පඨවි ධාතුව
යම් දෙයක කර්කශ හෙවත් කැකුළු බවෙක්, තද බවෙක්, රළු බවෙක් ඇත්තේද, සහජාත ධර්මයන්ගේ පිහිටීමට උපකාරවේද, ඒ ස්වභාවයට පඨවි යයි කියති. තමාගේ ස්වභාවය දරන, උසුලන හෙයින්ද, මූලස්වභාවය වූ හෙයින් ආත්මයෙන් ශුන්‍ය වූ, සත්ත්වයෙක් නොවන හෙයින්ද ධාතු නම් වේ.
රූප කලාප ඝණව පිහිටි කල්හි කර්කශ ගතියද, තද ගතියද, බර බවද ප්‍රකට වේ. රූප කලාප ඝණ නොවී ආකාශ ධාතුව අධිකව පවත්නා කල්හි, මොළොක් බවද, සිනිදු බවද, සැහැල්ලු බවද දැනෙන්නේය. මේ තද බවත්, මොළොක් බවත්, බර බවත්, සැහැල්ලු බවත් පඨවි ධාතුමය. ව්‍යවහාරයෙහි පඨවිය සතරාකාර වේ. එනම්:-
- සසම්භාර පඨවි. වර්ණාදි සෙසු රූපයන් සමග මිශ්‍රවූ ගස් ගල් ආදියට අධාරවූ මේ මහා පොළොව ආදියට සසම්භාර පඨවි ය යි කියති.
- ආරම්මණ පඨවි. භාවනාවට අරමුණුවන්නාවූ පඨවි කසිණාදිය ආරම්මණ පඨවි නම් වේ.
- සම්මති පඨවි. පඨවි කසිණය වඩා බඹලොව පහළවූවන්හට පඨවි දෙවියෝ ය යි සම්මතවූ හෙයින් ඔවුහු සම්මත පඨවි නම් වේ.
- ලක්ෂණ පඨවි. අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ, කර්මජවූ හෝ කර්මජ නොවූ හෝ, යම් කර්කශ බවෙක්, තද බවෙක්, රලු බවෙක්, වේද එය පඨවිධාතු හෙවත් ලක්ෂණ පඨවි නම් වේ.
පඨවි ධාතුහුගේ ලක්ෂණය කර්කශ බව ය. සහජාත රූප පිහිටන බව එහි කෘත්‍ය වේ.