එසඳ නැව ගංගාමධ්‍යයට ගියකල්හි සර්වඥයන් වහන්සේ එතැන්හිදී ඒ පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ පහදවනු කැමැතිව භද්දජිස්ථවිරයෙනි! තොප මහාපනාදරජ කල බොහෝ දවසක් විසූ ප්‍රාසාදය කොයිදැයි විචාළසේක. ස්වාමීනි! මේ ස්ථානයේ ගැලී තිබුයේයි. දැන් වූ කල්හි පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ නැවතත් උජ්ඣායනා කළසේක. එසඳ සර්වඥයන් වහන්සේ එසේ වී නම් භද්දජි ස්ථවිරයෙනි! සබ්‍රම්සරුන්ට උපන් සැක දුරුකරවයි වදාළ සේක. එකෙණෙහි තෙරුන්වහන්සේ සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ආකාශයට පැන නැඟී සෘද්ධි බලයෙන් දිය දෙබේකොට ප්‍රාසාදයෙහි මැණික්මය වූ කොත් කැරැල්ල පය ඇඟිලි අස්සෙන් අවුළුවා පස්විසියොදුන් පමණ රුවන්පාය ඔසවා ගෙන ආකාශයට පැන නැඟි සේක. පැනනැගී තැනත් තමන්වහන්සේම ප්‍රාසාදය යටසිටියවුන්ට ප්‍රාසාදය පළාගෙන පෙණුනු සේක. ඒ තෙරුන්වහන්සේ එක්යොදනක් දෙ යොදනක් තුන්යොදනක් දියෙන් ප්‍රාසාදය උඩනැඟූ සේක. එකල භද්දජි මහතෙරුන් වහන්සේගේ පූර්වජන්මයෙහි නෑයෝ ප්‍රාසාදයෙහි ලෝභයෙන් මස්-කැසුප්-මඬු ආදි තිරිසන් නිකායට පැමිණ ඒ ප්‍රාසාදයෙහි උපන්හ. ඒ මඬු ආදි සත්ත්‍වයෝ ප්‍රාසාදය උඩනැඟෙත් පෙරළාගෙන දියෙහි දියෙහිම වැගිර ගියාහ. සර්වඥයන් වහන්සේ පෙරළි පෙරළි වැටෙන්නාවූ මස්-කැස්බන් ආදි වූ සත්ත්‍වයන් දැක භද්දජි ස්ථවිරයෙනි! තොපගේ නෑයෝ බොහෝ පීඩාවට පැමිණෙති යි වදාළ සේක. තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේ වදාළබස් අසා ඔසවන්ට පටන්ගත් ප්‍රාසාදය ගැරපූ සේක. ඒ ප්‍රාසාදය පළමු පරිද්දෙන් ම ගොස් යථාස්ථානයෙහිම පිහිටියේය. මේ ලෝකයෙහි සියලු සත්ත්‍වයෝ ලෝභ-ද්වේෂ-මෝහයෙන් නරකාදි සතර අපායෙහි උපදනාහ. අලෝභ-අද්වේෂ-අමෝහයෙන් ස්වර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් කිසිවස්තුවෙක ලෝභයක්වත්, කිසි කෙනෙකුන් කෙරෙහි ද්වේෂ්‍යක්වත්, කිසි වස්තුවෙක මෝහයක්වත් නොකට යුත්තේය. ආස්තරණ පාපුරණදියෙහි ලෝභයෙන් එහි ඉණිකුණු ආදිව උපදනාහ. ඇඳපුටු ආදියෙහි ලෝභයෙන් එහි මකුණු ආදිව උපදනාහ. කෙත්වත් ආදියෙහි ලෝභයෙන් එහි ඌරු ආදිව උපදනාහ. ගෘහපරිස්කාරයෙහි ලෝභයෙන් එහි ගරඬි ආදිව උපදනාහ. වැව් ආදියෙහි ලෝභයෙන් එහි මඬු ආදිව උපදනාහ. ධනධාන්‍යයෙහි ලෝභයෙන් එහි සර්පමූෂිකාදිව උපදනාහ. උයන් ආදියෙහි ලෝභයෙන් ගොමපැණි ආදිව උපදනාහ. මාතුගාමාදීන් කෙරෙහි ලෝභයෙන් ඔවුන් කුස පණුවන් ආදිව උපදනාහ. ද්වේෂයෙන් නාගරාක්‍ෂසාදිව උපදනාහ. මානයෙන් වඳුරු ආදිව උපදනාහ.
වදාළේ මැනෝ:-
“කොධෙන පන්නගො හොති අති කොධෙන රක්ඛසො,
මානෙන මක්කටො හොති අති මානෙන කුක්කුරො”යි.