වස්තු සංග්‍රහය
වස්තූන්ගේ වශයෙන් චිත්ත චෛතසිකයන් බෙද දැක්වීම වස්තු සංග්‍රහය නම් වේ.
චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට උපකාරවන ස්ථාන වස්තු නම් වේ. නාමරූප දෙකින් යුක්ත සත්ත්වයා පිළිබඳවූ නාම ධර්මයෝ, රූප ධර්මයන් ඇසුරු කොට ගෙනම පවතී. එයින් පිටත නාම ධර්මයන් නොපවත්නාහ. සතර අරූප තලයන්හි රූප කය නැතිව නාම ධර්මයන් පමණක් පහළ වන බැවින් ඒ නාම ධර්මයන් අවස්තුකව පහළවන්නාහ. කර්මය නිසා හටගන්නාවූ හෙවත් කර්මජවූද, වස්තු නාමය ලබන්නාවූද, ස්ථානයෝ සදෙනෙකි. එනම් චක්ඛු වස්තුව, සෝත වස්තුව, ඝාණ වස්තුව, ජිව්හා වස්තුව, කාය වස්තුව සහ හදය වස්තුව යන වස්තු සයයි.
චක්ඛුප්‍රසාද රූපයට, චක්ඛුද්වාර යයිද, චක්ඛු වස්තුව යයිද ව්‍යවහාරවේ. චක්ඛුප්‍රසාද රූපය, රූපාරම්මණයන්ගේ ඇතුල්වීමට උපකාරවන බැවින් චක්ඛුද්වාරය යයි කියනු ලැබේ. එයම චක්ඛුචිඤ්ඤාණයාගේ ඉපදීමට ස්ථානවන බැවින් චක්ඛු වස්තුව යයි ද ව්‍යවහාරවේ.
මෙසේම සෝතප්‍රසාද රූපය, සෝතවිඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් සෝත වස්තුව යයිද,
ඝාණ ප්‍රසාදය, ඝාණ විඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් ඝාණ වස්තුව යයිද,
ජිව්හා ප්‍රසාදය, ජිව්හා විඤ්ඤාණය ඉපදීමට ස්ථානවන බැවින් ජිව්හා වස්තුව යයිද,
කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය ඉපදීමට ස්ථානවන බැවින් කාය වස්තුව යයි ද, කියනු ලැබේ.
ද්විපඤ්ච විඤ්ඤාණයන් හැර, මනොධාතු, මනො විඤ්ඤාණ ධාතු නම් වූ ඉතිරි එකුන් අසූවක් (79) සිත් ඉපදීමට ස්ථානවූ ද, කර්ම යෙන් ජනිතවූ ද, පපුව මැද පිහිටි හෘදය යයි සම්මත අවයවය තුළ පවත්නා ලේ ධාතුව හෙවත් ලෝහිතය ඇසුරුකොට ඇත්තාවූ ද, පටිසන්ධික්ෂණයේ දී පහළ වූ වස්තු දසක රූප කලාපයට ඇතුළත් හදය වස්තු රූප පරම්පරාවට අයත් රූප ධර්මය හදය වස්තුව නම් වේ.
තවද සත්ත්වයෝ යම් රූපයක් කරණකොට ගෙණ අර්ථය හෝ අනර්ථය හො හදත් ද, පුරත් ද, එයට හදය යයි කියනු ලැබේ. එයම චිත්ත චෛතසික ධර්මයන් උපදින තැන් වන හෙයින් හදය වස්තු යයි කියති.
මේ ෂට් වස්තූහු පරිපූර්ණායතන ඇත්තාවූ සත්ත්වයන් කෙරෙහි ම ඇත්තාහූ ය. සදෙව් ලොව, මිනිස් ලොව, සතර අපාය යන එකොළොස් කාම භූමියෙහි උපන්නාවූ, අඞ්ග විකලත්වයක් නැති සත්ත්ව යන්ට මේ වස්තු සයම නො අඩුව ම ලැබෙත්.
සොළොස් රූප ලෝක අතුරෙන් සතර නාමස්කන්ධය නැති රූපස්කන්ධය පමණක් පවත්නා අසංඥතලයෙහි එකම වස්තුවක් වත් නැත්තේ ය.
ඉතිරි පසළොස් රූප ලෝකයන්හි වසන බ්‍රහ්මයන්ට ඝාණ, ජිව්හා, කාය යන වස්තු තුන නො ලැබේ. චක්ඛු, සොත, හදය යන වස්තු තුන පමණක් ලැබේ. මෙයින් චක්ඛු, සොත යන වස්තු දෙකින් බුද්ධ දර්ශන, ධර්මශ්‍රවණාදි කුසල ධර්මයන් රැස් කළ හැකි වේ. ඝාණ, ජිව්හා, කාය යන වස්තු ත්‍රයෙන් ගන්ධ, රස, පොට්ඨබ්බ යන ත්‍රිවිධ කාම ගුණ විඳීම පමණක් ඇතිවන හෙයින් ද, අන් කිසි කුසල යක් කළ නො හැකි බැවින් ද, රූපී බ්‍රහ්මයන්ට කාමයන්ගෙන් වෙන්ව පඤ්චකාමගුණ විඳීමට ඇති තෘෂ්ණාව නැති කොට කාම විරාග භාවනා කළ බැවින් ද, ඝාණ, ජිව්හා, කාය යන ප්‍රසාද වස්තු නො ලැබෙන්නාහ. සම්පූර්ණ ඇස්, කන්, නාස, දිව, ශරීර ආදී අවයව යන් ඇත්තේ වී නමුත්, කාම සැපයට පමණක් උපකාරවන්නා වූද, බ්‍රහ්ම සම්පතට අනවශ්‍ය වූද, ඝාණ ජිව්හා, කාය යන ප්‍රසාද වස්තු තුන නො ලැබෙන බව දත යුතුයි.
අරූපාවචර භූමි සතරෙහි නාම කය මිස රූප කිසිවක් නැති බැවින් එකම වස්තුවක්වත් නො ලැබේ. එහි සිත් අවස්තුකව හටගන්නා බව දත යුතුයි.