ලොකොත්තර සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහ නය
ධ්‍යානයන්ගේ වශයෙන් ලොකොත්තර සිත් සතළිසෙකි. (40). එයින් පඨමජ්ඣාන ලොකොත්තර මාර්ග සිත් සතරය, ඵල සිත් සතර යයි අටෙකි. දුතියජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි තතියජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. චතුර්ථජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. පඤ්චමජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. ලොකොත්තර ධ්‍යාන සිත්හි යෙදෙන චෛතසිකයන් සෙවීමේදී අන්‍ය සමාන රාශියෙන් සහ සොභන රාශියෙන් ද සෙවිය යුතුයි. අකුසල රාශියට අයත් චෛතසිකයෝ, සොභන සිත්හි නො යෙදෙන බැවින්, ප්රතික්ෂෙප කළ යුතුයි.
ඒ ඒ ධ්‍යාන සිත්හි යෙදෙන ධ්‍යානාඞ්ගයන් ද මතක තබාගත යුතුයි. ප්‍රථම ධ්‍යාන සිතෙහි, විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග පස ද, දුතියධ්‍යාන සිතෙහි විචාර, පීති, සුඛ, එකග්ගතා යන සතර ද, තතියධ්යාන සිතෙහි පීති, සුඛ එකග්ගතා යන තුන ද, චතුර්ථධ්යාන සිතෙහි සුඛ, එකග්ගතා යන දෙක ද, පඤ්චමධ්‍යාන සිතෙහි උපෙක්ඛා, එකග්ගතා දෙක ද යෙදෙන්නාහ.
තවද, මේ ලොකොත්තර සිත්හි ශීල, සමාධි, ප්‍රඥා යන ධර්ම තුනම බලවත්ව පවතින බව දත යුතුයි.