රූපසංග්‍රහ විභාගය
විත්ත, චෛතසික, රූප, නිබ්බාණ යන සතර පරමාර්‍ත්‍ථ ධර්‍මයන් අතුරෙන් විත්ත, චෛතසික පරමාර්‍ත්‍ථයෝ යට දක්වනලදී. මෙතැන් සිට රූප පරමාර්‍ත්‍ථයන් විස්තර කරණු ලැබේ.
ඇසත්, ඇසට පෙනෙන්නාවූ මහ පොළොව, කඳු, පර්‍වත, ගල්, වැලි, ගස්, වැල් ආදිය හා මහා සමුද්‍ර, ගංගා, පොකුණු. ඇළ, දෙළ, සඳ, හිරු, තරු ආදියත්, කණත්, කණින් අසනු ලබන්නාවූ අහස ගිගුරුම්, වායු චලන ආදියෙන් නිකුත්වන ශබ්දයෝ ද, ඝණ්ඨාර, බෙර, වීණා ආදියෙන් හා මනුෂ්‍යාදි සත්ත්‍වයන් විසින් නිකුත් කරණ නානාවිධ ශබ්දයෝ ද, නාසයත් නාසයෙන් ආඝ්‍රාණය කරණු ලබන්නාවූ සුගන්‍ධ දුර්‍ගන්‍ධාදී නොයෙක් ගන්‍ධයෝ ද, දිවත්, දිවෙන් දැන විඳින්නාවූ මිහිරි තික්තාදී නොයෙක් රසයෝ ද, කයත්, කයින් ස්පර්‍ශ කරණු ලබන්නාවූ සැපවත්වූ ද, දුක් සහිතවූ ද නොයෙක් ස්පර්‍ශයෝ ද, යනාදී යම් පමණ වස්තු සමූහයක් වේ නම්, මේ සියල්ලම නොයෙක් ප්‍රත්‍යයන් නිසා හටගත්තාවූ ශක්ති සමූහයකගේ විකාර ස්වභාවයකි. ශීත - උෂ්ණාදි විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විපරීත භාවයට ප්‍රකටව පැමිණෙන්නාවූ මේ ශක්ති විශේෂය හෙවත් ධර්‍ම සමූහය රූප නම් වේ. ද්‍රව්‍යයන් පිළිබඳ වූ සූක්‍ෂ්ම වූ පරමාර්‍ත්‍ථ රූපයෝ ඇස් කන්, නාසාදියෙන් දතහැකි නොවේ. එය නුවණින් ම අවබෝධ කටයුතු ඉතා සියුම් වූ ශක්ති විශේෂයෝ යි.
මේ රූප ධර්‍මයෝ තෙමේම ප්‍රත්‍යයක් නොමැතිව පහළ නොවන්නාහ. කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර ප්‍රත්‍යයන්ගෙන්ම හටගන්නාහු වෙත්. එසේ හටගන්නාවූ රූප ධර්‍මයෝ සඳහටම නොබිදී පවත්නේ ද නොවෙයි. රූපයට ද උප්පාද, ඨිති, භඞ්ග යන අවස්ථා තුනෙක් ඇත. රූපයාගේ පරමායුෂය චිත්තක්‍ෂණ සතළොසකි (17), හෙවත් කුඩා චිත්තක්‍ෂණ එක් පණසකි (51) එයින් පළමුවෙනි කුඩා චිත්තක්‍ෂණය, රූපයාගේ උප්පාදය වෙයි. පනස් එක්වන කුඩා චිත්තක්‍ෂණය රූපයාගේ භඞ්ග අවස්ථාව යි. ඒ දෙක අතර රූපය පවත්නා කුඩා චිත්තක්‍ෂණ සතළිස් නවය (49), රූපයාගේ ඨිති අවස්ථාව වේ. යම් ප්‍රත්‍යයකින් යම් රූපයක් හටගත්තේ නම්, ඒ ප්‍රත්‍යය ඒ ආකාරයෙන්ම පවත්නාතාක් කල්, පළමු උපදවන ලද රූපයට සමාන වූ රූප සන්තතියක් හෙවත් රූප පරම්පරාවක් ඒ ප්‍රත්‍ය කරණකොටගෙන පහළ වන්නේය. යම් හෙයකින් ප්‍රත්‍ය වෙනස්වීනම් එයින් උපදවනු ලබන රූපයෝ ද වෙනස් වේ. බොහෝසෙයින් මේ වෙනස්වීම ඇතිවන්නේ ශීතොෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් කරණකොට ගෙනය. සමවූ ඍතු ගුණය පවත්නා කල්හි ඒ ඒ වස්තූන් එක් ආකාරයකටම පවත්නා බව ඇසට පෙනෙන්නේ, එම වස්තුවේ රූපයන් පහළ කළාවූ ප්‍රත්‍යය නොවෙනස්ව පවත්නා හෙයින් සමාන රූප පරම්පරාවක් ඇතිකරවන නිසාය යම්හෙයකින් තෙජෝ ධාතුව අධික වූ ගින්න ඒ වස්තුවට ළංවූ කල්හි ඒ වස්තුවේ ආකාරය වෙනස්වී ඒ වස්තුව දැවී පිළිස්සී ගොස් අලු බවට පත්වන බව පෙනේ. ඍතු හෙතුවෙන් පළමු රූප පරම්පරාව වෙනස්කොට අන්‍ය ආකාරයෙන් රූප පහළ කළ බැවින් එසේ වන බව දතයුතුයි.
රූප සියල්ල විසි අටෙකි (28). එයින් සතරක් මහා භූත රූපයෝය. ඉතිරි සූවිසි (24) රූපයෝ මේ සතර මහා භූතයන් නිසා පවත්නා උපාදාය රූපයෝ යි.
මේ අටවිසි රූපයෝ එකොළොස් ආකාරයකින් සංග්‍රහ වේ. ඒ මෙසේ යි:-
| 1. මහා භූත රූප | 4 | 1. පඨවි ධාතුව |
| 2. ආපො ධාතුව | ||
| 3. තෙජො ධාතුව | ||
| 4. වායො ධාතුව | ||
| 2. ප්‍රසාද රූප | 5 | 5. චක්‍ෂුප්‍රසාද රූපය |
| 6. සොතප්‍රසාද රූපය | ||
| 7. ඝාණප්‍රසාද රූපය | ||
| 8. ජිව්හා ප්‍රසාද රූපය | ||
| 9. කායප්‍රසාද රූපය | ||
| 3. ගොචර රූප | 4 | 10. රූප (වර්‍ණය) |
| 11. ශබ්ද | ||
| 12. ගන්ධ | ||
| 13. රස | ||
| පොට්ඨබ්බය (පඨවි, තෙජො, වායො යන ධාතු තුනය. මහා භූත රූපවලට ඇතුළත් වන හෙයින් මෙහිදී නැවතත් නොගැනේ) | ||
| 4. භාව රූප | 2 | 14. ස්ත්‍රීභාව රූපය |
| 15. පුරුෂභාව රූපය | ||
| 5. හදය වස්තු රූපය | 1 | 16. හදය රූපය |
| 6. ජීවිතෙන්ද්‍රිය | 1 | 17. ජීවිත රූපය |
| 7. කබලීකාරාහාරය | 1 | 18. ආහාර රූපය |
| 8. ආකාශ ධාතුව | 1 | 19. පරිච්ඡේද රූපය |
- විඤ්ඤත්ති රූප 2
- කායවිඤ්ඤත්ති රූපය
- වචී විඤ්ඤත්ති රූපය
- විකාර රූප 3
- ලහුතා රූපය
- මුදුතා රූපය
- කම්මඤ්ඤතා රූපය
- ලක්‍ෂණ රූප 4
- උපචය රූපය
- සන්තති රූපය
- ජරතා රූපය
- අනිච්චතා රූපය