භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාද ආදී පරමාර්ථ ධර්මයන් පිලිබඳ සවිස්තර දේශනයන් අඩංගු පිටකය අභිධර්ම පිටකයයි. අභිධර්ම පිටකය පිළිබඳ දීර්ඝ විස්තරයක් විනය මහාවග්ගපාළි හා අභිධර්ම පිටක ග්‍රන්ථයන්ගේ බුද්ධජයන්ති පරිවර්තනයේ සංඥාපනයේ දක්වා ඇත. එබැවින් ඒ පිළිබඳ වැඩියමක් පැවසීම අනවශ්‍යය. නමුත් දැනුදු ඇතැම් පිරිස් “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යන වැරදි මතය සමාජගත කිරීමට උත්සාහ දරන බැවින් ධර්මානුකූලව කරුණු විමසා බලන නුවණැත්තන්ගේ යහපත උදෙසා ඊට කරුණු කීපයක් එක් කිරීමට අදහස් කළෙමු. නුවණැත්තෝ පහත සඳහන් කරුණු විමසා බලත්වා. අපගේ අදහස් යන ලකුණ යටතේ දක්වමු.
1. පඤ්‌හං පුච්‌ඡෙය්‍යාති සුත්‌තන්‌තෙ ඔකාසං කාරාපෙත්‌වා විනයං වා අභිධම්‌මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. විනයෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා අභිධම්‌මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. අභිධම්‌මෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා විනයං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස.
පඤ්‌හං පුච්‌ඡෙය්‍ය යනු සූත්‍රපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන විනය හෝ අභිධර්මය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. විනයපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන සූත්‍ර හෝ අභිධර්මය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. අභිධර්මපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන සූත්‍ර හෝ විනය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. [1]
2. අනාපත්‌ති න විවණ්‌ණෙතුකාමො, ‘‘ඉඞ්‌ඝ ත්‌වං සුත්‌තන්‌තෙ වා ගාථායො වා අභිධම්‌මං වා පරියාපුණස්‌සු, පච්‌ඡා විනයං පරියාපුණිස්‌සසී’’ති භණති, උම්‌මත්‌තකස්‌ස, ආදිකම්‌මිකස්‌සාති.
නොගරහනු කැමැත්තේ ‘‘දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්මය හෝ හදාරව පසුව විනය හදාරව’’ යැයි කියයි නම් ඇවැත් නොවේ. උමතු වූවහුට, ආදිකර්මිකහට ඇවැත් නැත.[2]
3. පමුට්‌ඨම්‌හි ච සුත්‌තන්‌තෙ, අභිධම්‌මෙ ච තාවදෙ; විනයෙ අවිනට්‌ඨම්‌හි, පුන තිට්‌ඨති සාසනං.
……සූත්‍රපිටකය පිරිහී ගියත් එසේම අභිධර්ම පිටකය පිරිහී ගියත් විනය පිටකය නො නැසී පවත්නා තාක් සාසනය පවත්නේය.[3]
4. සබ්‌බසත්‌තුත්‌තමො සීහො, පිටකෙ තීණි දෙසයි; සුත්‌තන්‌තමභිධම්‌මඤ්‌ච, විනයඤ්‌ච මහාගුණං.
සියලු සත්ත්වයන්ට ම උතුම් වූ මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේ මහඅනුසස් ඇති සූත්‍රපිටකය ද අභිධර්ම පිටකය ද විනය දැයි ත්‍රිපිටකය දෙසූ සේක.[4]
5. උපාලිං විනයං පුච්‌ඡි, සුත්‌තන්‌තානන්‌දපණ්‌ඩිතං; පිටකං තීණි සඞ්‌ගීතිං, අකංසු ජිනසාවකා.
උපාලි මහරහතන්වහන්සේගෙන් විනය විචාල සේක. නුවණැති වූ ආනන්ද මහරහතන් වහන්සේගෙන් සූත්‍රාන්ත විචාල සේක. ජිනශ්‍රාවක වූ පළමු සංගීතිකාරක මහරහතන් වහන්සේලා පිටක තුනක් සංගායනා කළ සේක්හ.[5]
- විනයපිටක පෙළෙහි ඉතා පැහැදිලිව මෙසේ පිටක තුනක් දක්වා තිබිය දී අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ යැයි පැවසීම සැබවින්ම විශ්මයජනක නොවේ ද?
6. ‘‘ද්‌වාසීති බුද්‌ධතො ගණ්‌හිං, ද්‌වෙ සහස්‌සානි භික්‌ඛුතො; චතුරාසීතිසහස්‌සානි, යෙ මෙ ධම්‌මා පවත්‌තිනො.”
ධර්මස්කන්ධ 82000 ක් බුදුරජාණන්වහන්සේගෙන් අසා දරා ගත්තෙමි. 2000 ක් ශ්‍රාවක මහරහතන්වහන්සේලාගෙන් අසා දරා ගත්තෙමි. යම් ධර්මස්කන්ධ ප්‍රමාණයක් මා වෙත පවතිත් ද ඒ ප්‍රමාණය 84000 ක් වන්නාහ.[6]
- මේ දැක්වෙන්නේ ආනන්ද මහ රහතුන් වහන්සේගේ ථේර ගාථාවකි. ඒ අනුව එතුමන් වහන්සේ ධර්මස්කන්ධ 84000 ක් දරාගත් බව දැක්වේ. ධර්මයෙහි දැක්වෙන්නේ විනයෙහි 21000, සූත්‍රයන්හි 21000, අභිධර්මයෙහි 42000 වශයෙන් ධර්මස්කන්ධ බෙදී යන බවයි. අභිධර්මය බුද්ධ දේශිත නොවන්නේ නම් එම ඉතිරි 42000 ක් ධර්මස්කන්ධ පිරෙන්නේ කුමන කරුණු වලින් දැයි “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යැයි කියන්නෝ සිතා බලත්වා.
7. ‘‘සුත්‌තන්‌තං අභිධම්‌මඤ්‌ච, විනයඤ්‌චාපි කෙවලං; නවඞ්‌ගං බුද්‌ධවචනං, එසා ධම්‌මසභා තව.
සූත්‍ර අභිධර්ම විනය යන සියලු නවාංග බුද්ධ වචනය ඔබ වහන්සේගේ (ධර්ම නගරයෙහි) ධර්මාධිකරණ සභාවයි.[7]
8. ‘ඉධාවුසො සාරිපුත්‌ත, ද්‌වෙ භික්‌ඛූ අභිධම්‌මකථං කථෙන්‌ති. තෙ අඤ්‌ඤමඤ්‌ඤං පඤ්‌හං පුච්‌ඡන්‌ති, අඤ්‌ඤමඤ්‌ඤස්‌ස පඤ්‌හං පුට්‌ඨා විස්‌සජ්‌ජෙන්‌ති, නො ච සංසාදෙන්‌ති, ධම්‌මී ච නෙසං කථා පවත්‌තිනී හොති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛුනා ගොසිඞ්‌ගසාලවනං සොභෙය්‍යා’ති. ‘‘සාධු සාධු, සාරිපුත්‌ත, යථා තං මොග්‌ගල්‌ලානොව සම්‌මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. මොග්‌ගල්‌ලානො හි, සාරිපුත්‌ත, ධම්‌මකථිකො’’ති.
..‘‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂූහු දෙදෙනෙක් අභිධර්මකථා කෙරෙත් ද,’’……[8]
9. ‘‘පුන චපරං, ආවුසො, භික්‌ඛු ධම්‌මකාමො හොති පියසමුදාහාරො, අභිධම්‌මෙ අභිවිනයෙ උළාරපාමොජ්‌ජො - යංපාවුසො, භික්‌ඛු ධම්‌මකාමො හොති…පෙ.… උළාරපාමොජ්‌ජො -. අයම්‌පි ධම්‌මො නාථකරණො.
තවද අනෙක් කරුණක් වේ, භික්ෂුවක් ධර්මය කැමති වේද, සකසා දහම් ඇසීමත් අනුනට දේශනා කිරීමේ රුචියත් ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වේද, …මෙයද නාථකරණ ධර්මයකි.[9]
10. ‘‘ආරඤ්‌ඤිකෙනාවුසො, භික්‌ඛුනා අභිධම්‌මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්‌තාවුසො, ආරඤ්‌ඤිකං භික්‌ඛුං අභිධම්‌මෙ අභිවිනයෙ පඤ්‌හං පුච්‌ඡිතාරො.....
ඇවැත්නි, ආරණ්‍යක භික්ෂුව විසින් අභිධර්ම පිටකයෙහි ද විනය පිටකයෙහි ද පෙළ වශයෙන් ද අර්ථ (අටුවා) වශයෙන් ද යෙදීම කටයුතුය. ඇවැත්නි, ආරණ්‍යක භික්ෂුවගෙන් අභිධර්ම පිටකයෙහි ද විනය පිටකයෙහි ප්‍රශ්ණ විචාරන්නාහු වෙත්.[10]
- මේ දැක්වූයේ සූත්‍ර පිටකයෙහි, අභිධර්ම පිටකය පිළිබඳ දැක්වෙන තැන් කීපයක් පමණි. තවත් එබඳු තැන් බොහෝය. තවද මේ ලක් දිවෙහිම පුරාණයේ වැඩසිටි මහා ප්‍රාඥ රහත් උතුමන් වහන්සේලාගේ නම් සඳහන් කිරීමේදී ත්‍රිපිටක චූලාභයත්ථේරෝ, ත්‍රිපිටක චූලනාගත්ථේරෝ, ආභිධම්මික ගොධත්තත්ථේරෝ, ආභිධම්මික අභයත්ථේරෝ යැයි දක්වා තිබේ. අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නොවේ නම් ඒ රහත් උතුමන් වහන්සේලා බුද්ධ දේශනාව හා අබුද්ධදේශනාව හඳුනාගත නොහැකිව ධර්මය යැයි සිතා අධර්මයක් හැදෑරූ සේක් දැයි නුවණැත්තෝ සිතා බලත්වා.
- මෙතරම් ඉතා පැහැදිලිව ඉර-හඳ මෙන් ප්රකටව අභිධර්ම පිටකය පිළිබඳව විනය හා සූත්‍ර පෙළ පොත් වලම දක්වා තිබියදී එය නොසලකා “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යැයි පැවසීම ජින චක්‍රයට පහර ගැසීමකැයි දහමෙහි දැක්වේ. එම පාපයේ බරපතල කම කියා නිම කිරීමට ද නොහැකිය. ඒ බව දහම් පොත් කියවා තේරුම් ගනිත්වා. අබෞද්ධයින් අතර පමණක් නොව බෞද්ධයින් අතර ද මෙම මත පැතිරීම ඛේදයකි. ඒ සෑම දෙනාටම සම්‌මා දිට්ඨිය පහළ වේවා යැයි අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.
-
බුද්ධජයන්ති පාචිත්තියපාළි.2 -366-367 පිටු ↑
-
බුද්ධජයන්ති පාචිත්තියපාළි 1- 386-387 පිටු ↑
-
බුද්ධජයන්ති විනයපිටක මහාවග්ග 1 කොටස, 244-245 පිටු ↑
-
බුද්ධජයන්ති පරිවාර පාලි 1 කොටස -304-305 පිටු ↑
-
බුද්ධජයන්ති විනයපිටක චුල්ල වග්ග 2කොටස -564-565 පිටු ↑
-
ථේරගාථාපාළි 236 පිටුව ↑
-
උපාලිත්‌ථෙරඅපදානං,අපදාන පාලි 1 - 78 පිටුව- 542 ගාථාව ↑
-
මහාගොසිඞ්‌ගසුත්‌තං, ම.නි.1 කොටස - 522පිටුව ↑
-
සඞ්‌ගීතිසුත්‌තං, දී.නි.3කොටස - 458 පිට ↑
-
ගොලියානි/ ගුලිස්සානිසුත්‌තං, ම.නි.2 කොටස - 232 පිට ↑