දස විදර්ශනෝපක්ලේශයෝ
තරුණ විදර්ශනාවෙන් පටන් ගත් විදර්ශනා ඇති ඒ යෝගාවචරයා හටම දස විදර්ශනෝපක්ලේශයෝ උපදිත්. ඒ විදර්ශනෝපක්ලේශයෝ මාර්ග-ඵල ප්‍රතිවේධ කළ ආර්‍ය්‍ය ශ්රාවකයාට ද, සීල විපත්ති ආදීන් විප්රතිපන්න පුද්ගලයාට ද නූපදිති. සම්‍යක් ප්‍රතිපත්ති ඇති, විදර්ශනා ඇති, විදර්ශනා භාවනාවෙහි යෙදුණු ආරබ්ධ විදර්ශක වූ කුලපුත්‍රයා හටම උපදිත්.
“ඔභාසො, පීති, පස්සද්ධි - අධිමොක්ඛොව පග්ගහො
සුඛං ඥාන මුපට්ඨාන - මුපෙක්ඛාව නිකන්ති ච.”
දස විදර්ශනෝපක්ලේශයෝ නම්:-
- ඔභාසය,
- ඥානය,
- ප්‍රීතිය,
- පස්සද්ධිය,
- සුඛය,
- අධිමොක්ඛය,
- වීර්‍ය්‍යය,
- ස්මෘතිය,
- උපෙක්ෂාය,
- නිකන්තිය,
1. ඔභාසය- නම් විදර්ශනා චිත්තයෙන් උපදනා එක්තරා ශරීරාලෝකයකි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ම මෙය උපදී. ඒ ආලෝකය උපන් කල්හි ඇතැම් යෝගාවචරයෙක් “පෙර මට මෙබඳු ආලෝකයෙක් නූපන්නේ ය. ඒකාන්තයෙන් ම මාර්ගයට පැමිණියෙමි, ඵලයට පැමිණියෙමි යි අමාර්ගයම මාර්ගය යයි ද, ඵලය නො වූවම ඵලය යයි ද ගනී. එසේ ගන්නාහුගේ විදර්ශනා භාවනාව අමාර්ගයට වැටුණේ වෙයි. ඒ හේතුකොට ගෙන වූ වික්ෂෙපය, උඩච්චය නම් වේ. ඒ උඩච්චයෙන් මඩනා ලද සිත් ඇති යෝගී තෙම අනිත්‍ය වශයෙන් වැටහීම තතුසේ නො දනී. හෙතෙම තමාගේ මූල කමටහන හෙවත් විදර්ශනාව හැර ආලෝකය ම ආස්වාදනය කෙරෙමින් හිඳී.
ඒ ආලෝකය, ඇතැම් භික්ෂුවක්හට, තමා හුන් පර්ය්යඞ්කය පමණ තැන එළිය කෙරෙමින් උපදී. ඇතැම් භික්ෂුවක්හට ඇතුළු ගැබ පමණ ද, ඇතැමෙකුට ගැබින් පිටත ද, කිසිවෙකුට සියලු විහාරය ද, කිසිවෙකුට ගව්වක්, අඩයොදුනක්, යොදුනක්, දෙයොදුනක්, තුන්යොදුනක් පමණ ද, කිසිවෙකුට පොළොවෙහි පටන් අකනිටා බඹලොව දක්වා ද ඒකාලෝක කෙරෙමින් උපදී. භාග්‍යවතුන් වහන්සේට දසදහසක් සක්වළ ආලෝක කරමින් උපදී.
පෙර සිතුල්පහු වෙහෙර දෙබිති ගෙයක් තුළ තෙරහු දෙනමක් හුන්හ. එක් කරුවල පොහෝ දිනෙක වැසිවලාකුලින් වැසුණු, ගනඳුර ඇති මධ්‍යම රාත්‍රියෙහි භාවනායෙහි යෙදී සිටි මේ දෙනම අතුරෙන් එක් නමක් “ස්වාමීනි, මට දැන් දාගැබ් මලුයෙහි සිංහාසනයෙහි පස්වණක් මල් පැනේ යයි” කීය. එවිට අනික් භික්ෂූන් වහන්සේ “ඇවැත්නි, එය පුදුමයක් නොවේ, මට දැන් මහමුහුදෙහි යොදුනක් තැන මස් කැස්බන් බොහෝ පෙනෙතැ” යි කීහ. මේ විදර්ශනොපක්ලේශය බොහෝ සේ සමථවිදර්ශනාලාභින්හටම වේ.
තවද, මේ ආලෝකය ඇති වූ කල්හි, සමාපත්ති බලයෙන් විෂ්කම්භනය කරන ලද කෙලෙසුන්ගේ නො හැසිරීමෙන් “මම රහත්වීමි” යි වරදවා සිත් උපදවයි.
තලගුරු වෙහෙර ධම්මදින්න නම් සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක්, බොහෝ භික්ෂුසංඝයාහට අවවාද අනුසාසනා කරමින් සිටි කල්හි එක් දවසක් දිවාස්ථානයෙහි වැඩහිඳ උන්වහන්සේගේ ආචාර්‍ය්‍යවූ උස්වැලි වැසි මහානාග ස්ථවිරයන් වහන්සේගේ මහණ කම මුදුන් පැමිණියේ ද නැද්දැ යි ආවර්ජනා කරනසේක් උන්වහන්සේ පෘථග්ජන බව දැක, “මා නොගිය කල පුහුදුන් ව ම කළුරිය කිරීම වන්නේ” යයි දැන සෘද්ධියෙන් වැඩ දිවාස්ථානයෙහි වැඩහුන් තෙරුන් සමීපයෙහි බැස, වැඳ වත් පිළිවෙත් කොට එකත්පසෙක වැඩහුන් සේක. මහතෙරණුවෝ ද, ‘ඇවැත්නි, නො කල්හි ආයේ කිම්දැ” යි විචාළ කල, “ස්වාමීනි, ප්‍රශ්න ඇසීමට ආයෙමි” යි කීහ. ‘ඇවැත්නි, විචාරව, දන්නෙම් කියම්” යි කීහ. තෙරුන් වහන්සේ ද විචාළ ප්‍රශ්න නොපැකිල විසඳු සේක. එකල ධම්මදින්න තෙරණුවෝ කියනුයේ, “ස්වාමීනි, ඔබවහන්සේගේ ඤාණය ඉතා තියුණු ය. කවර දා මේ ධර්මය අවබෝධ කළ සේක් දැ යි විචාළ කල, “ඇවැත්නි, මෙයින් සැට වසකට පෙර” යයි කීහ. “ස්වාමීන්වහන්සේ සමාධියට සමවදනා සේක් දැ” යි විචාළ කල, “අපට එය බරක් නොවේ” යයි කීහ. “ස්වාමීනි, එසේ නම් එක් ඇතෙකු මවනු මැනවැ” යි කීහ. තෙරුන්වහන්සේ ද සුදු ඇතෙකු මැවීය. “ස්වාමීනි, දැන් මේ ඇතා කන්නිශ්චල කොට තබා නගුට දික් කොට ගෙන සොඬ මුවෙහි බහා බිහිසුණු ලෙස කුඤ්චනාද කරමින් ඔබ අභිමුඛයට එන ලෙසක් කළ මැනවැයි කීහ. තෙරුන්වහන්සේ ද එසේ කොට වේගයෙන් තමා වෙත එන ඒ ඇතාගේ බිහිසුණු අයුරු දැක නැගිට පැනයන්නට සැරසුණු සේක. රහත් තෙරුන්වහන්සේ උන්වහන්සේගේ සිවුරුකොණ අල්වා ගෙන, “ස්වාමීනි, රහතුන්ට තැතිගැනීමක් වේ දැ” යි ඇසූ සේක. උන්වහන්සේ එකල තමා ප්රෘථග්ජන බව දැන, “ඇවැත් ධම්මදින්නයෙනි, මට පිහිට වෙවයි කියා පාමුල උක්කුටිකයෙන් හුන් සේක. “ස්වාමීනි, නුඹවහන්සේට පිහිටවීම සඳහාම ආමි’යි, අනිකක් නො සිතනු මැනවැ යි කියා කමටහනක් වදාළ සේක. තෙරුන්වහන්සේ කමටහන් ගෙන සක්මනට නැගී තුන්වන පියවරෙහි අග්‍ර ඵලය වූ අර්හත්වයට පැමිණි සේක. මේ තෙරුන්වහන්සේ වෙෂ චරිතයෙකු බැවින් ආලෝකයෙහි කම්පාවූයේ යයි කියන ලදී.
2. ඥානය. අනිත්‍යය වශයෙන් මෙනෙහි කරන යෝගීහට විදර්ශනා ඥානය උපදී. නාම-රූප ධර්මයන් ප්‍රමාණ කරන, විචාරණය කරන ඒ යෝගීහට හරන ලද වජ්රායුධය මෙන් නො පැකිලෙන වේග ඇති තියුණු වූ ඉතා විශද වූ විදර්ශනා ඥානය උපදී.
- ප්‍රීතිය නම් විදර්ශනා ප්‍රීතිය යි, ආරබ්ධ විදර්ශකයා හට ඛුද්දක ප්‍රීතිය, ක්ෂණික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය, උබ්බෙග ප්‍රීතිය, එරණ ප්‍රීතිය යන පස්වැදෑරුම් ප්‍රීතිය මුළු ශරීරය පුරමින් උපදී.
- පස්සද්ධිය නම් විදර්ශනා පස්සද්ධි යයි. රාත්‍රි ස්ථානයෙහි හෝ දිවාස්ථානයෙහි හෝ හුන්නා වූ ඒ යෝගීහට කාය චිත්ත දෙක්හි විඩාවක් හෝ, බර බවක් හෝ, කර්කශ බවක් හෝ, අකර්මණ්‍ය බවක් හෝ, ගිලන් බවක් හෝ, වඞ්ක බවක් හෝ නොවේ. උද්ධච්චය සංසිඳීමෙන් කාය චිත්තයෝ සංසිඳුනාහු වෙති. ථීනමිද්ධය දුරුවීමෙන් සැහැල්ලු වෙති. දිට්ඨි මාන සංසිඳීමෙන් මෘදු වෙති. සෙසු නීවරණ සංසිඳීමෙන් කර්මණ්ය වෙති. අශ්රද්ධාදිය සංසිඳීමෙන් නො ගිලන් වෙති. මායා සාඨෙය්‍ය සංසිඳීමෙන් ඍජු වෙති. මෙසේ ඒ යෝගීහට මනුෂ්‍යත්වය ඉක්ම සිටි අමානුෂ රතිය හෙවත් ඇලීම සිද්ධකරන්නා වූ ලහුතාදීන් හා යුක්ත වූ පස්සද්ධිය උපදී.
- සුඛය නම් විදර්ශනා සුඛය යි. විදර්ශනා වඩන ඒ යෝගීහට මුළු සිරුර තෙමමින් ඉතා ප්‍රණීත වූ කිසි කලෙක නොවූ විරූ සුඛයෙක් උපදී.
- අධිමොක්ෂය නම් විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත බලවත් ශ්රද්ධාවයි. විදර්ශනාව වඩත්ම චිත්ත චෛතසික ධර්මයන් අතිශය ප්‍රසන්න භාවයට පමුණු වන ඉතා බලවත් ශ්‍රද්ධාව උපදී.
- ප්‍රග්‍රහ හෙවත් වීර්‍ය්‍යය - විදර්ශනා චිත්තය හා සම්ප්‍රයුක්ත වූ ලිහිල් නොවූ, ඉතා දැඩි ද නොවූ, මනා කොට ගන්නා ලද වීර්‍ය්‍ය උපදී.
- උපට්ඨානය හෙවත් ස්මෘතිය - විදර්ශනා චිත්තය හා සම්ප්‍රයුක්ත වූ මනාව එලඹ සිටි, මනාව පිහිටුවන ලද ඉන්ද්රජාලයක් බඳු වූ ද, නිශ්චල පර්වත රාජයකු බඳු වූ ද සතිය උපදී.
9. උපෙක්ෂාව නම් විදර්ශනොපෙක්ෂාව හා ආවර්ජනොපෙක්ෂාවයි. සියලු නාම-රූප ධර්මයන් උදය-ව්‍යය වශයෙන් මනාව පරීක්ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථ භාවයෙන් පැවැති විදර්ශනා උපෙක්ෂාව ද බලවත්ව උපදී. තත්ත්රමජ්ඣත්තතා උපෙක්ෂා යයි ද මෙයට ම නමෙකි. මනොද්වාරාවර්ජන චිත්තය හා සම්ප්‍රයුක්ත වූ චේතනාව ආවර්ජනයෙහි මධ්‍යස්ථතාව පැවැත් මෙන් ආවර්ජන උපෙක්ෂාව ද වේ.
10. නිකන්තිය නම් විදර්ශනා චිත්තය පිළිබඳ වූ සියුම් තෘෂ්ණාවයි. මෙසේ ඕභාසාදීන්ගෙන් යුක්ත වූ විදර්ශනාවෙහි ආලය කරමින්, සියුම් වූ, ශාන්තාකාර වූ නිකන්තිය උපදී.
මේ ඕභාසය, විදර්ශනාවට අලඞ්කාරයක් වන්නාක් මෙන් ම, ඒ ප්රඥාදීන් අතුරෙන් එකක් උපන් කල්හි ඒ යෝගීහට, “මට මෙයින් පෙර මෙබඳු ඤාණයෙක් නූපන්නේ ය. මෙබඳු ප්‍රීතියෙක් පස්සද්ධියෙක්, සුඛයෙක්, අධිමොක්ෂයෙක්, ප්රග්රහයෙක්, උපට්ඨානයෙක්, උපෙක්ෂා වෙක්, නිකන්තියෙක් නූපන්නේ ය. ඒකාන්තයෙන් ම මම මාර්ගයට පැමිණියෙමි, ඵලයට පැමිණියෙමි” යි අමාර්ගයම මාර්ගය යයි ද, ඵලය නොවූව ඵලය යයි ද ගනී.
අමාර්ගය මාර්ගය යයි ද, අඵලය ඵලය යයි ද ගන්නා ඒ යෝගීහුගේ විදර්ශනා චිත්ත වීථිය ඉක්ම ගියේ නම් වේ. එකල්හි හෙතෙම තමාගේ ඒ විදර්ශනා කර්මස්ථානය අත්හැර ඕභාසාදියෙහි සියුම් ඇල්ම වූ නිකන්තියම ආස්වාදනය කරමින් හිඳී.
මේ දස උපක්ලේශයන් අතුරෙන් ඕභාසාදිය උපක්ලේශ වස්තු වන හෙයින් උපක්ලේශය යි කියන ලද නමුත් අකුසල් නිසා නොවන බව දත යුතු. නිකන්තිය උපක්ලේශ ද, උපක්ලේශ වස්තු ද වේ. මෙසේ වස්තු වශයෙන් උපක්ලේශ දසයක් වේ. එයම තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීමෙන් සමතිසක් (30) වේ.
මට ආලෝකයක් උපනැයි ගන්නාහට සක්කායදිට්ඨි වශයෙන් ගැනීම වේ. මනා ආලෝකයක් උපනැයි ගන්නාහට මාන වශයෙන් ගැනීම වේ. ආලෝකය ආස්වාදනය කිරීම් වශයෙන් තෘෂ්ණාව උපදී. මෙසේ ආලෝකයෙහි දිට්ඨි, මාන, තණ්හා වශයෙන් ගැනීම් තුනෙකි. සෙසු උපක්ලේශ ධර්මයන් කෙරෙහි ද මේ ක්රමයම වේ.
අදක්ෂ, අව්‍යක්ත යෝගී තෙම මේ ඕභාසාදී නිමිත්තෙන් කම්පා වේ. වික්ෂිප්ත වේ. ඒ එකක් එකක් පාසාම “එතං මම එසො හමස්මි, එසො මෙ අත්තා” මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය යයි ද තෘෂ්ණා, මාන, දිට්ඨි වශයෙන් බලයි.
දක්ෂ, පණ්ඩිත, ව්‍යක්ත, බුද්ධිමත් යෝගී තෙම ඕභාසාදිය උපන් කල මට ආලෝකයෙක් උපන. එය ද අනිත්‍යය, සඞ්ඛතය, පටිච්චසමුප්පන්නය, ක්ෂය වන සුලුය, ව්‍යය වන සුලුය, නැසෙන සුලුය, නිරුද්ධ වන සුලුය යි මෙසේ පරීක්ෂා කෙරේ.
තවද, ඒ ආලෝකය තමා වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මය ය ඇතිව නැති වන හෙයින් අනිත්‍යය. උදය-ව්‍යය දෙකින් පෙළෙන හෙයින් දුක්ඛය. අනිකුදු උපක්ලේශයන් ද මෙසේ පරීක්ෂා කොට ඒ ඕභාසාදිය මාගේ නොවේ යයි ද, මම නොවෙම් යයි ද, මාගේ ආත්මය නොවේ යයි ද බලයි. මෙසේ බලන්නාවූ හෙතෙම ඕභාසාදියෙහි කම්පා නොවේ. තැති නොගනී. හෙතෙම ඒ සමතිස් වැදෑරුම් උපක්ලේශ ධර්ම, මාර්ගය නොවේ යයි ද, ඒ උපක්ලේශයෙන් මිදුණු, විදර්ශනා මාර්ගයට පිළිපන් විදර්ශනා ඥානයම මාර්ග යයි ද ව්‍යවස්ථා කෙරේ. මෙසේ මේ මගය, මේ නොමග යයි මාර්ගය ද, අමාර්ගය ද දැන සිටි නුවණ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි යයි කියනු ලැබේ.
මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියෙහි සිටි යෝගාවචර තෙම සත්‍යය තුනක් ව්‍යවස්ථා කරණ ලද්දේ වේ.
දිට්ඨි විශුද්ධියෙහි නාම-රූප ව්‍යවස්ථාපනය කිරීමෙන් පළමු කොට දුක්ඛ සත්‍යය ව්‍යවස්ථා කෙළේ වේ.
කඞ්ඛාවිතරණ විශුද්ධියෙහි ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් සමුදය සත්‍යය ව්‍යවස්ථා කෙළේ වේ.
මේ මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධියෙහි මනාව මාර්ගය ව්‍යවස්ථා කිරීමෙන් මාර්ග සත්‍යය ව්‍යවස්ථා කෙළේ වේ.
මේ ත්‍රිවිධ සත්‍යය ව්‍යවස්ථානය ලෞකික ඥාන වශයෙන් බව දත යුතු.