන්නේ නම්, ආනන්දය එය එසේ නොදත යුතුය. ආනන්දය, මාවිසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරනා ලද්දේ ද පනවන ලද්දේ ද, ඒ ධර්මවිනය මගේ ඇවෑමෙන් නුඹ වහන්සේලාට ශාස්තෲන් වහන්සේ වන්නේය” යනුවෙනි.

එබැවින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ශ්‍රී සද්ධර්ම රත්නය අපගේ ශාස්තෲන් වහන්සේ ලෙස සැලකිය යුතුය. එසේනම් පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින තාක් කල් බුදුරජාණන් වහන්සේ ජීවමාන යැයි දත යුතුය. යම් හෙයකින් යමෙක් ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්ම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඔහු ශාස්තෲන් වහන්සේ ප්‍රතික්‍ෂේප කරන්නේ යැයි දත යුතුය. කරුණු මෙසේ හෙයින් පිරිසිදු ශ්‍රී සද්ධර්ම රත්නය හඳුනාගැනීමට අප දක්‍ෂ වියයුතුය. ඒ සඳහා ප්‍රතිපත්තිගරුක ශ්‍රද්ධාවන්ත බහුශ්‍රැත ගුරු උතුමන් ඇසුරු කිරීම අතිශයෝපකාරී වේ. එසේ නැතිව තමාට හැඟෙන දේ පමණක් නිවැරදිය යන දිට්ඨි - මාන - ථම්භාදී කෙලෙස් වලට හසුවී තීරණ ගැනීම නිසා තමාටත් අනුන්ටත් ලැබෙන්නට තිබෙන යහපත වළකිනවා මෙන්ම අතිශය බරපතල පාපයන් සිදුකොට ගෙන මතු කටුක දුක් වලට හිමිකාරයෙක් වනු ඇත. ඒබැවින් පිරිසිදු බුද්ධ දේශනාව කුමක් ද යන්න හඳුනා ගැනීමේදී රාග-ද්වේශ- මෝහ දුරු කිරීමට හේතු වේද යන්න ප්‍රධාන සාධකයකි. තව ද පුරාණ පටිසම්භිදා ලාභී උතුමන්ගේ යුගයේදී ඒ උතුමෝ පිළිගත් ආකාරය ද ප්‍රධාන සාධකයකි. එබැවින් එම සාධක නොසලකා තම තමාගේ දැනීමට හා දෘෂ්ටියට අනුව දක්වන නූතන මතවාද මෙහිදී කිසිසේත් ම ප්‍රාමාණික නොවේ. ඒ අනුව විනය, සූත්‍ර, අභිධර්ම යන පිටක තුනට අයත් වූ සමන්තපාසාදිකා විනය අටුවාදී පුරාණ ග්‍රන්ථයන්හි පිළිගත් ග්‍රන්ථ පිරිසිදු බුද්ධ දේශනා ලෙස පිළිගත යුතුය. නමුත් දැන් දැන් බොහෝ දෙනා හරිහැටි කරුණු නොදැන ඇතැම් දහම් ග්‍රන්ථ විවේචනය කරමින් අනල්ප අකුසල් සිදුකරගන්නා අයුරු දක්නා ලැබේ.

ඒ අතර ඇතැමෙක් “ත්‍රිපිටකයේ ඇති අභිධර්මය ආදී සියලු ධර්ම කොටස් නිවන් දැකීමට අවශ්‍ය නැත. සූත්‍රපිටකය පමණක් බැලුවාම ඇති.” යැයි ද තවත් අය “සතිපට්ඨානසූත්‍රය පමණක් දැනගත්තාම ඇති” යැයි ද මෙසේ විවිධ අධර්මවාද පතුරති. නිවන් දැකීමට මුළු ත්‍රිපිටකයම දතයුතු යැයි අපිදු නොකියමු. ඇතැමෙකුට සප්පාය දේශනාවක් තවෙකෙකුට සප්පාය නොවිය හැකිය. විවිධ චරිත ඇති විවිධ අදහස් ඇති අයට ඒ ඒ චරිතයන්ට ගැලපෙන ලෙස නිවැරදිවම දහම් දෙසීමේ හැකියාව ඇත්තේ සර්වඥයන් වහන්සේ නමකටම පමණි. එබැවින් මේ මේ කෙනාට ගැලපෙන්නේ මේ මේ දේශනාවයි අනෙක්වා නොගැලපේ යනුවෙන් දැක්වීමේ හැකියාව ඇත්නම් ඒ බුදු රජාණන්වහන්සේම පමණි, ඒ ආසයානුසයඤාණ- ඉන්ද්‍රියපරොපරියත්තෙ ඤාණ ඇත්තේ සර්වඥයින් වහන්සේ කෙනෙකුන්ටම පමණක් බැවිනි. ඇතැම් උතුමන් වහන්සේලා අභිධර්මය සම්මර්ශනයෙන් නිවන් අවබෝධ කළ අයුරු ද සලකා බලත්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පන්සිය දෙනා, නාගසේන මහරහතන් වහන්සේ, මහාගතිම්බය තිස්සදත්ත මහරහතන් වහන්සේ වැනි උතුමන්ගේ කථා ප්‍රවෘත්ති මීට නිදසුන් වෙති. ඒ මෙසේය;

සැරියුත් මාහිමියන්ගේ ඒ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පන්සිය දෙනා කාෂ්‍යප බුදුරජුන්ගේ කාලයේදී කිරි වවුලන්ව උපත ලබා සිට අභිධර්මය සජ්ඣායනය කරන භික්‍ෂූන් වහන්සේලා දෙනමකගේ හඬ අසා ඊට පැහැදී එම කුසලයෙන් මරණින් මතු දෙව් ලොව උපන්හ. එක් බුද්ධාන්තරයක් එසේ දෙව්සැප විඳ එතැනින් චුතවී සැවැත් නුවර කුල ගෙවල්හි උපන්හ. ගණ්ඩබ්බ වෘක්‍ෂ මූලයේ පැවති බුදුරජුන්ගේ යමාමහ පෙළහර දැක පැහැදී සැරියුත් මාහිමියන් සමීපයේ පැවිදිව මනුලොව සියල්ලන්ටම පළමුව ආභිධාර්මික භික්‍ෂූන් බවට පත් වූහ. අභිධර්ම දේශනාව නිමවා බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩම කරන අවස්ථාවේදී පැවැත්වූ දම් දෙසුම් අසා එම පන්සිය දෙනා වහන්සේම උතුම් අරිහත්වය ලැබූ සේක. මෙසේ පෙර ජීවිතයකදී අභිධර්මය අසා තිබීම එම භික්‍ෂූන් වහන්සේලා පන්සිය දෙනාට සුගතිගාමී වීමටත්, පහසුවෙන් ධර්මය දැනගත හැකි තියුණු නුවණක් ලැබීමටත්, ඉක්මණින් උතුම් අරිහත්වය ලැබීමටත් හේතු උපනිශ්‍රය විය.[1]

නාගසේන මහරහතන් වහන්සේ ද පළමුව අභිධර්ම පිටකය පමණක් හදාරා මහඋපාසිකාවකට දහම් දේශනා කර එතුමියව සෝතාපත්ති ඵලයට පමුණුවා තමන් වහන්සේද සෝතාපත්ති ඵලයට පැමිණි සේක. අභිධර්මය හදාරා සිටි පාටලීපුත්‍රයේ සිටුතුමාට ද අභිධර්ම දේශනාවක් පවත්වා එතුමාව ද සෝතාපත්ති ඵලයට පැමිණවූ සේක. පසුව ඉතිරි පිටක දෙකම මාස තුනක් වැනි කෙටි කලෙකදී හදාරා තවත් මාස තුනකදී අර්ථ වශයෙන් මෙනෙහි කොට ඒ අවසන දී එක් දිනකදීම පටිසම්භිදා ඤාණ සහිතව උතුම් අරිහත්වය සාක්‍ෂාත් කළ සේක. මෙසේ නාගසේන මහරහතන් වහන්සේ අභිධර්ම පිටකය පමණක් හදාරා සිට තමන් වහන්සේත් මගඵල ලබා අන්‍යයන්ට ද මගඵල අවබෝධ කරවූ සේක.[2]

මේ ලක්දිව වැඩසිටි මහාගතිම්බය තිස්සදත්ත මාහිමිපාණන් වහන්සේ මහාබෝධීන් වහන්සේ වන්දනා කිරීමට නැවකින් දඹදිව බලා වැඩම කරන සේක් නැවේ උඩු මහලේ වැඩ හිඳිමින් කෙලවරක් නොපෙනෙන මුහුද දෙස බලා “මේ මුහුදේ රළ වේගය බලවත් ද නැතිනම් සමන්ත මහා පට්ඨාන ප්‍රකරණයේ න්‍යායමුඛය බලවත් ද” යැයි සිතූ සේක. ඉක්බිති ‘මේ ජල සාගරය උඩින් අහසිනුත්, යටින් පොළොවෙනුත්, පසෙකින් වෙරළිනුත් යනාදී වශයෙන් සීමා වී ඇත. එයට පිරිසිඳීමක් ඇත. නමුත් සමන්ත මහා පට්ඨාන ප්‍රකරණයේ පිරිසිඳීමක් නැත.’ යැයි ඒ සියුම් පට්ඨාන ධර්මයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ උන් වහන්සේට බලවත් ප්‍රීතියක් උපන්නේය. එම ප්‍රීතිය විශ්කම්භනය කොට විදසුන් වඩා ඒ නැවේ වැඩහුන් අයුරින් වැඩහිඳිමින්ම උන් වහන්සේ උතුම් අරිහත්වය සාක්‍ෂාත් කල සේක. මෙසේ අභිධර්මය දැන සිටිම එතුමන් වහන්සේට බලවත් ප්‍රීතියක් උපදවා ගැනීමටත්, පසුව එය විෂ්කම්භනය කොට උතුම් අරිහත්වය සාක්‍ෂාත් කරගැනීමටත් උපකාර විය.[3]

අභිධර්ම පිටකය හැදෑරීමෙන් ප්‍රයෝජන ලැබූ උතුමන් ගැන මෙසේ දැක්වූයේ “අභිධර්මය දෙවියන්ට කළ දේශනාවකි, එයින් මිනිසුන්ට ප්‍රයෝජන ගැනීම අපහසුයි.” යනාදී වශයෙන් මෙකළ සමාජයේ පවතින මත වැරදි බව ඒත්තු ගැන්වීමටයි. මේ දැක්වූයේ කරුණු කීපයක් පමණි. තවත් එවැනි තැන් බොහෝමයක් ත්‍රිපිටකය පුරා පැතිරී පවතින නමුත් නුවණැත්තන්ට කරුණු තේරුම් ගැනීමට මෙපමණක් සෑහෙන බැවිනුත් ඒ පිළිබඳ වැඩිපුර කරුණු දතහැකි තැන් පිළිබඳ ඉදිරියේදී දැක්වෙන බැවිනුත් මෙතෙකින් ඒ පිළිබඳ කරුණු දැක්වීම අවසන් කරමු. අභිධර්ම පිටකය, අටුවා හා ටීකා පිළිබඳ තවත් එවැනි වැරදි මත පවතින අතර ඒවාට පිළිතුරු ඉදිරියේදී ඒ ඒ මාතෘකා යටතේ දක්වමු.

මෙහිදී තවත් කරුණක් දැක්විය යුතුව ඇත. නවීන විද්‍යාවෙන් සොයාගන්නා ඇතැම් කරුණු හා ධර්මයේ සඳහන් ඇතැම් කරුණු එකඟ නොවේ. එබැවින් ඇතැම් ගිහි අය මෙන්ම ඇතැම් පැවිද්දෝ ද ධර්මයේ සඳහන් එබඳු තැන් පිලිගැනීමටත් දේශනා කිරීමටත් මැලි වෙති. ඒ වෙනුවට ධර්මය හා නවීන විද්‍යාව සසඳමින් දහම් දෙසති. බටහිර ජාතිකයින් දහම පිළිගැනීම නම් යහපත් දෙයකි. නමුත් සියල්ල අවබෝධ කළ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ එම දහම තහවුරු කර ගැනීමට අන්ධපෘථග්ජන උගතුන් බිහිකළ න්‍යායන්ගේ පිහිට පැතීම මහත් අභාග්‍යයකි. මෙසේ වීමට හේතුව වන්නේ භික්‍ෂූහු තම උරුමය ගැන නොදැනීමයි. අපගේ උරුමය වූ සර්වඥදේශනාව එසේ මෙසේ දහමක් නොව. “කෙවලපරිපුණ්ණං” යනාදී ගුණයන්ගෙන් යුත් අති දුලබ වූ සර්ව සම්පූර්ණ වූ දහමකි. විද්‍යාඥයින් විසින් පිරවිය යුතු අඩුපාඩු කිසිවක් එහි නැත. ලෝකයේ පහල වූ අග්‍රගණ්‍ය විද්‍යාඥයා සර්වඥ භාග්‍යවතුන් වහන්සේය. ඉන්පසු ක්‍ෂීණාශ්‍රව උතුමන් වහන්සේලාය. ඒ උතුමන් වහන්සේලාගේ අවබෝධය පසිඳුරන්ගෙන් දතහැකි දේට පමණක් සීමා වී නැත. ෂඩ් අභිඥාදී පෘථග්ජනයන්ට අවිෂය වූ උතුරුමිනිස්දම් මත පිහිටා ඇත. විශේෂ ඤාණ මත පිහිටා ඇත. ඇතැම් පඤ්ච ඉන්‍ද්‍රිය ගෝචර දේ පවා මෙම විද්‍යාඥයින්ට අවිෂය වෙත්. බර්ම්‍යුඩා ත්‍රිකෝණය යැයි හඳුන්වන පෙදෙස ඊට උදාහරණයකි. තවද ඇතැම් දේ වලින් පඤ්ච ඉන්‍ද්‍රියයන්ට විෂය වන්නේ ද කොටසකි. අපට දක්නට ලැබෙන පෘථුවිය යනු පොලොවේ ඇති මිනිස් ඇසට ගෝචර ප්‍රදේශයයි. නමුත් සත්‍ය පොලොව මීට වඩා ප්‍රමාණයෙනුත් හැඩයෙනුත් වෙනස් වූවකි. මිනිස් ඇසටත් නවීන උපකරණයන්ටත් අවිෂය භූමාටු දේව, යක්‍ෂ, ප්‍රේතාදීන්ගේ විමාන ද පොලොවට සම්බන්ධය. ඒ බව ආලවක සූත්‍රාදියෙහි දැක්වේ. එබැවින් සැබෑ පොලොව විද්‍යාඥයින් දකින පොලොවට වඩා වෙනස් වූවකි. කරුණු මෙසේ හෙයින් භික්‍ෂුව විසින් කළ යුත්තේ බුදුදහම විද්‍යාව සමග ගලපා බැලීම නොව තමා දන්නා ස්වල්පය නමුත් ප්‍රායෝගිකව තම ජීවිතයට එකතු කර ගනිමින් දුකින් නිදහස් වීමට කටයුතු කිරීමයි.

මේ පිලිබඳ මෙතරම් කරුණු දක්වන්නට යෙදුනේ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා අනවශ්‍ය පරිදි විද්‍යාවත් බුදුදහමත් ගැලපීමටත්, විද්‍යාවට අනුව ඇතැම් දහම් කරුණු වරදවා දැක්වීමටත්, විද්‍යාවට නොගැලපෙන ඇතැම් දහම් කරුණු ප්‍රතික්‍ෂේප කිරීමටත් පෙළඹී ඇති බැවින් ඒ අය පිළිබඳ කරුණාවෙනුත් මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකසත්වයාට නිවන් මග පෙන්වමින් තවත් බොහෝ කාලයක් ලොව පවතීවා යන අදහසිනුත් යුතුවය. මෙකල ඇතැම් ධර්ම ග්‍රන්ථ පිළිබඳව ද විවිධ මිත්‍යා මත ඇති බැවින් ඒ පිළිබඳ කරුණු ස්වල්පයක් ද මෙසේ දක්වමු.

  1. ධම්මපද අටුවා 2 කොටස (හේ.මු.) 455-456 පිටු ඇසුරින්

  2. මිලින්දප්‍රශ්ණය බාහිරනිදානය

  3. අත්ථසාලිනී ධම්මසංගනී අටුවාව (හේ.මු.) 10 පිටුව ඇසුරින්