තේජො ධාතු
උණුසුම් ස්වභාවය, ශීතල ස්වභාවය, දිලිසෙන ස්වභාවය, තියුණු ගතිය, පරිපාචකත්වය, තේජො ධාතු නම්. තේජො ධාතුව සහජාත හෙවත් එවකට හටගත් ඉතිරි ධාතු පාලනය කරයි. පඨවි ධාතුහුගේ තද බව අඩු වැඩි කරන්නේත්, ආපො ධාතුහුගේ වැගිරෙන ස්වභාවය අඩු වැඩි කරන්නේත්, වායෝ ධාතුහුගේ වේගය අඩු වැඩි කරන්නේත් තේජො ධාතුම ය. අළුත් අළුත් රූප කලාප ඇතිකිරීමෙන් ගස් වැල් ආදී වස්තූන්ද, සත්ත්ව ශරීරද වර්ධනය කොට ශක්ති සම්පන්න කරන්නේත් තේජො ධාතුවයි. එහි දිරවීමත්, දුබල කිරීමත් නැසීමත් ඇතිවන්නේ තේජො ධාතුව නිසාම ය. තවද, තේජොධාතුව යම් යම් වස්තූන්ගේ පැහැය හෙවත් වර්ණය අඩු වැඩි කිරීමද, වෙනස් කිරීමද ඇති කරයි. සෑම රූප කලාපයකම තේජො ධාතු ඇති හෙයින් ඒවායින් අලුත් අලුත් රූප කලාප උපදවනු ලැබේ. සත්ත්ව ශරීරය ක්‍රමයෙන් වැඩි ශක්තිමත් වන්නේත්, එයට පසුව ක්‍රමයෙන් දුබල වන්නේත් තේජො ධාතුහුගේ පැසවීමේ ස්වභාවය කරණ කොට ගෙනය.
තේජය සතරාකාර වේ.
- සසම්භාර තේජය. ගින්න සසම්භාර තේජයයි.
- ආරම්මණ තේජය. භාවනා අරමුණක් වූ තෙජො කසිණය ආරම්මණ තේජය නම් වේ.
- සම්මත තේජය. තෙජො කසිණය වඩා බඹලොව උපන්නවුන්හට සම්මතයෙන් තෙජො දෙවය යි කියති.
- ලක්ෂණ තේජය. අධ්‍යාත්මිකවූ හෝ, බාහිරවූ හෝ, කර්මජවූ හෝ කර්මජ නොවූ හෝ, යම් තෙජො ගතියක්, උෂ්ණ ගතියක් වේ නම්, එය තෙජො ධාතු නම්වූ ලක්ෂණ තෙජො නම්.
තෙජො ධාතුවේ ලක්ෂණය උෂ්ණත්ත්වය යි. එහි කෘත්‍යය පරිපාචකත්වය හෙවත් පැසවීමයි. ශීතොෂ්ණ ස්වභාවයම තෙජො ධාතුව වේ.