අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්....

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදු රජාණන් වහන්සේ විසින් පරම සූක්‍ෂම පරම ගම්භීර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධර්මයන්ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි.[1]

අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ

(පර්යාප්ති ශාසනය) මහාකාරුණික බුදුපියාණන් වහන්සේ වදාළ අනුශාසනා සමූහයයි. ඒ වනාහි පොදුවේ සුගතියට ද විශේෂයෙන් නිවනට ද මාර්ගය සලසා දෙන පිළිවෙත වදාළ සුපිරිසිදු උපදෙස් රැසය. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය යයි එය කොටස් තුනකට බෙදී ඇත්තේය.[2]

අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේ

අභිධර්මය පිළිබඳ නොයෙක් උගත්හු විවිධ මත පළකෙරෙති. මේ අතර අභිධර්මය ශ්‍රී බුද්ධ දේශනාවක් නොවේ යයි කියන්නෝ ද වෙති. ඒ මති මතාන්තර ඔවුන්ගේ සඤ්ඤා විපල්ලාසයන් හැටියට සලකන අපි උපෙක්‍ෂිත වෙමු.....

අභිධර්මය ගැන සිතීමේදී මගේ සිතට දැනී ගියේ ධර්මන්‍යායක් වශයෙනි. එනම් ධර්මයේ ස්වභාවය හෙවත් ඇතුල් ස්වරූපය පිරිසිඳ අවබෝධකර ගැනීමට උපකාර වන ප්‍රමිති තත්වයක් ලෙසිනි.

ඇත්ත වශයෙන්ම සර්වඥතා ඥානයේ අසදෘශ සාධකය අභිධර්මය යයි කියනු සුදුසුමය.[3]

අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

තෙරුවන් සරණයි! ශ්‍රාවකයින් වහන්සේලාට විෂය නොවන සර්වඥයන් වහන්සේ නමක් විසින්ම දේශනා කළ හැකි දේශනාවකුයි අභිධර්ම දේශනාව. විනය පිටකයත් එහෙමමයි. සූත්‍රාන්ත පිටකයෙ පමණක් සමහර දේශනා ශ්‍රාවකයින් වහන්සේලා විසින් විග්‍රහ කරල තියෙනවා........ සියලු බුදුවරයන් වහන්සේලාට තියෙනවා සමාන ධර්ම තිහක්, අසමාන ධර්ම අටක් තියෙනවා. ඒ සමාන ධර්ම තිහ අතුරින් එකක් තමයි ලොවුතුරා බුදු වීමෙන් හත්වෙනි වසරේ දී දෙවියන් සහිත ලෝකයාට බුදු මහිමය පෙන්වනු පිණිස යමාමහ පෙළහර පාලා තවුතිසා භවනට වැඩම කරවීම. තවුතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛව දසදහසක් සක්වලින් පැමිණෙන දෙවි බඹුන්ට මේ ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සියලු බුදුවරයන් වහන්සේලාට සමාන ධර්මතාවක්..... ඒ නිසා බුදුරජානන් වහන්සේ විසින්ම දේශනා කරන ලද මේ අභිධර්ම පිටකය, බුද්ධ දේශනාවක් නොවේය - ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කරන ලද්දක්ය ආදී වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ඒක ජිනචක්‍රයට පහර දීමක් කියනවා, ඒ කියන්නේ සර්වඥතාක් ඥානයට පහරදීමක් කියනවා. ධර්මය අධර්මය කොට දැක්වීමේ භේදකර වස්තුවකට වැටෙනවා. ඒ වගේම මෙළොව වශයෙන් ඔහු බොහෝ දුකට පත්වෙලා අපාගාමී වීමට හේතු වෙනව. ඒ නිසා සර්වඥයන් වහන්සේ විසින්ම දේශනා කරන ලද අභිධර්මය ඒ විදියටම පිළිගෙන අනුගමනය කිරීමෙන් විපස්සනා ඥාන දියුණු කරගන්න ශක්තිය ලැබෙනවා. විශේෂයෙන්ම අභිධර්මයට අදාල දේ තමයි විපස්සනාවට ගැනෙන්නේ. ඒ නිසා අභිධර්ම දේශනාව ශ්‍රාවක කෙනෙකු විසින් වත් වෙනත් කෙනෙකුන් විසින්වත් සංග්‍රහ කරන ලද්දක් නොව සවාසනා සකල ක්ලේෂයන් ප්‍රහාණය කළ සර්වඥතාක් ඥානය ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද අභිධර්ම දේශනාවක් බව අපි දොහොත් මුදුනින් පිළිගන්නවා.[4]

අතිපූජනීය පානදුරේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

මායා දේවිය දින හතයි සිද්ධාර්ථකුමාරෝත්පත්තියෙන් පස්සෙ ජීවත්ව සිටියෙ. ඒ සිරිතක්. මායාදේවිය පිංවන්ත මාතාවක්. මේ ලෝකෙට දුන්නා පිං ඇති පුතෙක්. මායාදේවිය මේ ලෝකයට දුන්න පිං ඇති පුතණුවන් තුන් ලෝකෙටම පියෙක් කළා.

ඉතිං ඒ කාරණය ගැන සලකලා, බුදුරජාණන් වහන්සේ මායාදේවියට - මෑණියන් වහන්සේටත් සැලකිළි දැක්වුවනෙ. බුදුබව ලැබුවට පස්සෙ අභිධර්ම පිටකය, විජම් බණ දේශනා කරන්නට බුදුරජාණන් වහන්සෙ වැඩියනෙ දෙව්ලොව. බලන්න කොච්චර වටින තැනක් ද ඒ. අභිධර්මය කියන්නෙ විජම් බණ කියන්නෙ ධර්මයෙහි අමාකිර වාගෙ සාරවත් දේ. මේ ලෝකයේ කෙනෙකුට ලැබෙන ආහාර අතර මවුකිර තමයි උතුම්ම ආහාරය. දින හතක් මවුකිරි දී මේ ලෝකයේ තියෙන ප්‍රණීතම ආහාරය වූ මවු කිර දී තමන් වහන්සේව කුඩා කාලයේදී පෝෂණය කළ මායා දේවියට ධර්මයෙහි අමාකිර බඳු අභිධර්මය දේශනා කරන්න දෙව්ලොවට වැඩියා.[5]

මේ පිළිබඳ තවත් බොහෝ සාක්‍ෂි ඇතත් නුවණැත්තන්ට කරුණු තේරුම් ගැනීමට මෙපමණක් සෑහේ යැයි සලකා කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමු.

  1. අභිධර්මයේ මූළික කරුණු සංඥාපනය

  2. විදර්ශනා පරපුර 2 පිටුව (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

  3. අභිධර්ම භාවනා 1 කොටස

  4. බෞද්ධයා නාලිකාවේ පැවති අබිදම් නිම්තෙර සාකච්ඡාවක් ඇසුරිනි.

  5. පානදුරේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ මවුගුණ දේශනාවක් ඇසුරින්