එසඳ ස්වාමීනි! මට දුනමැනව මට දුනමැනවැයි කියා සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ මිණිවළල්ලෙන් සැරහුණා වූ දෙතිස් දහසක් අත් ඔසවා හිස්මුදුනේ තුබූහ. ඉක්බිත්තෙන් ශක්‍රදේවේන්ද්‍රයෝ කියන්නාහු මම සිල්වත් කෙනකුන්ට දරුවන් දෙම. තොප රක්‍ෂා කරන්නා වූ ශීලය කවරේද? ආචාර සමාචාර කවරේදැයි කීහ. එබස් අසා සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ ඔසවාගත් අත් හකුළුවා ඉදින් නුඹවහන්සේ සිල්වත් කෙනකුන්ට දරුවන් දෙනු කැමැතිසේක් වී නම් සුමෙධාදේවීන් වහන්සේ සමීපයට වැඩිය මැනවැයි කීහ. එබස් අසා ශක්‍රදේවේන්ද්‍රයෝ ආකාශයෙන්ම ගොස් ඒ සුමෙධාදේවීන් වසන්නා වූ ප්‍රාසාදයෙහි සීමැදුරුකවුළුව සමීපයෙහි සිටියාහ. එසඳ බිසවුන් සමීපයට ගොස් කියන්නාහු දේවීන්වහන්ස! එක් තපස්වී කෙනෙක් නුඹවහන්සේට පුත්‍රවරයක් දෙමි. ආකාශයෙන් අවුත් මේ සීමැදුරු කවුළුව සමීපයෙහි සිටිතියි කීහ. එබස් අසා සුමෙධාදේවී තමන් වසන්නාවූ ශ්‍රීයහන් ගබඩාවෙන් නික්ම මහත්වූ පෙරහරින් බලවත් වූ ශ්‍රීසමෘද්ධියෙන් ගොස් සීමැදුරුකවුළුව හරවා සැබෑද? ස්වාමීනි! නුඹවහන්සේ සිල්වත් කෙනකුන්ට පුත්‍රවරයක් දෙනසේක්දැයි විචාළහ. එසේය දේවීනි. සිල්වත් කෙනකුන්ට පුත්‍රවරයක් දෙමියි ශක්‍රදේවේන්ද්‍රයන් කීකල්හි එසේ වී නම් මට දුනමැනැවැයි කීහ. තොප රක්‍ෂාකරන්නා වූ ශීලය කවරේද? මට කියාලව. ඉදින් මට අභිප්‍රාය වී නම් තොපට පුත්‍රවරයක් දෙන්නෙම් වේ දැයි කීහ. ඒ සුමෙධාදේවි ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ බස් අසා එසේ වී නම් ඇසුව මැනවැයි කියා තමන්ගේ ශීලගුණය ප්‍රකාශ කොට කීහ. තවද ඒ සුමෙධාදේවි පළමුකොට තමන්ගේ ස්වාමිපුත්‍රයාණන් කෙරෙහි පිළිපදනා ක්‍රම දක්වන්නාහු මම පනස්දහසක් අවුරුදු මුළුල්ලෙහි මාගේ රජ්ජුරුවන් වහන්සේට පෙරටව හොත් තැනින් නැඟී සිට එදවස් කළමනා කාරිය විධාන කෙරෙමි. රාත්‍රියේ සැතපෙන වේලෙහිත් ඇමට පළමුකොට නොසැතපී රජගෙයි බත් කැවමනා යම්ම කෙනෙක් ඇත් නම් උන් ඇමදෙනා කැපූ ඇත විචාරා හැමදෙනා කා බී ඉක්බිති වූ කල රජ්ජුරුවන් වහන්සේගේ දෙපය සෝදා සුවඳ තෙල් ගල්වා අත පය මැඩ ඇමදෙනාට පසුව යානේ සැතපෙමි. කුමක් කෙරෙම්ද? දේවයන් වහන්සැයි! රජ්ජුරුවන් වහන්සේ පිළිවිස උන්වහන්සේ වදාළ දෙයක් යහපතැයි මුදුනෙන් පිළිගෙන උත්තරයක් නොකියා හැමදවස් කළමනා කාරිය කෙරෙමි. යමෙක් රජ්ජුරුවන් වහන්සේට සිත්කලු වී නම් ඒ සිත්කලු වූ කාරියම කෙරෙමි. යම් බසක් කී කල මා කෙරෙහිත් අවශේෂයන් කෙරෙහිත් පෙම් වඩන්නේ වී නම් එසේ වූ ප්‍රියතෙපුල්ම කියමි. රජ්ජුරුවන් වහන්සේ මා මූණ බැලූ ගමනේ මුන්වහන්සේ මෙසේ වූ අභිප්‍රායෙකින් මා මුහුණ බැලුයේයයි රජ්ජුරුවන් වහන්සේගේ ඉඟි දැන සියලු කාරිය කරන්ට කරවන්ට සමර්ථයෙමි. පනස්දහසක් හවුරුදු මුළුල්ලෙහි මේ රජගෙයි වසන්නෙම් සම්මුඛයෙහි වත් පරාන්‍ධමුඛයෙහි වත් කයින්-වචසින්-මනසින් මාගේ රජ්ජුරුවන් වහන්සේ ඉක්ම නො පැවැත්තෙමියි කියා සත්‍යක්‍රියා කරන්නාහු සෘෂීන් වහන්ස! මේ සත්‍යක්‍රියාව හේතුකොට ගෙන මට පුතණු කෙනෙක් උපදිත්වයි. ඉදින් මම බොරුවක් කීයෙම් වී නම් මාගේ ඉස සත්කඩක්ව පැලී යේවයි කියා සත්‍යක්‍රියා කොට නැදිමයිලන් කෙරෙහි පිළිපදිනා ක්‍රම හා ඔවුන්ට කළමනා වතාවත් දක්වන්නා වූ සුමෙධාදේවි මාගේ ස්වාමිපුත්‍ර වූ රජ්ජුරුවන් වහන්සේගේ දෙමවුපියෝ යම්තාක් ජීවත්ව උන්නාහු වී නම් ඒතාක් මම රෑ දාවල් නො පමාව අත්පා මෙහෙවර කෙළෙමි. එසේ කරන්නාවුන් මම ඕබාදියට නො කොට ඇදහිලි ඇතිව ආදරසම්භාවනා ඇතිව සකස්කොට උපස්ථාන කෙළෙමියි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට සපත්නීන් කෙරෙහි පවත්නා ක්‍රම දක්වන්නාහු මා හා සමග එකරජ්ජුරුවන් වහන්සේට භාර්යා වූ යම් සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ ඇත් නම් ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් වත් කෝපයෙක් වත් මට එකදවසකුත් නොවූ විරීය. යමෙක් ඒ පුරාඞ්ගනාවන්ට හිතවී නම් ප්‍රියවී නම් ඔවුන්ට ප්‍රියවූ වැඩට නිසිවූ කාරියෙන්ම මමත් සතුටු වෙමි. ලෙහිලා වැඩූ දූන් මෙන් ඒ සොළොස් දහසක් පුරාඞ්ගනාවන් දැක සතුටු යෙමි. ඔවුන් අතුරෙන් එක්කෙනෙකුත් මට අප්‍රිය කෙනෙක් නම් නැත. සියල්ලෝම ප්‍රියවූ දැකුම් ඇත්තාහ. ප්‍රේමසහිත වූ මොළොක් සිතින්ම ඒ සොලොස්දහසක් පුරාඞ්ගනාවන්ට මට සිතන්නාක් මෙන් ස්නෙහීවැ දයාපරවැ කරුණා ඇති වැ මෛත්‍රී කෙරෙමියි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට කෙල්ලන් කොල්ලන් හා බැලමෙහෙ කරන්නන් ආදීවූ සත්ත්‍වයන් කෙරෙහි පවත්නා විධි දක්වන්නාවූ සුමෙධාදේවී යමෙක් යම් මෙහෙවරක් කරන්ට සමර්ථ වන්නේ වී නම් ඔහු ඒ කර්මාන්තයෙහිම යොදමි. මෙහෙවරට යවන්නාවුන් මම නිරන්තරයෙන් සතුටුසිත් ඇතිව පෙම්බරදෑස් දල්වා ඔවුන් මුහුණ බලාම මෙහෙවරට යවමි. එම්බල දුෂ්ටකොල්ල! තෝ මෙනම් කාරියක් කරවයි කියා කිපී මා විසින් එකදවසකුත් කිසිකෙනෙකුත් කිසි තැනකට යවූවිරූ නැතැයි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, මහණබමුණන් කෙරෙහි පිළිපදිනා ක්‍රම දක්වන්නාහු මම ඇමදවස්ම දන්දෙන්ට දික්කළ අත් ඇතිව ඇමවේලෙහිම මහණබමුණන් ආදීන්ට බත්පැන්ලා සේදීමෙන් තෙත් වූ අත් ඇතිව මිහිරි වූ උතුම් වූ අනෙකප්‍රකාර වූ බොහෝ ආහාරපාන වර්ගයෙන් හැමකලම ශ්‍රමණබ්‍රාහ්මණාදීන් සතුටු සිතින් සන්තර්පණය කෙළෙමි යි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, පෙහෙවස් රක්නාවූ ක්‍රම දක්වන්නාහු, මම පෙහෙවස් රක්‍ෂාකරන්නෙම් අටවක, තුදුස්වක, පසළොස්වක, පෙරගමන්, පසුගමන් වශයෙන් එකි එකී පෝයකට දෙපිටින් දෙදවසක් නියායෙන්ම මසකට දසසතරදවසක් අෂ්ටාඞ්ගශීලය සමාදන්ව පෙහෙවස් රක්‍ෂාකෙරෙමි යි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, නිත්‍ය ශීලය දක්වන්නාහු, මම පංචශීලයෙන් සංවෘතවැ ඒ පඤ්ච ශීලයෙහි හැසිර රක්‍ෂිත ගොපිත වූ ආත්මභාව ඇතිවැ වෙසෙමි. වධකචිත්තයෙන් උකුණකු, පමණකුත් නොමැරූ විරීමි. සොර සිතින් අසුරෙන් සුණුත් නො ගත් විරීමි. රාගසිතින් අන්පුරුෂයක්හුගේ ඇඟ පමණකුත් නොඇල්වූ විරීමි. කෙළිපිණිසත් බොරුවක් නො කී විරීමි. පිණිබින්දුවක් සාත් රාපෙතක් දිවග තිබූ විරීමි යි කියා, සත්‍යක්‍රියා කොට, මේ සත්‍යවචනයෙන් මට පුතණු කෙනෙක් උපදිත්වයි සෘෂීන්වහන්ස! ඉදින් මම බොරුවක් කීයෙම් වී නම් මාගේ ඉස සත්කඩක්ව පැලී යේවයි කියා සත්‍යක්‍රියා කළහ.
ඒ සුමෙධාදේවීන් තමන්ගේ ගුණවර්ණනා කරමින් සිටියදීම ශක්‍රදේවේන්ද්‍රයෝ දිව්‍යලෝකයෙහි තමන්ගේ බොහෝ කාරිය ඇති බැවින් ඒ සුමේධාදේවීන්ගේ කථාව සිඳ තොපගේ ගුණ ඉතාම ආශ්චර්යය. ඉතා අද්භූතය යි උන්ට ප්‍රශංසා කොට පුත්‍ර වර දෙන්නාහු මාතෘපිතෘ දෙපක්‍ෂයෙන් සත්වැනි මුතුන් පරම්පරාව දක්වා කිසි ඌනතාවක් නැතිහෙයින් විශිෂ්ට වූ ජාති ඇති ප්‍රමාණාතික්‍රාන්ත වූ යසපිරිවර ඇතිවැ දෙරටවාසීන්ද ධම්මරාජන් වූ ජාතිසම්පන්න වූ රාජකුමාරකෙනෙක් සුමෙධාදේවිනි! තොපට උපදනෝ වේදැයි කීහ.
ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ගේ බස් අසා බලවත් වූ සොම්නසට පැමිණි ඒ සුමෙධාදේවි ශක්‍රදේවේන්‍ද්‍රයන් අතින් විචාරන්නා වූ තෙපි ස්වර්ගලෝකයෙන් ආවාවූ ආනුභාවසම්පන්න වූ දේවතාවානකෙනෙක් ද, නොහොත් මහත්වූ සෘධ්‍යානුභාව ඇති තපස්වී කෙනෙක් ද, මෙතනට පැමිණියාවූ තෙපි කවුරුද, තොපවූ පරිදි මට ප්‍රකාශ කොට කියව යි කීහ. එබස් අසා ශක්‍රදේවේන්‍ද්‍රයෝ සුමෙධාදේවින්ට කියන්නාහු සොඳුර! සුධර්මා නම් දිව්‍යසභාවට රැස්වූ දිව්‍යසමූහයා යම් කෙනකුන්ට නමස්කාර කෙරේද, දහසක් නුවණැස් ඇති හෙයින් සහශ්‍රාක්‍ෂිය යන නම් ඇති ඒ ශක්‍රදේවේන්‍ද්‍රයෝ නම් මමය. තොප සමීපයට කිසිකාරියක් නිසා ආමි යි කීහ.
මෙසේ තමන් ශක්‍රනියාව කියා මත්තෙහි සුමෙධාදේවීන්ට ස්තුති කරන්නාහු මෙසේ කියත්. යම් ස්ත්‍රියක් මනුෂ්‍යලෝකයෙහිදී ප්‍රාණඝාතාදි දශඅකුශලකර්මයෙහි නොයෙදී දානශීලාදී දශකුශලකර්මයෙහි හැසිරෙද්ද, යම් ස්ත්‍රියක් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තද, පඤ්චශීලාදි ශීලසංරක්‍ෂණය කෙරේද, නැදිමයිලන් දේවතාතනතුරෙහි තබා වෙසේද, පතිව්‍රතාධර්මය රක්‍ෂා කෙරේද, එබඳු වූ නිර්මල වූ ක්‍රියා ඇති මනුෂ්‍යස්ත්‍රිව සිටි ඒ සුමෙධාදේවින්ගේ දැක්මට මහෙශාක්‍ය වූ දේවතාවෝ කැමැති වන්නාහ. සොඳුර! තෙපි පූර්වජන්මයෙහි මනාකොට පුරුදුකරණ ලද කුශලකර්මානුභාවයෙන් මේ රාජවංශයෙහි සියලු වස්තුකාම ක්ලේශකාමයෙන් සමෘද්ධව උපනුව. තවද රාජමහිෂිකාවෙනි! තොපට දිව්‍යලෝකයෙහි ඉපැද දිවසැපත් අනුභව කරන හෙයින් එක් ජයෙක. මේ මනුෂ්‍යලෝකයේදී සුමෙධාදේවී උතුම් වූ ශිලාදි ආචාරයෙන් යුක්තයෝය. ස්ත්‍රීජාතියෙහි උන් හා සමාන කෙනෙක් නැතැයි සියලු සත්ත්‍වයන්ගේ තුඩතුඩ පැතිරෙන්නා වූ උතුම් වූ යසස් හා කීර්ති ඇති බැවින් මෙලොව ජයයි. මෙසේ මෙලෝ පරලෝ දෙක්හි ම තොපට ජයගැන්ම වන්නේය. සුමෙධාදේවීනි! තෙපි බොහෝ කලක් සුවපත්වම තොප රක්‍ෂාකරමින් සිටි කුශලධර්මය කඩ නො කොට මතුමත්තෙහි වර්ධනය කෙරෙමින් රක්‍ෂාකරව. තොප සිල්වත් ගුණවත් හෙයින් තොපගේ දැක්ම මට ඉතාම ප්‍රියය. හැමවේලෙහිම තොප දැක දැක හිඳිනා අභිප්‍රාය ඇත්තෙමි. එතකුදුවුවත් දිව්‍යලෝකයෙහි මාගේ බොහෝ කාරිය ඇත. එසේ හෙයින් මම දිව්‍යලෝකයට යෙමි. තෙපි කුශල් කිරීමෙහි අප්‍රමාදවවයි කියා ඒ බිසවුන්ට අවවාද කොට ඒ ශක්‍රදේවේන්‍ද්‍රයෝ තමන්ගේ ශක්‍රභවනයටම ගියාහුය.
නළකාරදිව්‍යපුත්‍ර තෙමේ අලුයම් වේලෙහි චුතවැ අවුත් ඒ සුමෙධාදේවීන්ගේ කුස පිළිසිඳ ගත්තේය. බිසවු ඒ බව දැන රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ගබපෙරහර දුන්හ. ඒ සුමෙධාදේවී දසමසක් ඇවෑමෙන් කුමාරකෙනකුන් වැදූහ. උන්ට මහාපනාද කුමාරයෝය යි නම් තුබූහ. වැදෑරට වාසීය, කසීරට වාසීය යන උභයපක්‍ෂයේ මනුෂ්‍යයෝ අපගේ ස්වාමිපුත්‍රයාණන් වහන්සේට කිරිමිල වන්නේය යි කියා එකි එකී කහවණුවක් රාජාඞ්ගනයට දැමූහ. මහත් වූ වස්තුරාසිය වූයේය. එවිට රජ්ජුරුවන් විසින් තොපගේ වස්තුවෙන් අපට ප්‍රයෝජන නැත. තොප තොපගේ වස්තු තෙපි තෙපිම ඇරැගෙන යව යි ප්‍රතික්‍ෂෙප කොට කී කල්හිත් අපගේ ස්වාමිපුත්‍රයාණන් වහන්සේ වැඩිවිය පැමිණ රාජ්‍යශ්‍රීයට පැමිණි කල්හි සේනාවට වැටුප් වියදමට සැලසෙන්නේය යි කියා නොගෙන ම ගියාහ. මහාපනාද කුමාරයෝ මහපෙරහරින් වැඩිවිය පැමිණ සොළොස්හැවිරිදි වයසට පැමිණි කල්හි අක්‍ෂරලිඛිතාදි සූසැටකලාවෙහිත් ශ්‍රැතිශාස්ත්‍රාදි අෂ්ටාදශ විද්‍යාස්ථානයෙහිත් නිෂ්පත්තියට පැමිණියාහ. සුරුචිරජ්ජුරුවෝ පුතණුවන්ගේ වයස බලා සොඳුර! මාගේ පුතණුවන්ට රාජ්‍යාභිෂේකයෙන් අභිෂේක කරන්ට කල් වන්නේය. උන්ට සිත්කලුවූ ප්‍රාසාදයක් කොට අභිෂේක කෙරෙමි යි කීහ. සුමෙධාදේවිත් කී රජ්ජුරුවන් බසට සතුටුව යහපත දේවයන් වහන්ස! අභිෂේක කරන්ට මේ සුදුසු කල්වේදැයි රජ්ජුරුවන් කී බස් මුදුනෙන් පිළිගත්හ. රජ්ජුරුවෝ වාස්තුවිද්‍යාචාරීන් කැඳවා ගෙන්වාගෙන කියන්නාහු එම්බා සගයෙනි! වඩුවන් හැරගෙන අපගේ මාළිගාවට නුදුරුතෙන මාගේ පුතණුවන්ට ප්‍රාසාදයක් කරව. ඒ ප්‍රාසාදය කරවා කුමාරයන් රාජ්‍යයෙන් අභිෂේක කෙරෙමි යි කීහ. වාස්තුවිද්‍යාචාරීවරු රජ්ජුරුවන්ගේ බස් යහපතැයි පිළිගෙන මාලිගා කරන්නට නිසි බිමක් පරීක්‍ෂා කොට ඇවිදිනාහ. එකෙණෙහි ශක්‍රදේවේන්ද්‍රයන්ගේ දිග සැටයොදුන් පුළුල පණස්යොදුන් බොල පස්ළොස් යොදුන් හුන්කල නාභිය දක්වා ගැලී යන්නා වූ නැඟි සිටි කල බෙරඇසක් සේ තැනී යන්නා වූ බඳුවදමලෙක පැහැ සමාන වූ ශෝභා ඇති පාණ්ඩුකඹලශෛලාසනය ඒ ශක්‍රදේවේන්ද්‍රයන් උන් කල්හි නො කැමැති පරිද්දෙන් හුණුව ගියේය. ශක්‍රදේවේන්ද්‍රයෝ මාගේ අස්න මා නො කැමැති පරිද්දෙන් හුණුවන්ට කාරණා කිමෙක් දෝහෝයි පරීක්‍ෂා කරන තැනැත්තෝ මහාපනාද කුමාරයන්ට මාලිගාවක් කරනු පිණිස වාස්තුවිද්‍යාචාරීවරුන් මාලිගාබිම් පරීක්‍ෂා කොට ඇවිදිනා නියාව දැන විශ්වකර්මදිව්‍යපුත්‍රයා කැඳවා කියන්නාහු දරුව මහාපනාද කුමාරයන්ට දිගින් පුළුලින් අඩයොදනක් පමණ ඇති, උසින් පස්විසි යොදුන් පමණ ඇති, සියක්මාල් ඇති රන්ධජ රිදීධජ ආදිවූ නොයෙක් ධජමාලාවෙන් ගැවැසී ගත්තා වූ ඉඳුනිල්මිණි කවුලු සීමැදුරු කවුළු ආදියෙන් හෙබියා වූ සත්රුවන්මය වූ ප්‍රාසාදයක් මවා එව යි කියා විධාන කොට යවූහ. ඒ විශ්වකර්මදිව්‍යපුත්‍රයා ශක්‍රදේවේන්ද්‍රයන්ගේ බස් යහපතැයි පිළිගෙන වඩුවෙසක් මවාගෙන මාලිගාබිම් බලා ඇවිදිනාවූ වඩුවන් සමීපයට අවුත් තෙපි හැම පෙරවරු බත් අනුභව කොට එව යි කියා ඔවුන් හැමදෙනා ම යවා උතුම් භූමිප්‍රදේශයක් බලා රියන්දණ්ඩෙන් බිමට ගසාලූයේයැ. එකෙණෙහිම යථෝක්ත ප්‍රකාර ඇති සර්වරත්නමය වූ ප්‍රාසාදයෙක් පොළොව පලාගෙන නැංගේය. මහාපනාද කුමාරයන්ට ගෙවදනා මඟුල, සේසත් මඟුල, විවාහ මඟුල යන මේ මඟුල් තුන එකදාම කළහ. මඟුල් කරන තෙනට දෙරට වැස්සෝ රැස්ව මඟුල් කෙළි කෙළිමින් සත්හවුරුද්දක් ඉකුත් කළහ. ඒ තාක්කල් මුළුල්ලෙහි රජ්ජුරුවෝ තොප තොප වසන තැන්වලට යව යි සං විධානයක් නොකළහ. ඒ දෙරට වැසි මනුෂ්‍යයන්ට වස්ත්‍රාභරණ ඛාද්‍යභොජ්‍යාදිවූ සියල්ල රජ්ජුරුවන්ගෙන්ම පසුන්හ. ඒ සියලු සත්ත්‍වයෝ සත්අවුරුද්දක් ඇවෑමෙන් මුරගා සුරුචි මහරජ්ජුරුවන් විසින් මේ කිමෙක්දැයි විචාළ කල්හි මහරජ්ජුරුවන් වහන්ස! අප මගුලේ කා ඇවිදිනාවුන්ට සත්අවුරුද්දක් ඉකුත් වූයේය. මේතාක් කල් මුළුල්ලෙහි නුඹවහන්සේ සන්තක වස්ත්‍රාභරණාදි සියල්ල හැරගෙන ප්‍රයෝජනවුනුම්හ. කවරදවසෙක මඟුල් නිමාදැයී විචාළහ.
එබස් අසා රජ්ජුරුවෝ කියන්නාහු දරුවෙනි! මාගේ පුතණුවන් මෙතෙක්කල් මුළුල්ලෙහි සිනාසුනුවිරූ නැති. යම් දවසෙක ඒ මාගේ පුතණුවෝ සිනාසුනවූ නම් එදවස් තෙපි හැම දෙන තොප තොපගේ වාසස්ථානවලට යව යි සම්මත කළහ. ඉක්බිත්තෙන් මහාජනයෝ රටනුවර බෙර හසුරුවා නාටකයන් රැස්කරවූහ. සදහසක් පමණ නාටකයෝ රැස්ව සත්කොටසක් ව නවන්නාහු රජ්ජුරුවන් සිනාසෙවන්ට අසමර්ථවූහ. ඒ මහාපනාද රජ්ජුරුවන් බොහෝ කලක් දිවනළුවන්ගේ නැටුම් දුටු හෙයින් ඒ මනුෂ්‍යනාටකයන්ගේ නෘත්‍යය රජ්ජුරුවන්ට ප්‍රිය නොවන්නේය. එකල භණ්ඩුකර්ණ පණ්ඩුකර්ණ නම් නළුවෝ දෙදෙනෙක් අපි දෙදෙන රජ්ජුරුවන් වහන්සේ සිනාසෙවම්හ යි කියා රඟමඬලට වන්හ. ඔවුන් දෙදෙනා අතුරෙන් භණ්ඩුකර්ණ නම් නාටකයා රජ්ජුරුවන්ගේ සෙණ්ඩුවාලුයෙහි මහත්වූ ‘අතුල’ නම් අඹගසක් මවා ඒ අඹගසට හූපටක් දමා අත්තෙක එල්වාහුය ඔස්සේ අතුල නම් අඹගසට නැංගේය. ඒ අතුල අඹය නම් වෙසවුණුරජ්ජුරුවන්ගේ අඹගසෙක්ල. එසඳ ඒ වෙසවුණු රජ්ජුරුවන්ගේ දාස වූ යක්‍ෂරාක්‍ෂසයෝ භණ්ඩුකර්ණ නම් නාටකයා අඹගස උඩදී ම අල්වාගෙන අත පය ආදීවූ සියලු අඟපසඟ කපා සිඳ වගුරුවාපූහ. අවශේෂ නාටකයෝ ඒ අතුල් පතුල් ආදීවූ අවයව අවුලා එක්කොට ගෙන පැන් ඉසලූහ. එසඳ ඒ භණ්ඩුකර්ණ නම් නාටකයා මල්පටක් හැඳ මල්පටක් පෙරවාගෙන නටමින් ම උඩනැංගේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චර්යය දැකත් සිනා පහළ නො කළාහුය. පණ්ඩුකර්ණ නම් නාටකයා රාජාඞ්ගනයෙහි දරසෑයක් බඳවා තමාගේ පර්ෂද් හා සමග ගිනි වන්නේය. දරසෑය දා නිවීගිය කල්හි අළුගොඩට පැන් ඉසලූහ. එසඳ ඒ පණ්ඩුකර්ණ නම් නාටකයා පර්ෂත් හා සමග මල්පටක් හැඳ මල්පටක් පෙරවාගෙන නටනටා ම උඩපැන නැංගේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චර්යය දැකත් සිනා පහළ නොකළාහුය.
මෙසේ ඒ රජ්ජුරුවන් සිනාසෙවන්ට අසමර්ථ වූ මනුෂ්‍යයෝ නොයෙක් උපායයෙන් නොයෙක් කාරිය දක්වා පීඩිතව ගියාහ. එකල ශක්‍රදේවේන්‍ද්‍රයෝ ඒ කාරණය දැන යා දරුව! මහාපනාද රජ්ජුරුවන් සිනාසෙවා එව යි කියා දිවනළුවකු යවූහ. ඒ දිව්‍යනාටකයා තමාගේ පර්ෂද් හා සමග ගොස් රාජාඞ්ගනයේ ආකාශයෙහි සිට ‘අර්ධරඞ්ග’ නම් වූ නෘත්‍යයක් දැක්වීය. ඒ කෙසේද? යත්:-
එකම අතෙක් සැලෙයි, එකම පයෙක් සැලෙයි, එකම ඇසෙක් නටයි, එකම බැමයෙක් සැලෙයි, එකම රවුලෙක් නටයි, සැලෙයි, වෙවුලයි, ශරීරයෙහි අන්භාගයේ අත-පය-ඇස්-බැම-රවුල නොනටයි, නො සැලෙයි, නො වෙවුලයි, ඒ ආශ්චර්යවත් වූ නෘත්‍යය දැක මහාපනාද රජ්ජුරුවෝ මඳක් සිනාසීපූය. මහාජනයෝ සිනාසෙන්ට පටන්ගෙන සිනාසී ම සිනාරඳවන්ට වත් සිහි එලවන්ට වත් අසමර්ථව අතපය දමා රාජාඞ්ගනයෙහි ම වැගිර ගියාහ. එකල මගුල් සමාප්තව ගියේය.
මහාපනාදරජ්ජුරුවෝ ඒ ප්‍රාසාදයෙහි සත්තෙනක සිට නටන්නා වූ සදාසක් නළුවන් හා සොළොස්දාසක් පුරාඞ්ගනාවන් හා නොයෙක් දහස්ගණන් අමාත්‍යමණ්ඩලයා විසින් පිරිවරන ලදුව අසඞ්ඛ්‍යයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වූ සම්පත් අනුභව කොට ආයුකෙළවර කළපින් ගෙවී නොගිය බැවින් දිව්‍යලෝක යටම ගියාහුය. ඒ ප්‍රාසාදය වූකලි දෙදෙනාට සාධාරණ වූ කර්මප්‍රත්‍යයෙන් උපන්නේය. අන්‍යදිව්‍යපුත්‍රයා විසින් ප්‍රාසාදසම්පත්තිය අනුභව නොකළ බැවින් අන්තර්ධාන නොවී පොළොවින් අහසට නැගී ගංගා නම් ගංගාවෙහි යටියා බලා හුනුයේය.