අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආපො ධාතු

රූපයන් ගේ වෙන් නොවීම හෝ සර්‍වප්‍රකාරයෙන් බැඳීම හෝ කරවන්නාවූ ස්වභාවයද, ඇලෙන, වැගිරෙන, පැතිරෙන, ස්වභාවයද, ආපොධාතු නම්. සත්ත්‍ව, ජීව නොවූ, සෑම දෙයකම ඇත්තාවූද ද්‍රව ස්වභාවය හෙවත් ස්නේහත්‍වය. ආපොධාතුව යි.

ආප් සතරාකාර වේ.

  1. සසම්භාර ආප. නොයෙක් වර්ණාදියෙන් මිශ්‍රවූ, ගංගා, සමුද්‍රාදියෙහි ජලයට සසම්භාර ආප යයි කියති.
  2. ආරම්මණ ආප. භාවනාවට අරමුණු වන්නාවූ ආපො කසිණ නිමිත්ත, ආරම්මණ ආප නම්.
  3. සම්මත ආප. ආපො කසිණය වඩා බඹලොව උපන්න වුන්ට සම්මතයෙන් ආපො දෙව යයි කියති.
  4. ලක්‍ෂණ ආප. යම් ආජ ගතියෙක්, ස්නේහ ගතියක්, රූපයන්ගේ බන්‍ධන ස්වභාවයක් වේද, එය ලක්‍ෂණ ආප නම්.

ආපොධාතුහුගේ ලක්‍ෂණය ද්‍රව බව හෝ වැගිරෙන බව ය. කෘත්‍යය සහජාත රූපයන් බැඳීමය, විසිර යා නොදීමය. ආපො ධාතුව ස්පර්‍ශකළ නොහැකි වේ ජලය, අතට දැනෙන්නේ එහි ඇති පඨවි තේජො වායෝ ධාතු නිසාමය.