4. කඞ්ඛාවිතරණ විසුද්ධිය
නාම-රූප ධර්මයන්ගේ ප්‍රත්‍යය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවැති සැක දුරු කොට සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධි නම් වේ.
දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිදානය නොහොත් ඒ රෝගයට හේතුව සොයන්නාසේ ද, වීථියක වැටීහුන් ළදරුවෙකු දැක අනුකම්පා ඇති එක් පුරුෂයෙක් මේ කවරෙකුගේ දරුවෙක් දැයි ඔහුගේ මව්පියන් සොයන්නා සේද, මේ කඞ්ඛාවිතරණ විසුද්ධිය ලබාගනු කැමැති මහණ තෙම නාම - රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යය සෙවීමෙහි නියුක්ත වෙයි.
ඒ යෝගාවචර තෙම මෙසේ සළකයි:-
- මේ නාම - රූප ධර්මයෝ සියලු තන්හි, සියලු කල්හි, සියල්ලනට සමව නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙති.
- නාම - රූප දෙකින් මත්තෙහි ඊශ්වරාදී මැවුම් කාරයෙකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකින් ද හටගත්තේ ද නොවේ.
එහෙයින් ඒකාන්තයෙන් ම, මේ නාම - රූප දෙදෙනාට හේතු ප්‍රත්‍යය ඇති විය යුතු යයි සළකා ඒ හේතු ප්‍රත්‍යය කවරේදැයි පරීක්ෂා කරයි.
පළමු කොට රූපකායයට හේතු ප්‍රත්‍යය මෙසේ සොයයි.
මේ කය උපදනා කල්හි උපුල්, පියුම්, හෙළ පියුම්, හෙල්මැලි ආදීන්ගේ අභ්‍යන්තරයෙහි නූපදී. මුතුමැණික් ආකරයක හෝ නූපදී. නො පැසුණු අහර ඇති ආමාශය ද පැසුණු ආහාර ඇති පඤ්චාශය ද යන මොවුන් අතරෙහි වූ උදර පටලයට පිටුපා පිටිකටුව පෙරටු කොට, අතුණු, අතුණුබහන් පිරිවරා, තෙමේත් දුගඳව, පිළිකුල්ව, අතිශයින් දුක් සහිත වූ ස්ථානයෙහි කුණු මස්, කුණු කුණප, කුණු කොමු, ගම්දොර, ගවරවළ, අසූවි වළය යනාදී තැනෙක පණුවකු මෙන් උපදී.
එසේ උපදනා ඔහුට අවිද්‍යාව, තෘෂ්ණාය, උපාදානය, කර්මය යන මොව්හු උපදවන හෙයින් හේතු නම් වෙති. ආහාරය උපස්ථම්භක භාවයෙන් උපකාර වන හෙයින් ප්‍රත්‍යය වේ. මෙසේ මේ ධර්ම පස හේතු ප්‍රත්‍යයෝ වෙති. ඒ හේතු ප්‍රත්‍යයන් අතුරෙන් අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන යන තුන ළදරුවෙකුට මවක් මෙන් මේ කයට උපනිශ්‍රය වේ. කර්මය පුතාට පියා මෙන් ජනක වශයෙන් හේතු වේ. ආහාරය, ළදරුවාට කිරිමව මෙන් ධරා සිටින හෙයින් සන්ධාරක වශයෙන් උපකාර වේ.
මෙසේ රූපකායයට ප්‍රත්‍යය පරිග්‍රහ කොට ඉක්බිතී නාමකායයට ප්‍රත්‍යය පරිග්‍රහ කරන්නේ “චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” යනාදි වශයෙන් චක්ෂු ප්‍රසාදය ද රූපාරම්මණය ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. සොත ප්‍රසාදය ද, ශබ්දාරම්මණය ද නිසා සොත විඤ්ඤාණය උපදී. මේ ක්‍රමයෙන් සියලු නාම ධර්මයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කෙරේ.
මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාම රූපයන්ගේ පැවැත්ම දැක, මේ නාම-රූප ධර්මයෝ දැන් පවත්නාක් මෙන් ම අතීතයෙහි ද හේතු ප්‍රත්‍යය නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු ප්‍රත්‍යය නිසා පවත්නේ යයි දකී.
මෙසේ බලන්නා වූ ඒ යෝගාවචරයාගේ පූර්වාන්ත සඞ්ඛ්‍යාත අතීත ස්කන්ධ පඤ්චකය අරභයා (1) මම අතීත කාලයෙහි සිටියෙම් ද, (2) නොසිටියෙම් ද, (3) කවරෙක්ව සිටියෙම් ද, (4) කෙබන්දෙක්ව සිටියෙම් ද, (5) කවරෙක්ව සිට කවරෙක් වූයෙම් ද මෙසේ පස් ආකාර වූ අතීතය පිළිබඳ විචිකිච්ඡාව ප්‍රහීණ වේ.
එසේම අපරාන්ත සඞ්ඛ්‍යාත අනාගතධ්වය අරභයා(1) අනාගත කාලයෙහි මම වන්නෙම් ද, (2) නො වන්නෙම් ද, (3) කවරෙක් වන්නෙම් ද, (4) කෙබන්දෙක් වන්නෙම් ද, (5) කවරෙක්ව කවරෙක් වන්නෙම් දැයි පස් ආකාර වූ අනාගතය පිළිබඳ විචිකිච්ඡාව ප්‍රහීණ වේ.
වර්තමාන ස්කන්ධ පඤ්චකය අරභයා: (1) මම වෙම් ද, (2) නොවෙම් ද, (3) කවරෙක් වෙම් ද, (4) කෙසේ වෙම් ද, (5) මේ සත්ත්ව තෙම කොයි සිට මෙහි ආවේ ද, (6) නැවත කොහි යන්නෙහි දැයි මෙසේ වර්තමානය පිළිබඳව සය ආකාර වූ විචිකිච්ඡාව දැයි මෙසේ කාලත්රය පිළිබඳ සොළොස් ආකාර විචිකිච්ඡා ප්‍රහීණ වේ.
අනෙක් යෝගාවචර කෙනෙක්, නාමකාය පිළිබඳ වූ සාධාරණ, අසාධාරණ වශයෙන් දෙයාකාර වූ ප්‍රත්‍යය බලයි. රූපකාය පිළිබඳ කර්මාදි වශයෙන් චතුර්විධ ප්‍රත්‍යය බලයි.
නාමකාය පිළිබඳ වූ සාධාරණ, අසාධාරණ ප්‍රත්‍යයන් අතුරෙන්, චක්ෂුරාදි ෂඩ්ද්වාරයන් හා රූපාදි ෂඩාරම්මණ ය ද නාමයට සාධාරණ ප්‍රත්‍යය වෙති. කුසලාකුසල විපාක ක්‍රියා භේදයෙන් සර්වප්රකාර වූ නාමය, චක්ෂුරාදි ද්වාරයෙන් රූපාදි සාරමුණෙහි පවත්නා හෙයිනි.
මනසිකාරාදිය නාමයාගේ අසාධාරණ ප්‍රත්‍යයෝය.
යොනිසොමනසිකාර, සද්ධර්මශ්රවණාදිය කුසලයටම අසාධාරණ ප්‍රත්‍යයෝ ය.
අයොනිසොමනසිකාර, අසද්ධර්මශ්රවණාදිය අකුසලයටම අසාධාරණ ප්‍රත්‍යයෝ ය.
කර්ම, අවිද්‍යා, ගති, කාලාදිය විපාකයට අසාධාරණ ප්‍රත්‍යයෝ ය.
භවාඞ්ගාදිය ක්‍රියා චිත්තයට අසාධාරණ ප්‍රත්‍යයෝ ය.
රූපයට, කර්මය, චිත්තය, ඍතුය, ආහාරය යන ප්‍රත්‍යයෝ සතර දෙනෙක් වෙති.
එයින් අතීත වූ කර්මයම, කර්මසමුට්ඨාන රූපයට ප්‍රත්‍යය වේ.
චිත්තය, චිත්තසමුට්ඨාන රූපයට උත්පාදක්‍ෂණයෙහි ම ප්‍රත්‍යය වේ.
ඍතු, ආහාර දෙක, ඍතුජ, ආහාරජ රූපයනට ස්ථිතික්ෂණයෙහිදී ප්‍රත්‍යය වෙත්.
මෙසේ මේ යෝගාවචර තෙම නාම-රූප ධර්මයන් පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහ කොට, නාම-රූපයන්ගේ පැවැත්ම බලා; මේ නාම-රූපයෝ වර්තමානයෙහි පවත්නාසේ අතීතයෙහි ද ප්‍රත්‍යය වශයෙන් පැවැත්තේ ය. අනාගතයෙහි ද ප්‍රත්‍යය වශයෙන් පවත්නේ යයි නුවණින් බලයි. මෙසේ බලන ඒ යෝගීහට තුන් කල්හි ම විචිකිච්ඡාව යට දැක් වූ පරිද්දෙන් ප්‍රහීණ වේ.
අනෙක් යෝගාවචර කෙනෙක්, නාම-රූප සඞ්ඛ්‍යාත සංස්කාරයන්ගේ ජරාවට පැමිණීම ද, ජරාවට පැමිණියවුන්ගේ භඞ්ගය ද දැක. මේ සංස්කාරයන්ගේ ජරා-මරණය උත්පත්තිය ඇති කල්හි වේ. ජාතිය කර්ම භවය ඇති කල්හි වේ. භවය උපාදානය ඇති කල්හි වේ. උපාදානය තෘෂ්ණාව ඇති කල්හි වේ. තෘෂ්ණාව වේදනාව ඇති කල්හි වේ. වේදනාව ස්පර්ශය ඇති කල්හි වේ. ස්පර්ශය ෂඩායතනය ඇති කල්හි වේ. ෂඩායතනය නාම-රූප ඇති කල්හි වේ. නාම-රූප විඥානය ඇති කල්හි වේ. විඥානය සංස්කාර ඇති කල්හි වේ. සංස්කාර අවිද්‍යාව ඇති කල්හි වේ. මෙසේ ප්‍රතිලොම පටිච්චසමුප්පාද වශයෙන් නාම-රූපයන්ගේ ප්‍රත්‍යය නිශ්චය කෙරේ. එකල්හි ඔහුගේ තුන් කල්හි විවිකිච්ඡාව යට දක්වන ලද පරිදි ප්‍රහීණ වේ.
අනෙක් යෝගාවචර කෙනෙක්. අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේය යනාදී ක්‍රමයෙන් අනුලොම වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් මෙනෙහි කොට නාම-රූපයන් ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කොට තුන් කල්හි පැවති විවිකිච්ඡාව ප්‍රහීණ කෙරේ.
අනෙක් යෝගාවචර කෙනෙක්, පූර්ව කර්ම භවයෙහි මොහය, අවිද්‍යාය, කුසලාකුසල රැස් කිරීම සංස්කාර ය, පඤ්චකාමයෙහි ඇලීම් සඞ්ඛ්‍යාත නිකන්තිය තෘෂ්ණාය, දැඩිව ගැනීම උපාදානය ය, අභිසංස්කරණ චෙතනාව කර්ම භවය ය, මෙසේ පූර්ව කර්ම භවයෙහි මේ පඤ්චවිධ ධර්මයෝ වර්තමාන ප්රතිසන්ධියට ප්‍රත්‍යය වෙති.
වර්තමාන ප්රතිසන්ධිය විඥානය ය, මව්කුසට වැදගැන්ම නාම-රූපය, ප්‍රසාදයෝ ආයතනය ය, අරමුණ ස්පර්ශ කිරීම ඵස්සය, අරමුණ රසවිදීම වේදනාය, මේ පඤ්ච ධර්මයෝ වර්තමාන උත්පත්ති භවයෙහි පූර්වයෙහි කළ කර්මයාගේ ප්‍රත්‍යයයෙන් පවතී.
මේ භවයෙහි චක්ෂුරාදි ආයතනයන් මිහිකිරීමට ගිය හෙයින් මෝහය අවිද්‍යා නමි. කුසලාකුසල රැස් කිරීම සංස්කාර නමි. පඤ්චකාමයෙහි ඇලීම් සඞ්ඛ්‍යාත නිකන්තිය තෘෂ්ණාය දැඩිව ගැනීම උපාදානය ය. චෙතනාව කර්ම- භවය ය. මේ පඤ්ච ධර්මයෝ මේ කර්මභවයෙහි මතු ප්රතිසන්ධි භවයට ප්‍රත්‍යය වෙති.
මෙසේ කම්මවට්ට, විපාකවට්ට වශයෙන් නාමරූපයන් ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කෙරේ.
කම්මවට්ටය විපාක දෙන කාල වශයෙන් චතුර්විධ වේ:-
- දිට්ඨධම්මවෙදනීය ය,
- උපපජ්ජවෙදනීය ය,
- අපරාපරියවෙදනීය ය,
- අහොසිකර්මය ය,
එක් ජවන චිත්ත වීථියෙක ජවන් සිත් සත අතුරෙන් කුසල් වූ හෝ අකුසල් වූ හෝ ප්‍රථම ජවන චේතනාව, දිට්ඨධම්මවෙදනීය කර්මය වේ. ඒ කර්මය මේ අත්බැව්හිම විපාක දේ. එසේ විපාකයට නො පැමිණියේ අහොසි කර්ම නමි.
කුසලාකුසල වශයෙන් අර්ත්ථ සිද්ධිය කරන සත්වන ජවන චේතනාව උපපජ්ජවෙදනීය කර්ම නමි. ඒ කර්මයෙන් ප්රතිසන්ධි විපාකය අනතුරු හෙවත් දෙවන අත්බැව්හි දෙන්නේ ය. එසේ විපාකය නුදුනහොත් අහොසි කර්ම වේ.
කුසලාකුසල වූ ඉතිරි ජවන් සිත් පසෙහි එනම් දෙවන, තුන්වන, සතරවන, පස්වන, සවන ජවන චේතනාවෝ අපරාපරියවෙදනීය කර්ම නම් වෙත්. ඒ කර්ම අනාගතයෙහි අවකාශ ලද යම් තැනක විපාක දේ. සසර පැවැත්ම ඇතිතාක් කල් එය අහොසි කර්ම බවට නො පැමිණෙත්.
කම්මචතුක්කය - විපාක දෙන ක්‍රම වශයෙන් ද චතුර්විධ වේ.
- යග්ගරුක කර්ම,
- යබ්බහුල කර්ම,
- යදාසන්ත කර්ම,
- කටත්තා කර්ම යනුයි.
අකුසල පක්ෂයෙහි මාතෘඝාතකාදී ආනන්තරිය කර්මයක් හෝ කුසල පක්ෂයෙහි ප්‍රථම ධ්‍යානාදී මහද්ගත කර්මයෙක් හෝ වේ නම් එය ගරු කර්ම නමි. ඒ ගරුකර්ම ප්‍රථම කොට විපාක දේ.
යම් කර්මයක් බහුල කොට කරණ ලද්දේ නම් එය යබ්බහුල කර්ම නම් වේ.
මරණාසන්න කාලයෙහි කළ කර්මය ආසන්න කර්ම නමි. මරණාසන්නයෙහි සිහිකළ කර්මය හෝ යදාසන්න කර්ම නමි.
මෙයින් අන්‍ය වූ, නැවත නැවත ලබන ලද ආසේවන ඇති කර්මය කටත්තා කර්ම නමි. පෙරකී කර්මයන් නැති කල මේ කර්මය විපාක දේ.
කම්මවට්ටය, කෘත්‍ය වශයෙන් ද චතුර්විධ වේ.
- ජනක කර්මය,
- උපස්ථම්භක කර්මය,
- උපපීඩක කර්මය,
- උපඝාතක කර්මය යනුයි.
කුසල්වූ හෝ අකුසල්වූ හෝ ජනක කර්මය ප්රතිසන්ධියෙහි ද ප්‍රවෘත්තියෙහි ද රූප අරූප විපාක උපදවයි.
උපස්ථම්භක කර්මයට පමණක් විපාක ඉපදවිය නො හැකි වේ. අන්‍ය කර්මයකින් පටිසන්ධිය දුන් පසු සුවදුක් විපාකයනට රුකුල් දීම් වශයෙන් උපස්ථම්භක වේ.
උපපීඩක කර්මය ද අන්‍ය කර්මයකින් උපන් විපාකය වැළැක්වීම් වශයෙන් පෙළයි.
උපඝාතක කර්මය ද කුසල් හෝ අකුසල් හෝ වේ. අනික් දුර්වල කර්මය නසා තමා විපාකයට අවකාශ කෙරේ. මෙසේ කර්මයෙන් අවකාශ කළ කල්හි එහි විපාක උපදනේ වේ.
මේ දොළොස් වැදෑරුම් කර්මයන්ගේ කර්ම භේදය හා විපාක භේදය ද බුදුවරයන්ගේ කර්ම විපාක ඥානයට ම තත්වූ පරිද්දෙන් ප්‍රකට වේ. ශ්‍රාවකයන් හා ද අසාධාරණ වේ. නමුත් විදර්ශනා වඩන යෝගාවචරයා විසින් ද කර්මාන්තරය ද විපාකාන්තරය ද එක දේශමාත්රයකින් වත් දත යුතු.
යෝගාවචර තෙම මෙසේ සළකා කම්මවට්ට විපාකවට්ටයන්ගේ වශයෙන් නාම-රූපයන්ගේ ප්‍රත්‍යය බලා, දැන් පවත්නාසේ අතීතයෙහි ද කම්මවට්ට විපාකවට්ට පැවැත්තේ ය. අනාගතයෙහි ද කම්මවට්ට විපාකවට්ට වශයෙන් පවත්නේ යයි මෙසේ-
කර්මය ද-කර්මවිපාකය ද,
කම්මවට්ටය ද-විපාකවට්ටය ද,
කර්මප්රවෘත්තිය ද-විපාකප්‍රවෘත්තිය ද,
කර්මසන්තතිය ද-විපාක සන්තතිය ද,
ක්‍රියා ද-ක්‍රියා ඵල ද,
නුවණින් දක්නා ඒ යෝගීහට පූර්වාන්තාදිය නිසා යට කියන ලද පරිදි තුන් කල් පිළිබඳ වූ සොළොස් වැදෑරුම් විචිකිච්ඡාව ප්‍රහීණ වේ. සියලුම භව, යෝනි, ගති, විඤ්ඤාණස්ථිති, සත්ත්වාවාසයන්හි හේතුඵල සම්බන්ධ වශයෙන් පවත්නේ නාම-රූප මාත්‍රය මැයි වැටහේ. හෙතෙම හේතුවෙන් මත්තෙහි කාරණයක් නොදක්නේ, විපාක පැවැත්මෙන් මත්තෙහි විපාක විඳින්නෙකු නොදකි. කාරණය ඇති කල්හි කාරක යයි ද, විපාක ප්‍රවෘත්තිය ඇති කල්හි ඵල විඳින්නේ යයි ද ව්‍යවහාර මාත්‍රයකින් පණ්ඩිතයන් ව්‍යවහාර කෙරෙති යි මනා නුවණින් මොනවට දකී.
එහෙයින් කියන ලදී-
“කම්මස්ස කාරකො නත්ථි-විපාකස්සච වෙදකො
සුද්ධධම්මා පවත්තන්ති-එවෙතං සම්මදස්සනං.”
බීජයෙන් වෘක්ෂය ය, වෘක්ෂයෙන් නැවත බීජය ය යි මෙසේ වෘක්ෂ-බීජ සන්තතිය අනාදිමත් කාලික වශයෙන් පවත්නා හෙයින් පූර්වකොටිය හෙවත් මුල නො පෙනෙන්නාසේ කර්ම ප්‍රත්‍යයෙන් විපාකය, විපාක ප්‍රත්‍යයෙන් නැවත කර්මය ය යි කර්මවිපාක සන්තතිය අනාදිමත් කාලික හෙයින් පූර්වකොටිය හෙවත් මුල නො පෙනේ.
මෙසේ කම්මපච්චයන්ගේ වශයෙන් නාම-රූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කොට අතීතාදී කාලත්‍රයෙහි විචිකිච්ඡාව ප්‍රහීණ කළ ඒ යෝගාවචරයාහට සියලු අතීතානාගත පච්චූප්පන්න ධර්මයෝ චුති ප්රතිසන්ධි වශයෙන් ප්‍රකට වෙති. අනුපදධර්ම වශයෙන් නොවේ. ඒ යෝගීහුගේ ඒ ප්‍රඥාව නාම-රූප පරිග්‍රහ කිරීම හා නාම-රූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කිරීම දැයි මෙසේ ක්‍රමයෙන් පරිච්ඡේද වශයෙන් දත් හෙයින් ඤාත පරිඤ්ඤා නම් වේ.
තවද, හෙතෙම මෙසේ ද දනී.
අතීත භවයෙහි කර්ම ප්‍රත්‍යයයෙන් උපන් ස්කන්ධයෝ ඒ භවයෙහිම නිරුද්ධ වූහ.
අතීත කර්ම ප්‍රත්‍යයෙන්, මේ වර්තමාන භවයෙහි අනික් ස්කන්ධ පහළ වූහ.
ඒ අතීත භවයෙන් මේ භවයට ආ එකද ධර්මයකුදු නැත්තේ ය.
මේ භවයෙහි ද කර්ම ප්‍රත්‍යයෙන් නිපන් ස්කන්ධයෝ මේ භවයෙහිම නිරුද්ධ වන්නාහ.
පුනර්භවයෙහි අනික් ස්කන්ධ පහළවන්නාහ.
මේ භවයෙන් පුනර්භවයට එකද ධර්මයෙක් නොයන්නේ ය.
එහෙයින් ධර්මයන්ගේ භවාන්තර හෙවත් භවයන් අතර සංක්‍රමණයෙක් නම් නැත්තේ ය.
ගුරු මුඛයෙන් හදාරණ ලද මන්ත්‍රාදිය අතවැසියාගේ මුඛයට නොපිවිසේ. එහෙත් ඒ නො පිවිසීමෙන් අතවැසියාගේ මුඛයෙහි හැදැරීම නො පවත්නේ ද නොවේ. පවත්නේම ය.
මුහුණෙහි වූ අලඞ්කාර විධානය කැටපත් තලාදියෙහි මුඛප්රතිබිම්බයට නො පැමිණේ. ඒ නො පැමිණීමෙන් කැටපත් ආදියෙහි අලඞ්කාර විධානය නො පෙනෙන්නේ නොවේ. පැනේමැයි.
එක් පහන් වැටියක පහන් සිළුව අනික් පහන් වැටියකට සංක්‍රමණය නොවේ. එහෙත් ඒ හේතුවෙන් ඒ පහන් වැටියෙහි පහන් සිළුව නොදැල්වෙන්නේ නොවේ. දැල්වේ මැයි.
මෙසේ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්භවයට ද, කිසිදු ධර්මයක් සංක්‍රමණය නොවේ. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ, ආයතන, ධාතු ප්‍රත්‍යයයෙන් මේ භවයෙහි ද, මේ භවයෙහි ස්කන්ධ, ආයතන, ධාතු ප්‍රත්‍යයයෙන් පුනර්භවයෙහි ද ස්කන්ධ, ආයතන, ධාතු නූපදින්නාහු නොවෙති. උපදින්නාහු ම ය යි දනී.
මෙසේ චුති ප්රතිසන්ධි වශයෙන් දක්නා ලද සියලු ධර්ම ඇති ඕහට හැම ආකාරයෙන් ම නාම-රූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහ ඤාණය ස්ථිර බවට පැමිණ සොළොස් වැදෑරුම් විචිකිච්ඡා ද ප්‍රහීණ වේ.
තවද බුද්ධ, ධම්ම, සඞ්ඝ, සික්ඛා, පුබ්බන්ත, අපරන්ත, පුබ්බන්තාපරන්ත, පටිච්චසමුප්පාද ධම්ම යන අටතැන්හි සැකය ද, දෙසැට (62) මිථ්‍යාදෘෂ්ටිහු ද විෂ්කම්භණය වෙති.
මෙසේ නොයෙක් අයුරින් නාම-රූපයනට ප්‍රත්‍යය පරිග්‍රහයෙන් තුන් කල්හි විචිකිච්ඡාව ඉක්ම සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධි නම්. එයට ම යථාභූත ඤාණය යයි ද සම්‍යක් දර්ශන යයි ද කියනු ලැබේ.
තවද නො පිරිහුණු කඞ්ඛාවිතරණ විසුද්ධිය ඇති, විදර්ශනා වඩන යෝගාවචර තෙම ලෞකික සීල, සමාධි, ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්ග ඵලාධිගමය නො කෙළේ ද, සුගතිපරායණ ම වෙයි. එහෙයින් නියත ගතික යයි කියන ලදී. එහෙයින් ම චුල්ලසෝතාපන්න නමුදු වේ. සෝතාපන්න පුද්ගලයාද අපාය, දුර්ගති, විනිපාත ක්ෂය කළ හෙයිනි.
කඞ්ඛාවිතරණ විසුද්ධිය ලැබීමෙන් හෙතෙම ලබ්ධප්රතිෂ්ඨා වේ. හේතු ප්‍රත්‍යය සහිත නාම-රූප දැකීමෙන්, මඩන ලද දිට්ඨිකණ්ටක ඇත්තේ, අහේතුක-විසම හේතු වාදයන් මැඩපියන ලද්දේ, තමතමා ප්‍රත්‍යයෙන් ම ධර්ම ප්‍රවෘත්තිය දැන, ශාසනයෙහි පිහිටු වන ලද ශ්‍රද්ධා ඇති හෙයින් ද ලබ්ධ ප්‍රතිෂ්ඨා නම් වේ.
නාම-රූප වවත්ථානයෙන්, දුක්ඛසත්‍යය ය ද ධම්මට්ඨිති ඤාණයෙන් සමුදය සත්‍යය ද, එයම මෑත භාගයෙහි අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ක්‍රමයෙන් මාර්ග සත්‍යය ය ද විශිෂ්ට ඤාණයෙන් දැන, නාම-රූප ප්‍රවෘත්තියෙහි දුක්ඛ භාවය දැන, අප්‍රවෘත්තිය වූ නිරෝධයෙහි හෙවත් නිර්වාණයෙහි ඒකාන්ත නැමුණු අදහස් ඇති බැවින් ලෞකික ඥානයෙන් ම චතුරාර්‍ය්‍ය සත්‍යයන් අධිගත හෙයින් අපායොත්පත්තියට අභව්යවූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේ යයි ද නියතගතික යයි ද චුල්ලසෝතාපන්න යයි ද එහෙයින්ම කියන ලදී.