භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවන්ගෙන් හා උපාලි මහරහතන් වහන්සේගේ දේශනාවන්ගෙන් ද යුක්ත වූ පරිවාර පාළිය පළමු සංගායනාවේදීද සංගායනා කළ බව ඉතා පැරණි ධර්මග්‍රන්ථයන්හි හා වංශකථාවන්හි ද ඉපැහැදිලිව දක්වා ඇත. එය එසේම බව දැනටත් ප්‍රතිපත්තිගරුක ධර්මගරුක සියලුම ථේරවාදී පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ව්‍යවහාර වර්ෂ 1900 ට පමණ පෙර එනම් ත්‍රිපිටකය පිලිබඳ හසල බුද්ධිමතුන් වැඩසිටි අතීතයේ නිපදවූ කිසිඳු ථේරවාදී ග්‍රන්ථයක “පරිවාරපාළිය බුද්ධදේශනාවක් නොවේ” යැයි දක්වා නැත. ඒ වෙනුවට එය පළමු සංගායනාවේදී සංගායනා කළ බව “එවං භික්‌ඛුනීවිභඞ්‌ගං සඞ්‌ගහං ආරොපෙත්‌වා එතෙනෙව උපායෙන ඛන්‌ධකපරිවාරෙපි ආරොපෙසුං. එවමෙතං සඋභතොවිභඞ්‌ගඛන්‌ධකපරිවාරං විනයපිටකං සඞ්‌ගහමාරූළ්‌හං සබ්‌බං මහාකස්‌සපත්‌ථෙරො පුච්‌ඡි, උපාලිත්‌ථෙරො විස්‌සජ්‌ජෙසි.” (මෙසේ භික්‍ෂුණී විභංගය සංගායනාවට නංවා ඒ ක්‍රමයෙන්ම ඛන්ධක පරිවාරයන් ද සංගායනාවට නැංවූ සේක. මෙසේ ඒ උභතො විභංග ඛන්ධක පරිවාර සහිත සංගායනාවට නංවන ලද සියලු විනය පිටකය මහාකාශ්‍යප තෙරුන් වහන්සේ විචාල සේක. උපාලි තෙරුන් වහන්සේ විසඳූ සේක.)[1] යනුවෙන් ඉතා පැහැදිළිව දක්වා ඇත.
නමුත් මෑතක සිට එබඳු බුද්ධ දේශනාවන් ගැන ද සැක උපදවීමට ඇතැම්හු උත්සාහ දරති. පරිවාර පාළිය ප්‍රතික්‍ෂේප කිරීම මුලින්ම සිදුකලේ දෙවැනි සංගායනාවේදී සාසනයෙන් බැහැර කල අලජ්ජී වජ්ජිපුත්තක භික්‍ෂූන් බව වංශකථාවන්හි දැක්වේ. ඒගැන වැඩිදුර කරුණු “අභිධර්ම පිටකය, අට්ඨකථා හා තවත් බුද්ධදේශිත ග්‍රන්ථ පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද? ” යන මාතෘකාව යටතේ ඉදිරියේදී දක්වමු. එම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මත පිලිගත් ඇතැම් නූතන උගත්හු ද පරිවාරපාලිය පිලිබඳ වැරදි මත ප්‍රචාරය කරති. ඊට ද පිලිතුරු “එම අධර්මවාදී මතවාදයන්ගේ නූතන ව්‍යාප්තිය” යන මාතෘකාව යටතේ ඉදිරියේදී දැක්වේ. වැඩිදුර තොරතුරු විනය මහාවග්ග පාලි බුද්ධජයන්ති පරිවර්තනයේ සංඥාපනයේ දක්වා ඇති බැවින් මෙහි ඒ සියල්ල දැක්වීමට අදහස් නොකරමු. මේ කරුණු පිලිබඳ සැකහැර දැනගනු කැමැත්තෝ එය කියවා බලත්වා.
-
විනය අටුවා බාහිරනිදාන වර්ණනා (හේ.මු.) 8 පිටුව. ↑