භද්දිය ස්ථවිර

ඉක්බිත්තෙන් ඒ මහාපනාද නම් දිව්‍යපුත්‍රයා චාතුම්මහාරාජිකාදි සදිව්‍යලෝකයෙහි පළමු පරිද්දෙන් ම දිවසැපත් අනුභව කොට ඇවිදිමින් සිටියදී ම අපගේ සර්වඥයන් වහන්සේ ලෝකයෙහි ඉපද සත්ත්‍වයන් සංසාරසාගරයෙන් එතර කෙරෙමින් ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි මහාපනාද දිව්‍යපුත්‍ර තෙමේ අප විසින් දිව්‍යසැප අනුභවකරන ලද, නිවන් සැපත් අනුභව කරම්හ යි දිව්‍යලෝකයෙන් චුතව අගුරට භද්දියනුවර අසූකෙළක් සම්පත් ඇති භද්දිය නම් සිටාණන්ට පුතව උපන්නේය. ඕහට භද්දිය කුමාරයෝය යි නම් තුබූහ. කුමාරයන්ට ප්‍රාසාද තුනෙක් වූයේය. ඉන් එක් ප්‍රාසාදයෙක් හේමන්ත කාලයෙහි වසන්ට සුදුසු වන්නේය. එක් ප්‍රාසාදයෙක් ග්‍රීෂ්මකාලයෙහි වසන්ට සුදුසු වන්නේය. එක් ප්‍රාසාදයෙක් වර්ෂාකාලයෙහි වසන්ට සුදුසු වන්නේය. දිව්‍යවිමන් හා සමාන වූ රන්රසුදැල් හා රන්ධජ-රිදීධජ ආදි නොයෙක් සැරහුමෙන් සැරහුණා වූ එකී එකී ප්‍රාසාදයෙක දිව්‍යප්සරාවන් හා සදෘශවූ සර්වාභරණයෙන් සැරසුනාවූ නැටීම්-ගීකීම් ආදියෙහි දක්‍ෂ වූ නොයෙක් දහස්ගණන් නාටකයන් විසින් පිරිවරන ලදුව සාරමසක් වාසය කරන්නාහුය. ඒ භද්දිය කුමාරයෝ එක් ප්‍රාසාදයෙක වැස නළුවන් පිරිවරා මහත් වූ යසපිරිවරින් අනික් ප්‍රාසාදයකට යන්නාහ. එකෙණෙහි කුමාරයන්ගේ ශ්‍රී සමෘද්ධිය බලම්හ යි සියලු නුවර වාසීහු ඇලලී පැනනැගෙන්නාහ. මනුෂ්‍යයෝ එක් ප්‍රාසාදයකින් ප්‍රාසාදයකට අතුරෙහි සක්පිට සක් මැසිපිට මැසි බැඳ මැසි ආදියට නැගී භද්දියකුමාරයන්ගේ යසස් සමෘද්ධි බලන්නාහ. එකල භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ජේතවනමහාවිහාරයෙහි වැඩවසන සේක් භද්දියකුමාරයන්ට සංග්‍රහ කෙරෙමි යි භික්‍ෂුසංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව සැරිසරා වඩනා සේක් භද්දියනුවරට පැමිණ ජාතියවනයෙහි භද්දියකුමාරයන්ගේ ඤාණපරිපාකය බලමින් තුන්මසක් මුළුල්ලෙහි විසූසේක.

සර්වඥයන් වහන්සේ තුන්මසක් වැස අපි යම්හ යි නුවරවාසීන්ට වදාළසේක. නුවරවාසීහු ස්වාමීනි! සෙටදවස් වැඩිය මැනවැයි කියා සර්වඥයන් වහන්සේට ආරාධනා කොට දෙවෙනි දවස් බුදුපාමොක් මහසඟපිරිසට මහදන් සරහා නුවරමැද මණ්ඩපයක් කොට සරහා අසුන් පනවා කල්දැන්වූහ.

සර්වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා පිරිවරා ඒ මණ්ඩපයට ගොස් වැඩහුන් සේක. එසඳ මනුෂ්‍යයෝ මහදන් දුන්හ. බුදුරජාණන් වහන්සේ වළඳා අන්තයෙහි මිහිරිවූ කටහඬින් අනුමෙවෙනි ධර්මදේශනා කරන්ට පටන්ගත් සේක. එකෙණෙහි භද්දියකුමාරයෝ ප්‍රාසාදයකින් ප්‍රාසාදයකට නික්මුණාහ. ඒ කුමාරයන්ගේ යසස් සමෘද්ධිය දක්නා පිණිස එදවස් කිසිකෙනෙක් නො ගියහ. උන් තමන්ගේ මනුෂ්‍යයෝ ම පිරිවරාගෙන ගියාහ. ඒ කුමාරයෝ මනුෂ්‍යයන් අතින් විචාරන්නාහු සෙසු දවස් මා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයකට යන කල්හි සියලු නුවර ඇළලී යන්නේය. සක්පිට සක්මැසිපිට මැසි බැඳ ඒ මැසි ආදියට නැඟී මාගේ ඓශ්චර්යය බලන්නාහුය. අදවූ කලි මාගේ මනුෂ්‍යයන් හැර අනික් කිසි කෙනෙක් නැත. ඊට කාරණ කවරේදැයි විචාළහ. එසඳ මනුෂ්‍යයෝ කියන්නාහු ස්වාමීනි! බුදුරජාණන් වහන්සේ මෙනුවර නිසා තුන්මසක් වැස අද වඩනා සේක. ඒ සර්වඥයන් වහන්සේ ආහාර කෘත්‍යය කොට නිමවා මහාජනයාට ධර්මදේශනා කරන සේක. සියලු නුවරවාසීහු ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නාහුය යි කීහ.

එබස් අසා භද්දිය කුමාරයෝ එසේ වී නම් වරෝ යම්හ. අපිත් බණ අසම්හ යි කියා සර්වාභරණයෙන් සැරහී මහත් වූ පෙරහරින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ පිරිස් කෙළවර සිට බණඅසා සකලක්ලේශයන් නසා අග්‍රවූ අර්හත් ඵලයට පැමිණියාහ. බුදුරජාණන් වහන්සේ භද්දියසිටාණන්ට ආමන්ත්‍රණය කොට වදාරණසේක් මහසිටාණෙනි! තොපගේ පුතණුවෝ සර්වාභරණයෙන් සැරහී සිට මාගේ ධර්මය අසා අර්හත්ඵලයට පැමිණියෝය. එහෙයින් උන්ට අදම මහණවන්ට හෝ පිරිනිවන් පාන්ට හෝ වුවමැනවැයි වදාළසේක. එසඳ සිටාණෝ ස්වාමීනි! මාගේ පුතණුවන්ට පිරිනිවන් පෑමෙන් ප්‍රයෝජන නැත. උන් මහණ කරවාගෙන සෙට අපගේ ගෙට වැඩවදාළොත් යහපතැයි කීහ. සර්වඥයන් වහන්සේ ආරාධනාව ඉවසා ඒ කුලපුත්‍රයාණන් කැඳවා ගෙන විහාරයට වැඩ මහණ කරවා උපසම්පදා කැරවූ සේක. ඒ කුලපුත්‍රයාණන්ගේ දෙමව්පියෝ සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් මහසඟපිරිසට මහදන් දුන්හ. බුදුහු සතියක් මුළුල්ලෙහි වැස කුලපුත්‍රයාණන් කැඳවාගෙන සැරිසරා වඩිනාසේක් කොටිග්‍රාමයට පැමිණි සේක. ඒ කොටි ග්‍රාමවාසීහු බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂුසඞ්ඝයා වහන්සේට මහවතුරක් වඩනා කළක් මෙන් මහදන් දුන්හ. බුදුරජාණන් වහන්සේ වදාළ අන්තයෙහි සත්ත්‍වයන් සිත් සතුටු කරවමින් අනුමෙවෙනි ධර්මදේශනාවට පටන්ගත් සේක. ඒ කුලපුත්‍රයාණන් වහන්සේ අනුමෝදනාව කරන වේලෙහි ගමින් පිටත ගොස් සර්වඥයන් වහන්සේ මෙතනට වැඩිවිට නැඟීසිටිමියි ඉටා ගංතෙරට සමීපයෙහි එක් රුකක්මුල නිරෝධසමාපත්තියට සමවැද වැඩහුන්සේක. වෘද්ධභික්‍ෂුන් වහන්සේ අවුත් වැඩසිටියදීත් නැගී නොසිට සර්වඥයන් වහ්නසේ සමීපයට වැඩිවිටම සමාපත්තියෙන් නැගීසේක. එසඳ පෘථග්ජන භික්‍ෂුන්වහන්සේ මේ පැවිද්දේ පෙරපරිද්දෙන්ම මහණවත් මහතෙරවරුන් වහන්සේ අවුත් සිටියදී බල බලාම නැගී නො සිටිති යි කිපිසේක. කොටිග්‍රාමවාසීහු සර්වඥයන් වහන්සේ ගංගා නම් ගංගාවෙන් එතරවනු සඳහා නැව් අගුළු බැන්දාහුය. එසඳ සර්වඥයන් වහන්සේ අගුලට නැගී වැඩසිට භද්දජිස්ථවිරයෝ? කොයිදැයි විචාළසේක. ස්වාමීනි! මම මෙතැනැයි කී කල්හි වරැයි භද්දජිනි අප හා සමග එකනැවට නැඟෙවයි වදාළසේක. එසඳ භද්දජි මහතෙරුන් වහන්සේ අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද ඒ අභිඥාචිත්තය හා සමග අහසට පැන නැගී සෘද්ධියෙන් ගොස් බුදුරජාණන් වහන්සේ නැගි එකනැවම වැඩසිටි සේක.