5. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය
මේ මාර්ගය ය, මේ මාර්ගය නො වේ යයි මෙසේ මාර්ගය ද අමාර්ගය ද දැන සිටි ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නම් වේ. මෙහි ඕභාසාදී දස උපක්ලේශයන් ගෙන් මිදුණු මේ විදර්ශනා ප්‍රඥාව ආර්‍ය්‍ය මාර්ගයට පූර්වභාග වූ මාර්ග යයි ද මේ ඕභාසාදී උපක්ලේශ ආර්‍ය්‍ය මාර්ගය යයි ගැනීම අමාර්ගය යයි ද දත යුතු.
“යස්මා තීරණ පරිඤ්ඤාය වත්තමානාය මග්ගාමග්ග ඤාණං උප්පජ්ජති. තීරණ පරිඤ්ඤා ච ඤාත පරිඤ්ඤා ණානන්තරං, තස්මාපි තං මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිං සම්පාදෙතු කාමෙන කලාපසම්මසනෙ තාව යොගො කාතබ්බො,” යනාදී වශයෙන් තීරණපරිඥාව ඇති කල්හි මග්ගාමග්ග ඤාණය උපදී. තීරණ පරිඥාව ද ඤාතපරිඥාවට අනතුරුව වේ. එ හෙයින් ඒ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය සම්පාදනය කරණු කැමැති යෝගියා විසින් කලාප සම්මර්ශනයෙහි පිළිවෙලින් යොග වැඩිය යුතු යයි වදාරණ ලදී.
ලෞකික පරිඥාවෝ තිදෙනෙකි, එනම් ඤාත පරිඥා, තීරණ පරිඥා, පහාණ පරිඥා ය
- ඤාත පරිඥා - රූපය රුප්පනය හෙවත් බිඳීම ලක්ෂණ කොට ඇත්තේ ය. වෙදනාව අරමුණු රස විඳීම ලක්ෂණය කොට ඇත්තේ ය යනාදී වශයෙන් ඒ ඒ ස්කන්ධ, ආයතන, ධාතු ආදීන් ඒ ඒවාට අයත් ස්වභාව හෙවත් ලක්ෂණයන් පිළිබඳව සැළකීම් වශයෙන් පැවැති ප්‍රඥාව ඤාත පරිඥා නම් වේ. නාම - රූප පරිග්‍රහය දක්වා පැවැති ප්‍රඥාව ඤාත පරිඥාවට භූමි වේ.
- තීරණ පරිඥා - රූපය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන වශයෙන් ඒ රූපාදී ධර්මයන්ගේ ම අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන සාමාන්‍ය හෙවත් සියල්ලට සාධාරණ ලක්ෂණයට නගා පැවැති ස්වභාවය වූ ලක්ෂණත්රය අරමුණු කොට ඇති විදර්ශනා ප්‍රඥාව, තීරණ පරිඥා නම් වේ. චක්ඛු දසකාදී කලාප සම්මර්ශනයෙහි පටන් උදයව්යානු දර්ශනය තෙක් තීරණ පරිඥාවට භූමි වේ.
- ප්‍රහාණ පරිඥා - ඒ ත්‍රෛභූමික ධර්මයන් කෙරෙහි ම නිත්‍ය සංඥාදිය දුරු කිරීම් වශයෙන් පැවති ලක්ෂණය නො හැරම ස්කන්ධයන් අරමුණු කරන ලක්ෂණාලම්බනික විදර්ශනා ප්‍රඥාව ප්‍රහාණ පරිඥා නම් වේ. භඞ්ගානු දර්ශනයේ පටන් උදයව්යානු දර්ශනය තෙක් ප්‍රහාණ පරිඥාවට භූමි වේ. ඒ භඞ්ගානු පස්සනාවේ පටන් අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ නිත්‍යය, ශාස්වතය යයි පැවැති මිථ්‍යා සංඥාව දුරු කෙරේ.
දුක්ඛ වශයෙන් සම්මර්ශනය කරන්නේ සුඛ සංඥාව දුරු කෙරේ.
අනාත්ම වශයෙන් සම්මර්ශනය කරන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ.
එසේ අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය කිරීමෙන් සංස්කාරයන් කෙරෙහි කළකිරුණේ නන්දි යයි කියන ලද සප්‍රීතික තෘෂ්ණාව දුරු කෙරේ.
සංස්කාරයන් කෙරෙහි නො ඇලීම් වශයෙන් සම්මර්ශනය කරන්නේ රාගය දුරු කෙරේ.
නිරෝධානුපස්සනාවෙන් බලන්නේ සංස්කාරයන්ගේ සමුදය නම් වූ තෘෂ්ණාව දුරු කෙරේ.
පටිනිස්සග්ගානුපස්සනාවෙන් බලන්නේ ග්‍රාහය දුරු කෙරේ.
මෙසේ මේ ත්‍රිවිධ පරිඥාවන්ගේ වශයෙන් සංස්කාරයන් පිරිසිඳීම ද, ප්‍රත්‍යය පරිග්‍රහය ද සිද්ධ කරන හෙයින් යෝගාවචරයාහට ඥාත පරිඥාවම අධිගත වේ. තීරණ පරිඥා හා ප්‍රහාණ පරිඥා ද අවබෝධ කළ යුතු වේ.
කලාප සම්මර්ශනය - අතීත, අනාගත, පච්චුප්පන්න ධර්මයන් එකට සංග්‍රහ කොට අනිත්‍යාදී වශයෙන් විනිශ්චය කිරීමේ ප්‍රඥාව අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය හෙවත් තීරණය කිරීමේ ඤාණය නම් වේ.
අතීත, අනාගත, පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්ම වූ හෝ, බාහිර වූ හෝ, ඔලාරික වූ හෝ, සුඛුම වූ හෝ, හීන වූ හෝ, ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ, සන්තිකෙ වූ හෝ යම් කිසි රූපයක් වේ නම් ඒ එකොළොස් වැදෑරුම් සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එය එක් සම්මර්ශනයකි.
එම රූප ධර්මයන් ම දුක්ඛ වශයෙන් ව්‍යවස්ථා කිරීම එක් සම්මර්ශනයෙකි.
එම රූප ධර්මයන් ම අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කිරීම එක් සම්මර්ශනයෙකි.
එසේම වේදනාව අනිත්‍ය වශයෙන් ද, දුක්ඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද, ව්‍යවස්ථා කෙරේ.
එසේම සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණයන් ද, අනිත්‍ය වශයෙන් ද, දුක්ඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද, සම්මර්ශනය කෙරේ.
මෙසේ පඤ්චස්කන්ධය, තිලකුණු වශයෙන් සම්මර්ශනය කොට ඉක්බිති චක්ඛුද්වාරාදී ෂඩ්ද්වාරය, රූපාදී ෂඩාලම්බනය චක්ඛුවිඤ්ඤාණාදී ෂඩ් විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සාදී ෂඩ් ස්පර්ශය ද, චක්ඛුසම්ඵස්සජා වේදනාදී ෂඩ් වේදනා ද, රූප සංඥාදී ෂඩ් සංඥාවෝ ද, රූප සංචේතනාදී ෂඩ් චේතනාවෝ ද, රූපතණ්හාදී ෂඩ් තණ්හාවෝ ද, රූප විතර්කාදී ෂඩ් විතර්කයෝ ද, රූප විචාරාදී ෂඩ් විචාරයෝ ද, එසේම ෂඩ් ධාතුය, දස කසිණය, දෙතිස් (32) කොටස් ය, දොළොස් ආයතනය, අටළොස් (18) ධාතුය, දෙවිසි (22) ඉන්ද්රිය ය, ත්‍රි ධාතුය, නව භවය, සතර ධ්‍යානය, සතර අප්රමාණ්යයෝය, සතර සමාපත්තිහුය, දොළොස් පටිච්චසමුප්පාදාඞ්ගයෝ ය යනාදී ධර්මයන් අතීතානාගත පච්චුප්පන්නාදී වශයෙන් ගෙන අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කෙරේ. ඒ ධර්මයන් දුක්ඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
තවද අතීත, අනාගත, පච්චුප්පන්න වූ රූපය ක්ෂය වන අර්ථයෙන් අනිත්‍යය, භය වන අර්ථයෙන් දුක්ඛය ය, අසාර අර්ත්ථයෙන් අනාත්මය යයි සංක්ෂේප කොට ව්‍යවස්ථා කෙරේ. එසේම වේදනාදී ධර්මයන් ද ද්වාරාරම්මණ විඤ්ඤාණාදී වූ පටිච්චසමුප්පාදාඞ්ගයන් අවසන් කොට ඇති සියලුම ධර්මයන් ද ක්ෂය වන අර්ත්ථයෙන් අනිත්‍යය, භයට කාරණය වන අර්ත්ථයෙන් දුක්ඛය, අසාරාර්ත්ථයෙන් අනාත්මය යි සංක්ෂේප කොට ව්‍යවස්ථා කෙරේ.
එ පරිද්දෙන් ම අතීතානාගත පච්චුප්පන්නාදි ප්‍රභේද ගත එකී රූපාදී සියළුම ධර්ම අනිත්‍යය, ප්‍රත්‍යයන් විසින් සකස් කරණ ලද්දාහු ය. ප්‍රත්‍යයයෙන් හටගත්තාහු ය. ක්ෂය ස්වභාවය ඇත්තාහු ය. විරාග ස්වභාව ඇත්තාහු ය. නිරොධ ස්වභාවය ඇත්තාහුය යනාදී වශයෙන් සංක්ෂේප යෙන් සම්මර්ශනය කෙරේ.
ජාති ප්‍රත්‍යයෙන් ජරා-මරණ වේ. ජාතිය නැති කල්හි ජරා-මරණ නොවේ යයි සංක්ෂේප කොට සම්මර්ශනය කෙරේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. කර්ම භවය නැති කල්හි ජාතිය නොවේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. උපාදානය නැති කල්හි භවය නොවේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. තණ්හාව නැති කල්හි උපාදානය නොවේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. වේදනාව නැති කල්හි තෘෂ්ණාව නොවේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. ස්පර්ශය නැති කල්හි වේදනාව නොවේ. ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ. ආයතන නැති කල්හි ස්පර්ශය නොවේ. නාමරූප ප්‍රත්‍යයෙන් ආයතන වේ. නාම-රූප නැති කල්හි ආයතන නොවේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූප වේ. විඤ්ඤාණය නැති කල්හි නාම-රූප නොවේ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නොවේ. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නොවෙත්. මෙසේ ද සංක්ෂේප කොට සම්මර්ශනය කෙරේ.
අනාගත කාලයෙහි ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ. මේ ආදි ක්‍රමයෙන් සංක්ෂේප කොට ව්‍යවස්ථා කෙරේ.
මෙසේ අතීත, අනාගත, පච්චුප්පන්න ධර්මයන්ගේ දැනීම සංක්ෂෙප කොට ව්‍යවස්ථා කිරීම සම්මර්ශනයෙහි ඥානය නම් වේ.
යට දක්වන ලද ධර්මයන් අතුරෙන් ෂට් ධාතූහු නම්, පඨවී, ආපො, තෙජො, වායො, ආකාශ, විඤ්ඤාණ යන ධාතූ සය ය.
ත්‍රි ධාතූහු නම්, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ය.
නව භවය නම්:- කාම භවය, රූප භවය, අරූප භවය, සඤ්ඤී භවය, අසඤ්ඤී භවය, නෙවසඤ්ඤානාසඤ්ඤී භවය, එකවොකාර භවය, චතුවොකාර භවය, පඤ්චවොකාර භව ය.
මෙතෙක් සම්මර්ශනය කළ යුතු ධර්ම, මේ පිළිවෙලින් දේශනා කර වදාළේ ආදිකාර්මිකයාගේ විදර්ශනා මනසිකාර පහසුව සඳහාය.
පළමු කොට පඤ්චස්කන්ධය අතීත්යාදි වශයෙන් ගෙන සම්මර්ශනය කොට ඉක්බිති ඒ පඤ්චස්කන්ධයන්ම ද්වාරාලම්බනයන් හා ද්වාරයන්හි පැවැති ධර්ම වශයෙන් විභාගය ලබන හෙයින් එයට අනතුරුව ද්වාරාදි වශයෙන් ෂට්කයක් දක්වන ලදි. ත්‍රිවිධ ලක්ෂණයන් අතුරෙන් අනාත්ම ලක්ෂණය දුක්ඛ විභාගය කරන හෙයින් ඒ විභාගය පිණිස ෂට් ධාතූහු දක්වන ලදි. ඉක්බිති ශාසනයෙන් පිටත් තීර්ත්ථකයන්ගේ ආත්මාභිනිවෙශය ධ්‍යානයන් නිසා වන හෙයින් එයට අනතුරුව දස කසිණය දක්වන ලදි. අනතුරුව දුක්ඛානුපස්සනාවට පරිවාර වශයෙන් පිළිකුල් ආකාර වශයෙන් දෙතිස් කොටස්හු දක්වන ලදි. පළමුවෙන් ස්කන්ධ වශයෙන් සංක්ෂෙපයෙන් ගත් ධර්ම සංක්ෂෙප-විස්තර නොවුවද ක්‍රමයෙන් මෙනෙහි කළ යුතු බව දක්වනු පිණිස දොළොස් ආයතන ද, අටළොස් ධාතු ද ගන්නා ලදහ. මේ ධාතු ආයතන යන ධර්මයන් ශුන්‍ය බව ය, නිරුත්සාහ බව ය, වීර්‍ය්‍ය රහිත බව ය, යන මොවුන් ඇති කල්හි ධර්ම ස්වභාවයෙන් අධිපති වශයෙන් පැවැත්ම දැක්වීමෙන් අනාත්ම ලක්ෂණය විභාගවනු පිණිස දෙවිසි ඉන්ද්රියයන් දක්වන ලදී. මෙසේ නොයෙක් භෙද භින්න ධර්ම, භූමිත්‍රයට ඇතුළත් බැවින් ත්‍රිවිධ වේ යයි දක්වනු පිණිස ධාතුත්රය දක්වන ලදී. මෙසේ නිමිති දක්වා පැවැත්ම දක්වනු පිණිස කාමාදී නව භවය දක්වන ලදී. මෙකිතාක් අභිඥෙය්ය විෂයෙහි පැවැති මනසිකාර කෞශල්‍යයන් යුක්තවූවහු විසින් සියුම් වූ මහද්ගත විෂයෙහි මනසිකාර පැවැත් විය යුතු බැව් දක්වනු පිණිස ධ්‍යාන, අප්‍රමාණ්‍ය, ආරූප්‍යයෝ දක්වන ලදහ. මෙකිතාක් ධර්ම ප්‍රත්‍යය, ප්‍රත්‍යසමුත්පන්න විභාගයෙන් බෙදා මෙනෙහි කටයුතු බැව් දක්වනු පිණිස දොළොස් පටිච්චසමුප්පාදාඞ්ගයෝ දක්වන ලදහ.
සම්මර්ශනයට එළඹෙන ධර්මයන් අතුරෙන් යෝගීහට යම් යම් ධර්මයක් ප්‍රකට වේ නම්, සුවසේ පරිග්‍රහ කටහැකි වේ නම්, ඒ ධර්මයන් විෂයෙහි ඒ යෝගියා විසින් සම්මර්ශනය ආරම්භ කටයුතු. පසුව නොවැටහෙන ධර්ම ද උපායෙන් වටහා ගෙන නිරවශේෂයෙන් සම්මර්ශනය කටයුතු.
රූප සම්මර්ශනය කරන්නහු විසින් යම් රූපයෙක් අතීත වේද, ඉපිද නිරුද්ධ වී ද, ඒ රූපය අතීතයෙහිම ක්ෂය වූයේය. මේ භවයට නොපැමිණියේ ය. එ හෙයින් අනිත්‍යය. මතු අනතුරු භවයෙහි යම් රූපයෙක් උපදීද, එයද එහිම ක්ෂයට පැමිණේ. එයින් තුන්වන භවයට නො පැමිණේ. එ හෙයින් ක්ෂය වන අර්ත්ථයෙන් අනිත්‍යය. ප්‍රත්‍යුත්පන්න වූ යම් රූපයෙක් වේ නම් එයද මේ භවයෙහිම ක්ෂය වේ. මෙයින් දෙවන භවයට නො පැමිණේ. එ හෙයින් අනිත්‍යය. ස්වසන්තානගත අධ්‍යාත්ම රූපයෙක් වේද, එය ද අධ්යාත්මයෙහිම ක්ෂය වේ. බහිද්ධා රූපබවට නො පැමිණේ. එ හෙයින් අනිත්‍යය. යම් බාහිර රූපයෙක් වේ නම් එය ද බැහැර දීම ක්ෂය වේ. අධ්‍යාත්ම රූප බවට නො පැමිණේ. එ හෙයින් අනිත්‍යය. මෙසේම ඖදාරික රූප ද, සියුම් රූප ද, හීන රූප ද, ප්‍රණීත රූප ද, දුරවූ රූප ද, සන්තික වූ රූප ද යන සියලුම රූපයන් එහිම ක්ෂය වේ. එ බැවින් ක්ෂයාර්ථයෙන් අනිත්‍යය. මෙසේ මේ අතීතාදී එකොළොස් අවකාශස්ථ රූපය ම ක්ෂය වන අර්ථයෙන් අනිත්‍යය යයි සම්මර්ශනය කටයුතු.
එසේම ඒ සියලු රූපය ම භයාර්ථයෙන් දුක් වේ යයි සම්මර්ශනය කෙරේ. අප්‍රහීණ කෙලෙස් ඇත්තහුට “මම විනාශවෙමි මා සතු දෙය විනාශ වේය” යි සිතන විට භය උපදී.
යමක් දුක් වේ නම් එය අසාර අර්ථයෙන් අනාත්ම වේ. ආත්ම යයි ද, තමහට වසග වූවෙක් ඇතැයි ද, කාරකයෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද තමහට වසග වන සුළු යයිද මෙසේ සලකන ලද ආත්ම සාරයක් ඇතැයි කල්පනා කරනු ලැබේ. එය ද, ඒකාන්තයෙන් ම අනිත්‍යය, දුක්ඛය ය, එ හෙයින් ම එයට තමා පිළිබඳ වූ ද අනිත්‍ය භාවය හෝ උත්පාද ව්‍යය දෙක්හි පෙළීම හෝ වැළකීමට හෝ නො හැකි වේ. එ හෙයින් ඔහුගේ කාරකාදී භාවයෙක් නම් නැත්තේම ය.
තව ද, යෝගාවචර තෙම පඤ්චස්කන්ධය අනිත්‍යාදි වශයෙන් සතළිස් ආකාරයකින් සම්මර්ශනය කෙරේ:-
- අනිත්‍ය වශයෙන් - යෝගාවචර තෙම එකී එකී ස්කන්ධය අනිත්‍ය බව අන්ත කොට ඇති හෙයින්, පූර්ව අපර කෝටි ඇති හෙයින් ද අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කෙරේ.
- දුක්ඛ වශයෙන් - උත්පාද - ව්‍යය දෙකින් ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙළෙන බැවින් ත්‍රිවිධ දුක්ඛයට හා සංසාර දුක්ඛයට වස්තු හෙයින් දුක්ඛ වශයෙන් සම්මර්ශනය කෙරේ.
- රෝග වශයෙන් - සුදුසු ප්‍රත්‍යයෙන් යැපිය යුතු බැවින් ද සියලු රෝගයනට මූල බැවින් ද රෝග වශයෙන් සම්මර්ශනය කෙරේ.
- ගණ්ඩ වශයෙන් - ත්‍රිවිධ දුක්ඛතා සඞ්ඛ්‍යාත රුජාවෙන් යුක්ත හෙයින් ද, කෙලෙස් නමැති අසුචි වහනය වන හෙයින් ද, උත්පාදය, ජරාය, භඞ්ගය යන මෙයින් ද, ඉදිමීම ය, පැසවීම ය, බිඳීම ය යන මෙයින් ද යුක්ත හෙයින් ගඩක් වශයෙන් සම්මර්ශනය කෙරේ.
- සල්ල වශයෙන් - පීඩා උපදවන හෙයින් ද, ඇතුළත විදින හෙයින් ද, ආර්‍ය්‍ය මාර්ගයෙන් මුත් අන් මගෙකින් බැහැර කළ නොහැකි හෙයින් ද ශුල වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අඝ වශයෙන් - හැරහිය යුතු හෙයින් ද, අවැඩ එළවන හෙයින් ද, අඝ වස්තුවන හෙයින් ද, පාප හෙවත් අඝ වශයෙන් සම්මර්ශනය කෙරේ.
- ආබාධ වශයෙන් - අනුන් වසඟ බැව් කරන හෙයින් ද, ආබාධයට පිහිට හෙයින් ද, ආබාධ වශයෙන් සම්මර්ශනය කෙරේ.
- පර වශයෙන් - වශයෙහි නො පවත්නා හෙයින් ද, නො දිරව, නොමියවයි මෙසේ කළ විධානයෙහි නොපිහිටන හෙයින් ද, පර වශයෙන් සම්මර්ශනය කෙරේ.
- පලෝක වශයෙන් - ව්‍යාධි, ජරා, මරණයන්ගෙන් බිඳෙන හෙයින් පලෝක වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- ඊති වශයෙන් - නොයෙක් ව්‍යසන පමුණුවන හෙයින් ඊති වශයෙන් සම්මර්ශනය කෙරේ.
- උපද්දව වශයෙන් - නො දන්නා ලද්දා වූ ම මහත් අනර්‍ත්‍ථ පමුණුවන හෙයින් ද, සියලු උපද්‍රවයනට වස්තු හෙයින් ද උපද්දව වශයෙන් සම්මර්ශනය කෙරේ.
- භය වශයෙන් - සියලු භයට ආකර හෙයින් ද, දුක් සංසිඳුවීම වූ නිවනට ප්රතිපක්ෂ හෙයින් ද භය වශයෙන් සම්මර්ශනය කෙරේ.
- උපස්සග්ග වශයෙන් - නොයෙක් අනර්‍ත්‍ථ ලුහුබඳනා ලද හෙයින් ද, දෝෂයන් විසින් අරමුණු වශයෙන් සැරිය යුතු හෙයින් ද, රාග - ද්වේෂාදීන් අනේක ද්වේෂයන් ඇලී තිබෙන හෙයින් රාගාදීන් හා ඇලීම් අර්ත්ථයෙන් ද, ඉවසනු නොහැකි හෙයින් ද, උපස්සග්ග වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- චල වශයෙන් - ව්‍යාධි, ජරා, මරණයන්ගෙන් ද, ලාභාදී අෂ්ටලෝක ධර්මයෙන් ද චලනය වන හෙයින් චල වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- පභඞ්ගු වශයෙන් - උපක්‍රමයෙන් ද, ස්වභාවයෙන් ද භඞ්ගයට පැමිණෙන සුළු හෙයින් ද පභඞ්ගු වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අධුව වශයෙන් - සියලු අවස්ථාවෙහි (වෘක්ෂ ඵලයන් මෙන්) හෙනසුළු බැවින් ද, ස්ථිර බවක් නැති හෙයින් ද අධුව වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අත්තාන වශයෙන් - ජරා - මරණාදී දුකින් හා අපායාදී දුකින් ආරක්ෂා කළ නො හැකි බැවින් ද, ක්ෂේම බව නොලැබිය හැකි හෙයින් ද අත්තාන වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අලෙන වශයෙන් - ආරක්ෂා ස්ථාන සොයන්නවුන්ට දුක්ඛාදීන් ආරක්ෂා වීමට ස්ථාන නො වන හෙයින් ද ඇලුනවුනට ද ආරක්ෂා ස්ථාන නො වන හෙයින් ද අලෙන වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අසරණ වශයෙන් - පැමිණි ජාත්‍යාදී භය නැසීමෙන් නිශ්රිතයනට පිහිට වීමට අසමර්ත්ථ හෙයින් අසරණ වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- රිත්ත වශයෙන් - අඥාන ලෝකයා විසින් ඇතැයි සලකන ලද ධ්රැව, සුඛ, ආත්ම භාවයෙන් ශූන්‍ය හෙයින් රිත්ත වශයෙන් සම්මර්ශනය කෙරේ.
- තුච්ඡ වශයෙන් - රිත්ත හෙයින් ම අල්ප බැවින් ද ලාමක බැවින් ද, තුච්ඡ වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- සුඤ්ඤ වශයෙන් - ස්වාමිය, නිවාසීය, කාරකය, වේදකය, අධිට්ඨායිකය, යන ආත්ම භාවයෙන් හිස් බැවින් සුඤ්ඤ වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අනත්ත වශයෙන් - තමා ද, ස්වාමිකාදි ස්වභාවයෙන් වියුක්ත හෙයින් අනාත්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- ආදීනව වශයෙන් - භවයෙහි පැවැත්ම දුක් හෙයින් ද, දුක්ඛය ආදීනව හෙයින් ද, නොහොත් නිතර බැගෑ බැවින් පවත්නා හෙයින් ද ආදීනව වශයෙන් සම්මර්ශනය කෙරේ.
- විපරිණාම ධම්ම වශයෙන් - ජරා - මරණ දෙකින් පෙළෙන හෙයින් විපරිණාම ධර්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- අසාර වශයෙන් - දුර්වල හෙයින් ද, ඵලයක් මෙන් පහසුවෙන් බිඳිය හැකි හෙයින් ද, අසාර වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- අඝ මූලක වශයෙන් - පවට මුල් වන හෙයින් අඝමූලක වශයෙන් සම්මර්ශනය කෙරේ.
- වධක වශයෙන් - මිත්‍රයකු වැනි සතුරකු මෙන් විශ්වාසයෙහි තබා සිටින්නවුන් නසන හෙයින් වධක වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- විභව වශයෙන් - නිත්‍ය, සුභ, සුඛ, ආත්ම සඞ්ඛ්‍යාත වැඩීම් නැති හෙයින් විභව වශයෙන් සම්මර්ශනය කෙරේ.
- සාසව වශයෙන් - ආශ්රවනයට හේතු බැවින් සාසව වශයෙන් සම්මර්ශනය කෙරේ.
- සඞ්ඛත වශයෙන් - ප්‍රත්‍යයෙන් නිපදවන ලද හෙයින් සඞ්ඛත වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- මාරාමිස වශයෙන් - මෘත්‍යුමාර ක්ලේශ මාරයනට ගොදුරු වන හෙයින් මාරාමිස වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
- ජාති ධම්ම වශයෙන් - ජාතිය ස්වභාව කොට ඇති හෙයින් ජාති ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- ජරා ධම්ම වශයෙන් - ජරාව ස්වභාව කොට ඇති හෙයින් ජරා ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- ව්‍යාධි ධම්ම වශයෙන් - ව්‍යාධිය ස්වභාව කොට ඇති හෙයින් ව්‍යාධි ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- මරණ ධම්ම වශයෙන් - මරණය ස්වභාව කොට ඇති හෙයින් මරණ ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- සෝක ධම්ම වශයෙන් - සෝකය ස්වභාව කොට ඇති හෙයින් සෝක ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- පරිදෙව ධම්ම වශයෙන් - පරිදෙවය ස්වභාව කොට ඇති හෙයින් පරිදෙව ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- උපායාස ධම්ම වශයෙන් - උපායාසය ස්වභාව කොට ඇති හෙයින් උපායාස ධම්ම වශයෙන් සම්මර්ශනය කෙරේ.
- සංකිලේස ධම්ම වශයෙන් - තෘෂ්ණා, දෘෂ්ටි දුශ්චරිත සංක්ලේශයනට විෂය වන හෙයින් සංකිලේස ධම්ම වශයෙන් ද සම්මර්ශනය කෙරේ.
මෙකී සතළිස් (40) විදර්ශනාවෝ අනිත්‍යාදී අනුපස්සනා තුනෙහි අන්තර්ගත වෙත්. ඒ මෙසේ යි.
අනිත්‍ය, පලෝක, චල, පඞ්ගුහ, අද්ධුව, විපරිණාම ධම්ම, අසාරක, විභව, සඞ්ඛත, මරණ ධම්ම වශයෙන් එකී එකී ස්කන්ධයෙහි දසය දසය බැගින් පඤ්චස්කන්ධයෙහි පනස් අනිත්යානුපස්සනාවෝ වෙති.
පර, රිත්ත, තුච්ඡ, සුඤ්ඤ, අනත්ත වශයෙන් එකී එකී ස්කන්ධයෙහි පසක් පසක් බැගින් අනත්තානුපස්සනා පස්විස්සෙක් වෙයි.
සෙසු පස්විස්සෙහි (25) එකී එකී ස්කන්ධයෙහි පස්විස්සක් බැගින් පඤ්චස්කන්ධයෙහි දුක්ඛානුපස්සනාවෝ එක්සිය පස්විස්සෙක් (125) වෙයි.
මෙසේ අනිත්‍යාදී තුන් අනුපස්සනාවන්හි ඇතුළත් වූ දෙසියයක් (200) භෙද ඇති සම්මර්ශනයෙන් පඤ්චස්කන්ධය සම්මර්ශනය කරන්නා වූ යෝගීහට නය විදර්ශනා සඞ්ඛ්‍යාත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණ සම්මර්ශනය ස්ථිර වේ.
ඒ යෝගාවචරයාහට මෙසේ සම්මර්ශනය කොට, විදර්ශනාව සිද්ධ නොවී නම් මතු දැක්වෙන නවාකාරයෙන් ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් තියුණු කටයුතු.
ඒ නව ආකාරය නම්:-
- උපන් උපන් සංස්කාරයන්ගේ ක්ෂයම දකී,
- ඒ ක්ෂය දැකීම සක්කච්ච ක්‍රියායෙන් හෙවත් ආදර කිරීමෙන් සපයයි.
- සාතච්ච ක්‍රියායෙන් හෙවත් සතත ක්‍රියායෙන් සපයයි.
- ආවාසාදී සප්පාය ක්‍රියායෙන් සපයයි,
- සමාධිහුගේ නිමිත්ත ගැනීමෙන් ද,
- සප්ත බෝධ්යාඞ්ගයන් අනුව පැවැත්මෙන් ද,
- කායයෙහි හා ජීවිතයෙහි නිරපෙක්ෂ බව එළවීමෙන් ද,
- එහිද නෛෂ්ක්‍රම්‍යයෙන් මැඩ,
- භාවනාවන්ගේ අතර කඩ නොකර සපයයි.
මෙසේ නව ආකාරයෙන් ඉන්ද්රියයන් තියුණු කොට සප්ත අසප්පායයන් දුරු කොට, සප්ත සප්පායයන් සේවනය කරමින්, කලෙක රූප ද, කලෙක අරූප ද සම්මර්ශනය කටයුතු.
රූපය සම්මර්ශනය කරන්නහු විසින් රූපයාගේ උත්පත්තිය බැලිය යුතු. මේ රූපය කර්මාදී සතර ප්‍රත්‍යයෙන් නිපදේ.
කාමාවචරාදී භූමි වශයෙන් ද, අණ්ඩජාදී යෝනී වශයෙන් ද භින්න වූ සියලු සත්ත්වයන්ට උපදනා රූප පළමු කොට කර්මයෙන් උපදී.
ප්රතිසන්ධික්ෂණයෙහි ගර්භසෙය්යක සත්ත්වයන්ට, ජීවිතින්ද්රිය, අවිනිබ්භොග රූපය, හදයවත්ථු රූපය යන වස්තු දසකය ද,
ජීවිතින්ද්රිය ය, අවිනිබ්භොග රූපය-කායප්‍රසාදය යන කාය දසකය ද,
ජීවිතින්ද්රිය, අවිනිබ්භොග රූපය, භාව රූපය යන භාව දසකය දැයි,
මෙසේ ත්රිසන්තති වශයෙන් වස්තු දසක, කාය දසක, භාව දසකයන්ගේ වශයෙන් රූප තිසක් (30) උපදී. ඒ රූප තිසම ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයේදීම උපදී. එසේම ස්ථිති ක්ෂණයෙහි ද, භඞ්ගක්ෂණයෙහි ද උපදී.
ඒ නාම-රූප දෙකින් රූපය සතළොස් (17) චිත්තක්ෂණයකට ආයු ඇති හෙයින් දන්ධව නිරොධ වෙයි. චිත්තය වහා නිරුද්ධ වෙයි. චිත්තයාගේ උත්පාදක්ෂණයත්, ස්ථිති ක්ෂණයත්, භඞ්ග ක්ෂණයත් යන තුනම එක සමානය. රූපයාගේ උත්පාද, භඞ්ග ක්ෂණ දෙක සමානව සැහැල්ලු වෙයි. රූපයාගේ ස්ථිති ක්ෂණය සොළොස් චිත්ත ක්ෂණයක් පවත්නා හෙයින් මහත් වේ.
ප්රතිසන්ධි චිත්තයට අනතුරුව උපදනා ප්‍රථම භවාඞ්ග චිත්තය, ප්රතිසන්ධි චිත්තය හා එකක්ෂණිකව උපදනා හදයවත්ථු රූපය වූ පුරෙජාත හදයවත්ථු රූපය වස්තු කොට උපදී. එයට අනතුරුව උපදනා භවාඞ්ග සිත ප්‍රථම භවාඞ්ග චිත්තය හා එකක්ෂණිකව උපන් පුරෙජාත හදයවත්ථු රූපය වස්තු කොට ගෙන උපදී. මෙසේ මේ ක්‍රමයෙන් ආයු ඇතිතාක් චිත්ත ප්‍රවෘත්තිය පවතී. මරණාසන්න අවස්ථාවෙහිදී චුති චිත්තයට සොළොස් චිත්තක්ෂණයට පෙර උපන් හදය වත්ථු රූපය ඇසුරු කොට චුති චිත්තයෙන් අවසන් වන ඉතිරි සොළොස් චිත්තයෝ පවතිත්.
ඕපපාතික සත්ත්වයනට වනාහි චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක, කාය දසක, භාව දසක, වත්ථු දසක යන්ගේ වශයෙන් සන්තතිශීර්ෂ වශයෙන්, රූප සැත්තෑවෙක් උත්පත්තික්ෂණයේදී පහළ වෙත්.
අසඤ්ඤසත්ත පටිසන්ධියෙහි චිත්ත ප්රවෘත්තියෙක් නැත. එහි කර්මජ රූප වශයෙන් ඇත්තේ ජීවිත නවකය පමණය.
- මෙසේ කර්මජ රූපයන්ගේ ඉපදීම බලන්නාවූ යෝගාවචර තෙම කර්මය නම් කුසලාකුසල චේතනාව යයි දනී. කර්ම සමුත්ථානය නම් විපාක වශයෙන් ලැබෙන වෙදනාදි ස්කන්ධ හා චක්ඛු දසකාදි සමසැත්තෑ රූපය ද, ජීවිත නවක යයි ද දනී. කර්ම ප්‍රත්‍යය නම් කුසලාකුසල කර්මයෙන් උපස්ථම්භක ලද එම විපාක ස්කන්ධය හා කර්මජ රූප බව යයි දනී. කර්ම ප්‍රත්‍ය චිත්ත සමුත්‍ථාන නම් විපාක චිත්තයෙන් උපන් රූප බව දනී. කර්ම ප්‍රත්‍ය ආහාර සමුත්‍ථාන නම් කර්ම සමුත්‍ථාන රූපයන්හි පවත්නා ඕජාව අනික් ඕජාට්ඨමක රූපයක් උපදවන බව යයි දනී ඒ කර්ම සමුත්‍ථාන වූ ද, ආහාර සමුත්‍ථාන වූ ද ඕජාව අනෙක් ඕජාට්ඨමක රූපයක් උපදවයි. මෙසේ සමාන සන්තති වශයෙන් රූප කලාප සතරක් හෝ පහක් උපදවයි. කර්ම ප්‍රත්‍යය උතු සමුත්‍ථාන නම් කර්මජ තෙජො ධාතුව ස්ථිති අවස්ථාවට පැමිණියේ උතු සමුත්‍ථාන ඕජාට්ඨමක රූප කලාපය උපදවන බව ද, ඒ උතු සමුත්ථානයෙහි ද තෙජො ධාතුව අනික් ඕජාට්ඨමක රූපයක් දැයි මෙසේ සමාන සන්තති වශයෙන් රූප කලාප සතරක් පහක් උපදවන බව ද දනී. කර්මජ තේජො ධාතුව නම් ආහාරාදිය දිරවන උෂ්ණය යයි ද දනී.
2. කර්මයෙන් උපදවනු ලබන රූප මෙසේ දැන ඉක්බිති චිත්තය නිසා හටගන්නා රූපයන්ගේ උත්පත්තිය බැලීම පිණිස උත්සාහ කරන්නේ ය.
චිත්තය නම් එකුන් අනූ (89) චිත්තයෝ ය. ඔවුන් අතුරෙන් කාමාවචර කුසල් අට ය. අකුසල් දෙළොස (12) ය. මහා ක්‍රියා අට ය, මනොද්වාරාවජ්ජන ය, හසිතොත් පාද ය, පඤ්චමධ්‍යාන කුසල ක්‍රියා දෙකය යන දෙතිස් (32) චිත්තයෝ රූප ද, ගමනාදී ඉරියව් ද, කායවාග් විඥප්ති ද උපදවති.
රූපාවචර කුසල් හා ක්‍රියා සිත් දසය, අරූපාවචර කුසල ක්‍රියා අට ය, ලොකොත්තර සිත් අට ය යන සවිසි (26) චිත්තයෝ රූප ද, ඉරියව් ද උපදවති.
කාමාවචර මහා විපාක අටය, සන්තිරණ දෙකය, රූපාවචර විපාක පසය, සම්පටිච්ඡන දෙකය, පඤ්ච ද්වාරාවජ්ජනය, සොමනස්සසන්තිරණය යන එකුන්විසි (19) සිත් රූප පමණක් උපදවති.
දෙපස් විඤ්ඤාණයෝය, ප්රතිසන්ධි චිත්තය, රහතුන්ගේ චුති චිත්තය, අරූප විපාක සතරය යන සිත් සොළොස රූප ද, ඉරියව් ද විඥප්ති ද නූපදවති.
චිත්තයාගේ උත්පාදක්ෂණය අනන්තර ප්‍රත්‍යය ලැබීමෙන් බලවත් වන හෙයින්, රූප උපදවන සිත් ඒ චිත්තයාගේ උත්පාදක්ෂණයේදීම රූප උපදවයි. ස්ථිතික්ෂණය හා භඞ්ගක්ෂණය ද දුර්වල හෙයින් රූප ඉපදවීමට ශක්තියක් නැත.
ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි උපන් රූපය ප්රතිසන්ධි චිත්තයෙන් මතු සොළොස් වන චිත්තය සමග නිරුද්ධ වේ. ප්රතිසන්ධි චිත්තයාගේ ස්ථිතික්ෂණයෙහි උපන් රූපය සතළොස් වන චිත්තයාගේ ස්ථිතික්‍ෂණයට පැමිණ නිරුද්ධ වේ. සසර පැවැත්ම හෝ චිත්ත සන්තතියෙහි පැවැත්ම හෝ ඇති තාක් කල් මේ ක්රමයම බව දත යුතු.
චිත්තජ රූප නම් ශබ්ද නවකය, කාය-වාග් විඥප්ති දෙකය, පරිච්ඡේද රූපය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා නම් වූ විකාර රූපය උපචය රූපය හා සන්තති රූපය දැයි සතළොස් රූපයෝ ය.
චිත්ත ප්‍රත්‍යය කොට ඇති රූප නම් පසුව උපන් චිත්ත-චෛතසික ධර්මයන්ගෙන් පච්ඡාජාත ප්‍රත්‍යය වශයෙන් උපකාර ලබන චතුසමුට්ඨානික රූප යයි.
චිත්ත ප්‍රත්‍යය ආහාර සමුත්‍ථාන රූප නම් චිත්ත සමුට්ඨාන රූපයන්හි ස්ථිතියට පැමිණි ඕජාව අනික් ඕජාට්ඨමක රූප උපදවයි. මෙසේ දෙතුන් ප්‍රවෘත්තියක් ගළපයි.
චිත්ත ප්‍රත්‍යය උතුසමුට්ඨාන නම් සිතින් උපන් තේජෝ රූපය ස්ථිතියට පැමිණියේ අනික් ඕජාට්ඨමක රූපයක් උපදවයි. මෙසේ දෙතුන් ප්‍රවෘත්තියක් උපදවයි.
- මෙසේ කම්මසමුත්ථාන චිත්තසමුත්ථානාදී රූපයන්ගේ උත්පාදය බලා ඉක්බිති ආහාරජ රූපයන්ගේ ඉපැද්ම ද බලන්නේ ය.
මෙහි ආහාර නම් කබලීකාරාහාරය යි.
ආහාර සමුත්‍ථාන නම්:- උපාදින්නක වූ කර්මජ රූප ප්‍රත්‍යය ලැබ, ඒ කර්මජ රූපයෙහි පිහිටා ස්ථිති ප්‍රාප්ත ඕජාව විසින් උපදවන ලද ඕජට්ඨමක රූපය ද, ආකාශ ධාතුව ද, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා රූප ද, උපචය, සන්තති රූප දැයි තුදුස් (14) රූපයෝ ය.
ආහාර පච්චය නම් කබලීකාරාහාරයෙන් ප්‍රත්‍යය ලබන චතුසමුට්ඨානික රූපයෝ ය.
ආහාර පච්චය ආහාර සමුත්‍ථාන නම්:- සමුත්‍ථාන ආහාර රූප විෂයෙහි ස්ථිතිප්‍රාප්ත වූ ඕජාව අනික් ඕජාට්ඨමක රූපයක් උපදවයි. මෙසේ දස දොළොස් (10-12) වරෙක ප්‍රවෘත්තිය ගළපයි. එක් දවසක් වැළඳූ ආහාරය සත් දවසක් මුළුල්ලෙහි මේ ශරීරයට උපස්ථම්භක වේ. මව බුදින ලද ආහාරය දරුවාගේ සිරුරෙහි පැතිර රූප උපදවයි. සිරුරෙහි ගැල් වූ ආහාර ද රූප උපදවයි.
කර්මයෙන් උපන්, උපාදින්නක ආහාරය ද ස්ථිතිප්‍රාප්ත වූයේ රූප උපදවයි. ඒ උපාදින්නක ආහාරයෙහි ඕජාව ද අනික් රූපයක් උපදවයි. මෙසේ සතර පස් (4-5) ප්‍රවෘත්තියක් ගළපයි.
ආහාර පච්චය උතුසමුත්ථාන නම්:- ආහාර ප්‍රත්‍යයෙන් නිපන් තෙජෝ ධාතුව ස්ථිතිප්‍රාප්ත වූයේ උතුසමුත්ථාන වූ ඕජාට්ඨමක රූපය උපදවයි. එසේ දස දොළොස් (10-12) වාරයක ප්‍රවෘත්තිය ගළපයි.
- කර්මජ, චිත්තජ, ආහාරජ රූපයන්ගේ උත්පාදය මෙසේ දැන සෘතුජ රූපයන්ගේ උත්පාදය බැලීමට ද උත්සාහ දරන්නේ ය.
මෙහි සෘතු නම්:- කම්මාදී චතුසමුට්ඨානික තෙජෝ ධාතුව ය. ශීතොෂ්ණ වශයෙන් දෙයාකාරයෙන් දක්වනු ලබන්නේ එකම තෙජෝ ධාතූහුගේ අඩු බව හෝ වැඩි බව ය. ස්පර්ශ වූවහුගේ ශරීර උෂ්ණයට වඩා අඩුවූයේ ශීතය යයි ද, එයට වැඩි වූයේ උෂ්ණ යයි ද දත යුතු.
උතුසමුත්ථාන නම්:- චතුසමුට්ඨාන වූ සෘතුව උපාදින්නක ප්‍රත්‍යය ලැබ ස්ථිතිප්‍රාප්ත වූයේ ශරීරයෙහි රූප උපදවයි. උතුසමුත්ථාන රූපය, සද්ද නවකය, ආකාශ ධාතු, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා රූපය, උපචය හා සන්තති රූප යන පසළොස් වැදෑරුම් රූප උපදවයි.
සෘතු ප්‍රත්‍යය නම්:- තෙජෝ ධාතුව කර්මාදී චතුසමුට්ඨානික රූපයන්ගේ පැවැත්මට ද, විනාශයට ද ප්‍රත්‍යය වේ.
උතුපච්චය උතුසමුත්ථාන නම්:- සෘතුවෙන් හටගත් තෙජො ධාතුව ස්ථිතිප්‍රාප්ත වූවා අනික් ඕජාෂ්ටමක රූපයක් දැයි මෙසේ දීර්ඝ කාලයක් අනුපාදින්න පක්ෂයෙහි සිට ද උතුසමුත්ථානය පවතී.
උතුපච්චය ආහාර සමුත්‍ථාන නම්:- සෘතුජ තෙජො ධාතුව ස්ථිතිප්‍රාප්ත කල්හි එහි ඕජාව අන්‍ය වූ ඕජාෂ්ටමක රූපයක් උපදවයි. එහි ඕජාව ද අන්‍ය ඕජාෂ්ටමක රූප ද මෙසේ දස දොළොස් වාරයක ප්‍රවෘත්තිය ගළපයි.