අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූප සප්තකය

“ආදාන නික්ඛෙපනතො-වයොවුඩ්ඪත්‍ථ ගාමිතො

ආහාරතො ච උතුතො-කම්මතොචාපි චිත්තතො

ධම්මතාරූපතො සත්ත-විත්‍ථාරෙන විපස්සතී ති.”

යනාදී වශයෙන් දක්වන ලද හෙයින් යෝගාවචර තෙම—

  1. ආදානනික්ඛෙප වශයෙන් ද,
  2. වයොවුඩ්ඪත්‍ථගමන වශයෙන් ද,
  3. ආහාරමය රූප වශයෙන් ද,
  4. සෘතුජ රූප වශයෙන් ද,
  5. කර්‍මජ රූප වශයෙන් ද,
  6. චිත්තසමුත්‍ථාන වශයෙන් ද,
  7. ධම්මතා රූප වශයෙන් ද,

යන මේ ක්‍රමයෙන් තිලකුණට නගා සංස්කාර ධර්‍මයන් සම්මර්ශනය කෙරේ.

  1. ආදානනික්ඛෙප වශයෙන් - මෙහි ආදාන නම් ප්‍රතිසන්‍ධියයි. නික්ඛෙප නම් චුතියයි. මේ යෝගාවචර තෙම ප්‍රතිසන්‍ධිය හා චුතිය අතර පැවැති සියලු රූප ධර්‍මයෝ උත්පාද, නිරුද්ධ වශයෙන් පවත්නා හෙයින් ද, විපරිණාම හෙවත් ජරා - මරණ දෙකින් පෙරළෙන හෙයින් ද, තාවකාලික හෙයින් ද, නිත්‍ය ස්වභාවයෙන් නො පවත්නා හෙයින් ද, අනිත්‍යයහ.

උපන් සංස්කාරයෝ ස්ථිතියට පැමිණෙන හෙයින් ද, ස්ථිතියෙහි පැවැති සංස්කාර ජරායෙන් පීඩිත වන හෙයින් ද, ජරාවට පැමිණි සංස්කාර ඒකාන්තයෙන් බිඳෙන හෙයින් ද, මෙසේ නිතර නිතර පෙළෙන හෙයින් ද, ඉවසීමට දුෂ්කර හෙයින් ද, සසර දුකට පිහිටවන හෙයින් ද, සැපයට ප්‍රතිපක්‍ෂ හෙයින් ද දුක්ඛයහ.

“උපන් සංස්කාර ස්ථිතියට නො පැමිණෙත්වා, ස්ථිතියට පැමිණියාහු නො දිරත්වා, දිරුවාහු නො බිඳෙත්වා.” මෙසේ මේ ස්ථිති, ජරා, භේද යන අවස්ථා තුන කිසිවකුගේ වශයෙහි නො පවත්නා හෙයින් ද, ශුන්‍යහ. එසේ ශුන්‍ය හෙයින් ද, වශයෙහි නො පවත්නා හෙයින් ද, ස්වාමිවූවක් නැති හෙයින් ද, වශයෙහි පවත්නකු නැති හෙයින් ද, ආත්මයට ප්‍රතිපක්‍ෂ හෙයින් ද අනාත්මයහ.

මෙසේ ආදාන නික්ඛෙප වශයෙන් ප්‍රතිසන්‍ධිය හා චුතිය අතර පැවති රූපයෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණයන් සම්මර්ශනය කරන්නේ ය.

  1. වයොවුඩ්ඪත්‍ථගමන වශයෙන් - මෙහිදී යෝගී තෙම වයස් වශයෙන් වැඩුණු රූපයාගේ අස්තඞ්ගමය බැලීම් වශයෙන් ත්‍රිලක්‍ෂණයට නගයි. පළමු කොට අවුරුදු සියය තුනකට බෙදා, ප්‍රථම වයස ය, මධ්‍යම වයස ය, පශ්චිම වයස යයි පිරිසිඳියි. මුල තෙතිස් වස ප්‍රථම වයස ය. මැද සූතිස් වස මධ්‍යම වයස ය. අග තෙතිස් වස පශ්චිම වයස ය. මෙසේ තුන් වයසින් පිරිසිඳ, ප්‍රථම වයසෙහි පැවති රූපය මධ්‍යම වයසට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් ඒ රූපය අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් ඒ දුකය. යමක් දුක් නම් ඒ අනාත්ම යයි විදර්‍ශනා වඩයි.

මධ්‍යම වයස්හි පැවැති රූපය ද, පශ්චිම වයසට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එ හෙයින් එය ද අනිත්‍යය. දුක්ය, අනාත්ම යයි විදර්‍ශනා කෙරේ.

පශ්චිම වයස්හි පැවැති රූපය ද මරණයෙන් මත්තෙහි යාමට සමර්‍ත්‍ථයෙකු නැති හෙයින් එය ද අනිත්‍යය, දුක්ය, අනාත්මය යි ත්‍රිලක්‍ෂණයට නගයි. මෙසේ තුන් වයසින් වයොවුඩ්ඪත්‍ථ ගමන වශයෙන් ත්‍රිලක්‍ෂණයට නගයි.

ඉක්බිති හෙතෙම සියයක් වූ වයස දස කොටසකට බෙදා විදර්‍ශනා කරන්නේ ය. ඒ මෙසේයි -

“මන්‍දා, ඛිඩ්ඩාච වණ්ණාච - බලා, පඤ්ඤාච, හායනා,

පබ්භාරාච පවඩ්ඪාච - මොමූහ, සයනා දස.”

  1. මුල් දස හවුරුද්ද මන්‍ද දසකයයි. එකල හෙතෙම මන්‍ද, චපල, කුඩා ළදරුවෙක් වේ. මේ දසකයෙහි පැවැති රූපය දෙවන දසකයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ.
  2. දෙවන දසකය නම් ක්‍රීඩා දසකයයි. මෙහිදී හෙතෙම බොහෝ සේ ක්‍රීඩායෙහි ඇලෙයි. මේ දෙවන දසකයෙහි පැවැති රූපයෝ තුන්වන දසකයට නො පැමිණ එහි ම නිරුද්ධ වෙත්.
  3. තුන්වන දසකය නම් වර්‍ණ දසකයයි. මේ කාලයෙහි ඔහුගේ ශරීර වර්‍ණය ප්‍රසන්නව වර්‍ණවත් බවට පැමිණේ. මෙ කල්හි පැවැති රූපයෝ ද පස්වන දසකයට නො පැමිණ නිරුද්ධ වෙත්.
  4. සතරවන දසකය නම් බල දසකයයි. ශරීරය ශක්ති සම්පන්නව වැඩී පවතින කාලයයි. මෙ කල්හි පැවැති රූපයෝ ද පස්වන දසකයට නො පැමිණ නිරුද්ධ වෙත්.
  5. පස්වන දසකය නම් ප්‍රඥා දසකයයි. මේ කාලයෙහි ඔහුගේ නුවණ ස්ථිරව පිහිටයි. ඒ කාලයෙහි පැවැති රූපයෝ සවන දසකයට නො පැමිණ නිරුද්ධ වෙත්.
  6. සවන දසකය නම් හායන හෙවත් පිරිහෙන දසකයයි. වර්‍ණ, බල, නුවණාදිය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන්ගනී. මෙ කල්හි පැවැති රූපයෝ සත්වන දසකයට නො පැමිණ නිරුද්ධ වෙති.
  7. සත්වන දසකය නම් පබ්භාර දසකයයි. සිරුර ඉදිරියට නැමීමට පටන් ගනියි. මෙහිදී උපන් රූපයෝ ද එහි දීම නිරුද්ධ වෙත්. අටවන දසකයට නො පැමිණෙත්.
  8. අටවන දසකය නම් ප්‍රවඞ්ක දසකයයි. සිරුර නගුල් කොනක් මෙන් ඉදිරියට නැමෙයි. මෙහිදී ඇතිවන රූප එහිදීම නිරුද්ධ වෙත්. නවවන දසකයට නො පැමිණෙත්.
  9. නවවන දසකය නම් මෝමූහ දසකයයි. සිහිනුවණ පිරිහී මුළාවට පත්වන කාලයයි. මෙහිදී හටගන්නා රූපයෝ දසවන දසකයට නො පැමිණ නිරුද්ධ වෙත්.
  10. දසවන අවසාන දසකය නම් ශයන දසකයයි. අධික දුර්‍වලත්ත්‍වය නිසා බොහෝ සේ සයනගත වන කාලයයි. මේ කාලයේදී පැවැති රූපයෝ දෙවන භවයට නොගොස් ඒ දසකයෙහිම නිරුද්ධ වෙත්. එ බැවින් මේ සියලුම කල්හි පැවැති රූපයෝ අනිත්‍යයහ. දුක්ඛයහ, අනාත්ම යයි තිලකුණට නගයි. මෙසේ දසක වශයෙන් ගෙන වයොවුද්ධත්‍ථ ගමන වශයෙන් විදර්‍ශනාවට නගයි.

මෙසේ ක්‍රමයෙන් අවුරුදු සියයක් වන ජීවිත කාලය පස් අවුරුද්ද වශයෙන් විසි කොටසකට ද,

සතර අවුරුද්ද බැගින් පස්විසි කොටසකට ද,

තුන් අවුරුද්ද බැගින් තෙතිස් කොටසකට ද,

දෑවුරුද්ද බැගින් පනස් කොටසකට ද,

එක් අවුරුද්ද බැගින් කොටස් සියයකට ද,

එක් අවුරුද්ද තුන් කොටසට බෙදා වස්සාන ඍතුවය, හේමන්ත ඍතුවය, ගිම්හාන ඍතුව යයි ඍතුව වශයෙන් ද,

එක් අවුරුද්ද සය කොටසකට බෙදා, වස්සාන ඍතුවය, සරද ඍතුවය, හේමන්ත ඍතුවය, සිසිර ඍතුවය, වසන්ත ඍතුවය, ගිම්හාන ඍතුවය යන ඍතු සයක් වශයෙන් ද,

එක් මසක් දෙකකට බෙදා කාල පක්‍ෂය, සුක්ල පක්‍ෂය යයි දෙපක්‍ෂයක් වශයෙන් ද,

එක් දිනක් රෑ දවල් වශයෙන් දෙකොටසකට ද,

එක් දිනක් සයකොටසකට බෙදා පූර්‍වාහ්නය, මධ්‍යාහ්- නය, සායන්හය, පෙරයම, මැදියම, පසුයම වශයෙන් ද ගෙන ඒ ඒ අවස්ථාවන්හි පැවති රූපයෝ අනෙක් අවස්ථාවකට නො පැමිණ එහි ම නිරුද්ධ වෙත්. එ හෙයින් අනිත්‍යය, දුකය, අනාත්මය යයි ත්‍රිලක්‍ෂණයට නගයි.

තවද, ඉරියව් ආදීන්ගේ වශයෙන් වයොවුද්ධත්‍ථගමන මෙනෙහි කරයි. ඉදිරියට යාමය, පෙරළා ඊමය, ඉදිරිබැලීමය, ඔබිමොබ බැලීමය, අත් පා හැකිලීමය, දිග හැරීමය යන මොවුන්ගේ වශයෙන් ද සලකයි. ඉදිරියට යාමෙහි පැවැති රූපය පෙරළා ඊමට නො පැමිණ එහි ම නිරුද්ධ විය. මේ ආදී වශයෙන් ඒ ඒ ඉරියව්වෙහි පැවැති රූප අන් ඉරියව්වකට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එ හෙයින් අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි තිලකුණට නගයි.

තවද, එක් පියවරක් උද්ධරණ හෙවත් පය භූමියෙන් නැගීමය, අතිහරණ, හෙවත් ඉදිරියට යැවීමය, විතිහරණ හෙවත් කණුකටු සර්පාදීන් ගෙන් කිසිවක් දැක, පය ඔබිමොබ යැවීමය, වොස්සජන, හෙවත් පය යටට හෙළීමය, සන්නික්ඛෙපන හෙවත් පොළොවෙහි පය තැබීමය, සන්නිරුම්භන හෙවත් පය ඉදිරීමය යනාදී වශයෙන් ගෙන උද්ධරණ අවස්ථායෙහි පැවැති රූපයෝ අතිහරණ අවස්ථාවට නො පැමිණ එහිදී ම නිරුද්ධවිය. මේ ක්‍රමයෙන් සෑම ඉරියව්වක් පාසාම උපදනා රූපයෝ අන් ඉරියව්වකට නො පැමිණ නිරුද්ධ වෙතියි මෙනෙහිකරත්. එ හෙයින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි විදර්ශනාවට නගයි.

මෙකී උද්ධරණයෙහි, පඨවි, ආපෝ ධාතු හීන ය. තෙජෝ, වායෝ ධාතු බලවත් ය. අතිහරණ, විතිහරණ දෙක්හි ද එසේ ම ය. වොස්සජනයෙහි දී තෙජෝ, වායෝ ධාතු හීන ය. පඨවි, ආපෝ දෙක බලවත් ය. සන්නික්ඛෙපනයෙහි ද, සන්නිරුම්භයෙහි ද එසේ ම ය.

යෝගාවචර තෙමේ මෙසේ නා නා අයුරින් වයොවුඩ්ඪත්‍ථගාමි රූපයෙහි තිලකුණු නගා සම්මර්‍ශනය කරන්නේ ය.

  1. ආහාරමය රූප වශයෙන් - මේ ආහාරමය රූපය ක්‍ෂුධා සුභික්‍ෂ කාල වශයෙන් ප්‍රකට වේ.

ක්‍ෂුධා කාලයෙහි උපන් රූපය මලානික වේ. කලාන්ත වේ. දාගිය කණුවක් මෙන් ද අඟුරු පැසෙක සැඟවුණු කවුඩකු මෙන් ද දුර්‍වර්‍ණ වෙයි. නපුරුව සිටී. සුභික්‍ෂ කල හෙවත් ආහාරයෙන් පිරුණු කල උපන් රූපය තෘප්ත වෙයි. ප්‍රණීත වෙයි. මෘදු වෙයි. සිනිඳු වෙයි. මනා පහස් ඇති වෙයි. ඒ යෝගි තෙම එය පරිග්‍රහ කොට ක්‍ෂුධා කල්හි පැවැති රූප සුභික්‍ෂ කලට නො පැමිණ ඒ ක්‍ෂුධා කල්හි ම නිරුද්ධ වෙත්. සුභික්‍ෂ කල්හි පැවැති රූප ක්‍ෂුධා කලට නො පැමිණ එහිම නිරුද්ධ වෙත්. එ හෙයින් ඒ රූප අනිත්‍ය ය, දුක්ඛය, අනාත්මය යයි තිලකුණට නගයි.

4. සෘතුජ රූප වශයෙන් - මේ සෘතුජ රූපය ශීත උෂ්ණ වශයෙන් ප්‍රකට වේ. උෂ්ණ කාලයෙහි පවත්නා රූපය මලානික වේ. කලාන්ත වේ. දුර්වර්ණ වේ. ශීත කාලයෙහි පවත්නා රූපය තෘප්ත වේ. ප්‍රණීත වේ. මෘදු වේ. සුවපහස් ඇත්තේ වේ. සිනිඳු වේ. උෂ්ණ කාලයෙහි පැවැති රූපය ශීත කාලයට නො පැමිණ එහිම නිරුද්ධ වේ. ශීත කාලයෙහි පැවැති රූපය උෂ්ණ කාලයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එ හෙයින් එය අනිත්‍ය ය, දුක්ඛය, අනාත්ම යයි මෙසේ තිලකුණට නගයි.

5. කර්මජ රූප වශයෙන් - කර්මජ රූප ආයතන සංඛ්‍යාත ද්වාර වශයෙන් ද ප්‍රකට වේ. චක්‍ෂුද්වාරයෙහි චක්‍ෂු දසක, කාය දසක, භාව දසක යයි, කර්මජ රූප තිසක් වේ. ඔවුනට උපස්ථම්භක සෘතු, චිත්ත, ආහාර සමුත්‍ථාන ශුද්ධාෂ්ටක තුන තුන වශයෙන් සූවිසි රූපයක් දැයි සූපනසක් (54) රූප වෙති. ශ්‍රෝත, ඝාණ ජිව්හා ද්වාරයන්හි ද එසේම සූපනස බැගින් වෙති. කායද්වාරයෙහි කාය භාව දසක වශයෙන් ද රූප විස්සක් වෙයි. සෘතු, චිත්ත, ආහාර සමුත්‍ථාන වශයෙන් ශුද්ධාෂ්ටක තුන තුන බැගින් සූවිසි රූපයක් දැයි සූසාළිස් (44) රූප වෙති. මනොද්වාරයෙහි හදය වත්‍ථු දසකය, කාය දසකය, භාව දසකය යන මොවුන්ගේ වශයෙන් ද සෘතු, චිත්ත ආහාර සමුත්‍ථාන වශයෙන් ද සූපනසෙක් (54) වේ.

යෝගී තෙම මේ සියලු රූප පරිග්‍රහ කොට චක්‍ෂුද්වාරයෙහි පැවැති රූපය ශ්‍රෝතද්වාරයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. මෙසේ ඒ ඒ චාරයන්හි පැවැති රූප අන් චාරයකට නො පැමිණ එහි ම නිරුද්ධ වෙත්. එ හෙයින් එය අනිත්‍ය ය, දුක්ඛය, අනාත්ම යයි මෙසේ තිලකුණට නගයි.

6. චිත්ත සමුත්‍ථාන වශයෙන් - මේ රූප සෝමනස්ස දෝමනස්ස කාලයෙහි පැවැතීම් වශයෙන් ප්‍රකට වේ.

සෝමනස් කල උපන් රූපය සිනිඳු වේ. මෘදු වේ. ප්‍රණීත වේ. සුඛස්පර්‍ශ ඇත්තේ වේ. දෝමනස් කල උපන් රූපය මලානික වේ. කලාන්ත වේ. දුර්‍වර්‍ණ වේ.

සෝමනස් කල පැවැති රූපය දෝමනස් කලට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. දෝමනස් කල පැවැති රූපය සෝමනස් කලට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් අනිත්‍ය ය, දුක්ඛය, අනාත්මය යයි තිලකුණට නගයි.

7. ධම්මතා රූප වශයෙන් - ධම්මතා රූපය නම් බාහිර වූ අනින්ද්‍රිය බද්ධ වූ යකඩ, ලෝහ, සුදු ඊයම්, කළු ඊයම්, රන්, රිදී, මුතු, මැණික්, වෙරළු, සක්, කළුගල්, පබළු, රතුකැට, මැසිරිගල්, පොළෝ, පහණ ගල්, තණ, රුක්, ලිය ආදි ප්‍රභේද ඇති හටගන්නා කප හෙවත් විවට්ට කල්පය පටන්ගෙන උපදනා රූපයයි. එය මේ යෝගීහට අශෝක අඞ්කුර වශයෙන් ප්‍රකට වේ යයි කියන ලදී.

අශෝක අඞ්කුර රූපය ආදියෙහි තුනී රත්පැහැය ය, දෙතුන් දිනක් ගිය කල මදක් රත් වේ. අනතුරුව තරුණ පත් බඳු වර්‍ණ වේ. අනතුරුව මේරූ පත් බඳු පැහැ වේ. එතැන් පටන් වර්‍ණාදී වශයෙන් සමාන ස්වභාවය ඇති රූපය හේතු-ඵල පරම්පරා නො සිඳ පවත්නේ අවුරුද්දකින් පමණ පඬුවන්ව නටුවෙන් ගැලවී බිම හෙයි. ඒ යෝගී තෙම ඒ රූපය පරිග්‍රහ කොට තුනී රතු කල පැවැති රූපය තද රතු කාලයට නො පැමිණ නිරුද්ධ වේ.

මේ ක්‍රමයෙන් එක් අවස්ථාවෙක පැවැති රූපය අනෙක් අවස්ථාවකට නො පැමිණ නිරුද්ධ වේ. එ හෙයින් එය අනිත්‍යය, දුක්ඛය ය, අනාත්මය යයි තිලකුණට නගා සියලු ම ධම්මතා රූප සම්මර්‍ශනය කෙරේ.

මෙසේ රූප සප්තක වශයෙන් පළමු කොට තිලකුණට නගා සංස්කාරයන් සම්මර්‍ශනය කෙරේ.