අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භූත රූප

පඨවි ධාතු, ආපො ධාතු, තෙජො ධාතු, වායො ධාතු යයි මහා භූත රූප සතරෙකි.

යොදුන් ගණන් දිග පුළුල ආනන්‍දාදී මත්ස්‍යයෝද, රාහු අසුරාදී අසුරයෝද, මහාකාල, නන්‍දොපනන්‍දාදී නාගයෝද යන සවිඤ්ඤාණකවූ ද, මහාමේරු පර්වත, මහාසමුද්‍ර, මහා පෘථුවි ආදී අවිඤ්ඤාණක වූ ද භූතයන් මහත්ව පහළ කරවන හෙයින් මේ ධාතු සතරට මහා භූත ය යි ව්‍යවහාර කරණු ලැබේ.

තවද ඉන්‍ද්‍රජාලිකයන්ට මහා භූත ය යි කියති. ඔව්හු, රන් රිදී නොවන්නාවූ වස්තු රන් රිදී කොට පෙන්වත්. එසේම මේ මහා භූතයෝද එක් එක් ආකාරයකට මිශ්‍ර වී රන් රිදී මුතු මැණික් ආදී නොයෙක් වර්ණයට පැමිණ මනුෂ්‍යාදින්ගේ ඉන්‍ද්‍රියයන් මුලාකරවති. එහෙයින්ද පඨවි ආදී ධාතු සතරට මහා භූත යයි කියති.

තවද, හිමාල වනාදියෙහි වාසය කරන්නාවූ වඤ්චක යක්‍ෂණීන්ටද, භූතය යි කියති. ඒ යක්‍ෂණීහු පුරුෂයන් දුටුකල ලක්‍ෂණවූ සොළොස් හැවිරිදි වයස්වූ ස්ත්‍රී රූප මවා ඒ පුරුෂයන් පොළඹවා, කැමැති ස්ථානයකට ගෙන ගොස් මස් ලේ අනුභව කරති. එසේම මේ සතර මහා භූතයෝ තුමූ ස්ත්‍රීන්ගේ සිත් ගන්නා පුරුෂ රූපයන්ද, පුරුෂයන්ගේ සිත් ගන්නා ස්ත්‍රී රූපද යනාදිය මවා මහත්වූ විපතට පමුණු වන්නාහු වෙති. එහෙයින්ද මේ ධාතු සතරට මහා භූතය යි කියනු ලැබේ.

තවද මේ භූතයෝ නොනිල් පැහැය නිල්පැහැය මෙන්ද, රතු නොවූ දෙය රතු වශයෙන්ද යනාදි විකාර ස්වභාවයන් දක්වති.

තවද කෑම් බිම් ඇඳීම් පැළඳීම් ආදි මහත්වූ ප්‍රත්‍යයෙන් පරිහරණය කටයුතු බැවින්ද මහාභූත යයි කියනු ලැබේ.

තවද උපාදින්න වූ ද, අනුපාදින්නවූ ද සියලු මහා භූතයෝ විකාර ස්වභාවයට පත්වන බැවින්ද මහාභූත නම් වේ.

තවද මහත්වූ ව්‍යායාමයෙන් පරිග්‍රහණය කළයුතු හෙයින්ද මහා භූත යයි කියනු ලැබේ.