අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වස්තුරූප ඇසුරුකොට ගෙන හෝ නො ගෙන හෝ

පවතින සිත් 42.

මේ සිත් දෙසාලිස (42) කාම ලොක රූප ලෝක දෙකෙහි හදය වස්තුව ඇසුරු කොට ගෙනද, අරූප ලොකයෙහි හදය වස්තුව නැති බැවින් අවස්තුකව ද පවතී. එනම්:—

මනොවිඤ්ඤාණ ධාතු අතුරෙන්

ලොහමූල සිත් අට 8

මොහමූල සිත් දෙක 2

මනොද්වාරාවජ්ජන සිත 1 මහා කුසල් සිත් අට 8

මහා ක්‍රියා සිත් අට 8

අරූපාවචර කුසල් සිත් සතර 4

අරූපාවචර ක්‍රියා සිත් සතර 4

සොතාපත්ති මග්ගසිත හැර

ඉතිරි ලොකොත්තර සිත් සත 7

42

වස්තු රූප ඇසුරුකොට නොගෙන පවතින සිත් 4 නම් අරූපා වචර විපාක සිත් සතරය.

මේ සිත් සතර, සතර අරූපතලයෙහි ප්‍රතිසන්ධිය පමණක් ගෙන දෙන බැවින් අරූපතලවලම අවස්තුකව හටගනී.

වස්තු රූප ඇසුරු කරන විඤ්ඤාණ ධාතු

කාම ලොකයෙහි වස්තු සයම ඇසුරු කොට පවත්නා විඤ්ඤාණ ධාතු සතකි.

රූප ලොකයෙහි වස්තු තුනක් ඇසුරු කොට පවත්නා විඤ්ඤාණ ධාතු සතරකි. එනම් චක්ඛු වස්තු, සොත වස්තු, හදය වස්තු ඇසුරු කරන චක්ඛුවිඤ්ඤාණ ධාතු, සොතවිඤ්ඤාණ ධාතු, මනො ධාතු, මනො විඤ්ඤාණ ධාතු, යන මොහුය.

අරූප ලොකයෙහි වස්තු එකක්වත් නැති බැවින් අවස්තුකව පවත්නා මනො විඤ්ඤාණ ධාතුව පමණක් ලැබේ.

වස්තුකාම ලෝකරූප ලොකඅරූප ලොක
චක්ඛු වස්තුව11—
සොත වස්තුව11—
ඝාණ වස්තුව1——
ජිව්හා වස්තුව1——
කාය වස්තුව1——
හදය වස්තුව11—
එකතුව වස්තු630
විඤ්ඤාණ ධාතු
චක්ඛු විඤ්ඤාණ ධාතු11—
සොත විඤ්ඤාණ ධාතු11—
ඝාණ විඤ්ඤාණ ධාතු1——
ජිව්හා විඤ්ඤාණ ධාතු1——
කාය විඤ්ඤාණ ධාතු1——
මනො ධාතු11—
මනො විඤ්ඤාණ ධාතු111
එකතුව විඤ්ඤාණ ධාතු771

තෘතිය පරිච්ඡේදය නිමි.