අරූප සප්තකය
“කලාපතො, යමකතො - ඛණතො, පටිපාටිතො
දිට්ඨිඋග්ඝාටතො මාන - සමුග්ඝාටනතො පි වා
නිකන්ති පරියාදානා - සත්තාරූප විපස්සනා.”
යනාදී වශයෙන් දක්වන ලද හෙයින් යෝගාවචර තෙම-
1. කලාප වශයෙන් ද, 2. යමක වශයෙන් ද, 3. ක්ෂණික වශයෙන් ද, 4. පරිපාටි වශයෙන් ද, 5. දිට්ඨිඋග්ඝාටන වශයෙන් ද, 6. මාන සමුග්ඝාටන වශයෙන් ද, 7. නිකන්ති පරියාදාන වශයෙන් දැයි සත් පරිද්දකින් විදර්ශනා කරන්නේ ය.
- කලාප වශයෙන් සම්මර්ශනය - යෝගාවචර භික්ෂු තෙම මේ කෙශය අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි සම්මර්ශනය කිරීමේ දී ඒ සිත හා සම්ප්‍රයුක්ත එස්ස, වෙදනා, සංඥා, චේතනා හා චිත්තය ද යන එස්ස පඤ්චක ධර්මයට අරූප කලාප යයි කියනු ලැබේ. මේ එස්ස පඤ්චමක ධර්මයෝ අනික් කලාපයකට නො පැමිණ කොටස් කොටස් ව විනාශව යෙති. එ හෙයින් අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි සම්මර්ශනය කෙරේ.
තවද, යට කියන ලද රූප සප්තකයෙහි වූ ආදාන නික්ඛෙපාදී රූප වෙන් වෙන් වශයෙන් ගෙන අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි සම්මර්ශනය කොට ඒ ත්රිලක්ෂණයට නැංවූ චිත්තය ද අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි අන් සිතකින් සම්මර්ශනය කරන කල්හි එය කලාප සම්මර්ශනය නම් වේ.
- යමක වශයෙන් සම්මර්ශනය - ආදානනික්ඛෙපාදී රූපයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සම්මර්ශනය කොට ඒ සම්මර්ශනය කළ චිත්තය ද අන් සිතකින් අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි සම්මර්ශනය කිරීමෙන් රූපාරූප යුගල වශයෙන් විදර්ශනා වැඩීම ද, යමක වශයෙන් සම්මර්ශනය කිරීම නම් වේ.
- ක්ෂණික වශයෙන් සම්මර්ශනය - ආදානනික්ඛෙපාදී රූපයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සම්මර්ශනය කොට ඒ විදර්ශනා කළ පළමු වන සිත ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සම්මර්ශනය කොට, ඒ සිත ද අනිත්‍යාදී වශයෙන් අන් සිතකින් සම්මර්ශනය කොට මෙසේ දෙවන තුන්වන, සතරවන සිත දැයි සිත් සතරක් සම්මර්ශනය කිරීම ක්ෂණික වශයෙන් සම්මර්ශනය කිරීම නම් වේ.
- පටිපාටි වශයෙන් සම්මර්ශනය - ආදානනික්ඛෙපාදී රූපයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි විදර්ශනා කොට ඒ විදර්ශනා චිත්තය දෙවන සිතකින් විදර්ශනා කොට මෙසේ පිළිවෙලින් දසවන චිත්තය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි එකොළොස් වන සිතින් සම්මර්ශනය කෙරේ. මෙසේ දසවන චිත්තය තෙක් විදර්ශනා වැඩීමෙන් රූප කර්මස්ථානය ද, අරූප කර්මස්ථානය ද ප්‍රගුණ වේ. මෙසේ සම්මර්ශනය කිරීම පටිපාටි වශයෙන් සම්මර්ශනය කිරීම නම් වේ. මෙසේ විදර්ශනා පිළිවෙලින් මුළු දවසම සම්මර්ශනය කිරීම ද යුතු ම ය.
- දිට්ඨි උග්ඝාටන වශයෙන් ද,
- මාන උග්ඝාටන වශයෙන් ද,
- නිකන්ති පරියාදාන වශයෙන් දැයි යන මේ තුනෙහි වෙන් වෙන් වූ සම්මර්ශනයක් නැත.
රූප සප්තකයෙහි රූප ද, අරූප සප්තකයෙහි අරූපය ද විදර්ශනා වඩා ඒ නාම - රූපයන්ගෙන් මත්තෙහි අනෙක් සත්ත්වයෙකු නො දක්නේ ය. එසේ සත්ත්වයෙකු නුදුටු තැන් පටන් සත්ත්ව සංඥාව උගුළු වන ලද්දේ වේ. සත්ත්ව සංඥාව බැහැර කළ සිතින් සංස්කාරයන් පරිග්‍රහ කරන්නා හට දිට්ඨිය නූපදී. දිට්ඨිය නූපදනා කල දිට්ඨිය උගුළු වන ලද්දී වේ.
දිට්ඨිය උද්ඝාටිත සිතින් සංස්කාරයන් සම්මර්ශනය කරන්නාහට මානය නූපදී. මානය නූපදනා කල මානය සමුද්ඝාටිත නම් වේ.
මානය සමුද්ඝාටිත සිතින් සංස්කාරයන් පරිග්‍රහ කරන්නාහට තෘෂ්ණාව නූපදී. තෘෂ්ණාව නූපදනා කල්හි නිකන්තිය හෙවත් සියුම් තෘෂ්ණාව ප්‍රහීණ වෙයි.
තවද, “මම විදර්ශනා කරමි. විදර්ශනාව මාගේය” යි මෙසේ සක්කායදිට්ඨියෙන් ගන්නවුන්ගේ ආත්ම දිට්ඨිය නො සිඳේ. සංස්කාරයෝම, සංස්කාරයන් විදර්ශනා කෙරෙති, අනිත්‍යාදී වශයෙන් විනිශ්චය කෙරෙති. පරිග්‍රහ කෙරෙති, පිරිසිඳිති යයි ගන්නහුට වනාහි දිට්ඨිය උග්ඝාටනය වේ.
“මම මනාව විදර්ශනා කරමි. මගේ විදර්ශනාව මැනවැ” යි ගන්නහුගේ මානය නො නැසේ. සංස්කාරයෝ සංස්කාරයන් විදර්ශනා කෙරෙති. සම්මර්ශනය කෙරෙති, විනිශ්චය කෙරෙති, පරිග්‍රහ කෙරෙති, පිරිසිඳිති යයි ගන්නහුගේ මානය සමුද්ඝාටනය වේ.
“මට විදර්ශනා කළ හැකිය” යි විදර්ශනාව ආශ්වාදනය කරන යෝගීහුගේ නිකන්ති නම් වූ සියුම් තෘෂ්ණාව ක්ෂය නොවේ. සංස්කාරයෝ ම සංස්කාරයන් විදර්ශනා කෙරෙති, සම්මර්ශනය කෙරෙති, විනිශ්චය කෙරෙති, පරිග්‍රහ කෙරෙති, පිරිසිඳිතියි ගන්නහුගේ සියුම් තෘෂ්ණාව ක්ෂය වේ.
මෙසේ සංස්කාරයන් අනාත්ම වශයෙන් දක්නහුගේ ආත්ම දිට්ඨිය සමුද්ඝාටනය වේ. අනිත්‍ය වශයෙන් දක්නහුගේ මානය සමුද්ඝාටනය වේ. දුක් වශයෙන් දක්නහුගේ නිකන්තිය දුරු වේ.
මේ නයින් රූපා - රූප කර්මස්ථානය පුහුණු වූ යෝගී තෙම අටළොස් මහා විදර්ශනායෙන් මෙහි දී පළමු කොට එක දේශයක් ප්‍රතිවෙධ කිරීමෙන් එයට ප්රතිපක්ෂ වූ ධර්ම විෂ්කම්භනය කෙරේ.
අටළොස් මහා විදර්ශනාවෝ නම්:-
- අනිච්චානුපස්සනාව - නිත්‍ය සංඥාව දුරු කෙරේ.
- දුක්ඛානුපස්සනාව - සුඛ සංඥාව දුරු කෙරේ.
- අනත්තානුපස්සනාව - ආත්ම සංඥාව දුරු කෙරේ.
- නිබ්බිදානුපස්සනාව - නන්දිය නම් වූ සප්‍රීතික තෘෂ්ණාව දුරු කෙරේ.
- විරාගානුපස්සනාව - රාගය දුරු කෙරේ.
- නිරොධානුපස්සනාව - සමුදය දුරු කෙරේ.
- පටිනිස්සග්ගානුපස්සනාව - ආදානය නම් වූ හව තෘෂ්ණාව දුරු කෙරේ.
- ඛයානුපස්සනාව - ඝන සංඥාව නම් වූ සන්තති, සමූහ, කෘත්‍ය, ආරම්මණ වශයෙන් එකත්ත්වයෙන් ගැනීම දුරු කෙරේ.
- වයානුපස්සනාව - සංස්කාරයන්ගේ රැස් කිරීම දුරු කෙරේ.
- විපරිණාමානුපස්සනාව - ධ්රැව සංඥාව නම් වූ ස්ථිර වශයෙන් ගැනීම දුරු කෙරේ.
- අනිමිත්තානුපස්සනාව - නිත්‍ය නිමිත්ත දුරු කෙරේ.
- අප්පණිහිතානුපස්සනාව - ප්‍රණිධිය නම් වූ සුඛ වශයෙන් ගැනීම දුරු කෙරේ.
- සුඤ්ඤතානුපස්සනාව - ආත්ම වශයෙන් අභි නිවෙශය දුරු කෙරේ.
- අධිපඤ්ඤාධම්මානුපස්සනාව - තෘෂ්ණා, දිට්ඨි වශයෙන් දැඩිව ගැනීම දුරු කෙරේ.
- යථාභූත ඤාණ දර්ශනය - සම්මොහාභිනිවෙශය දුරු කෙරේ.
- ආදීනවානුපස්සනාව - ආලය වශයෙන් දැඩිව ගැනීම දුරු කෙරේ.
- පටිසඞ්ඛානුපස්සනාව - අප්පටිසඞ්ඛය නම් වූ අවිද්‍යාව දුරු කෙරේ.
- විවට්ටානුපස්සනාව - කාමසංයොගාදි ක්ලේශ ප්‍රවෘත්තිය දුරු කෙරේ.
මේ අටළොස් මහා විදර්ශනාවන් අතුරෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණත්රය වශයෙන් සංස්කාරයන් දක්නා ලද හෙයින් යෝගාවචර තෙම අනිත්‍ය, දුක්ඛ, අනාත්මානු දර්ශනය ප්‍රතිවෙධ කරන ලද්දේ වෙයි.
අනිච්චානුපස්සනාව හා අනිමිත්තානු පස්සනාව ද සමානාර්ත්ථ ඇත්තේ වේ.
දුක්ඛානුපස්සනාව හා අප්පණිහිතානුපස්සනාව ද සමානාර්ත්ථ ඇත්තේ වේ.
අනත්තානුපස්සනාව හා සුඤ්ඤතානුපස්සනාව ද සමානාර්ත්ථ ඇත්තේ වේ.
එහෙයින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ අනුපස්සනාවන් සමෘද්ධ වූ කල්හි අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත යන ත්‍රිවිධ අනුපස්සනාවෝ ද ප්‍රතිවේධ කරන ලද්දේ වේ.
එසේ ම අධිපඤ්ඤාධම්මානුපස්සනාව සියලු විදර්ශනාවන්හි ඇති හෙයින් එය ද ප්‍රතිවේධ කරන ලද්දේ වේ.
යථාභූත ඤාණ දර්ශනය කඞ්ඛාවිතරණ විශුද්ධියෙහිම සංග්‍රහ කරන ලදී.
සෙසු නිබ්බිදානුපස්සනාදී දස විදර්ශනාවන් අතුරෙන් කිසිවක් එක දේශ මාත්‍රයෙන් ප්‍රතිවේධ කරන ලද්දේ වෙයි, කිසිවක් ප්‍රතිවේධ නො කරන ලද්දේ ද වෙයි.
තවද, අනිච්චානුපස්සනාව සිද්ධ කල්හි, නිරෝධානු- පස්සනා, ඛයානුපස්සනා, විපරිණාමානුපස්සනා යන ත්‍රිවිධ අනුපස්සනාවෝ ද එක දේශ වශයෙන් සිද්ධවෙති.
දුක්ඛානුපස්සනාව සිද්ධ කල්හි නිබ්බිදානුපස්සනාව හා ආදීනවානුපස්සනාව ද එක දේශ වශයෙන් සිද්ධවේ.
අනත්තානුපස්සනාව සිද්ධ කල්හි ඉතිරි අනුපස්සනාවෝ ද සිද්ධවූවාහු වෙත්.
මෙසේ රූපා-රූප කර්මස්ථාන ප්‍රගුණ කළ යෝගාවචර තෙම මතු භඞ්ගානුපස්සනාව පටන් ප්‍රහාණ පරිඥා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු අටළොස් මහා විදර්ශනාව පළමුව මෙහි ම එක දේශයක් ප්‍රතිවේධ කරමින් එයට ප්රතිපක්ෂ ධර්ම ද පහ කරන්නේ ය.
යෝගාවචර තෙම මෙසේ අනිච්චානුපස්සනාදියට ප්රතිපක්ෂ නිච්චසංඥාදිය පහ කිරීමෙන් විසුද්ධ ඥානය ඇතිව නොයෙක් ආකාරයෙන් කෙලෙසන සංස්කාරයන් පිළිබඳ ත්රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් සම්මසන ඥානයාගේ පරතෙරට ගොස් නය විදර්ශනා සඞ්ඛ්‍යාත කලාප සම්මර්ශන ඥානයට අනතුරුව “ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ විපරිණාමානුපස්සනාවෙහි පැවැති ප්‍රඥාව උදයව්යානු දර්ශනයෙහි ඥානය” යයි කියන ලද හෙයින් ඒ උදයව්යානු දර්ශනයට පැමිණීම පිණිස යෝග කිරීමට උත්සාහ කරන්නේ ය.
යෝගාවචර තෙම සංක්ෂෙප වශයෙන් මෙසේ මෙනෙහි කරන්නේ ය. උපන් රූපය පච්චුප්පන්නය. ඒ රූපයාගේ හටගැනීම් ලක්ෂණය උදය ය. පෙළීම් සඞ්ඛ්‍යාත විපරිණාම ලක්ෂණය ව්‍යය ය. අනුපස්සනාව ඤාණය ය.
මෙසේම උපන් සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණයෝ, පච්චුප්පන්නය, නිබ්බත්ති ලක්ෂණය උදය ය, විපරිණාම ලක්ෂණය ව්‍යය ය, අනුපස්සනාව ඤාණය ය.
හටගත් ද්වාදසායතනයෝ පච්චුප්පන්නය, නිබ්බත්ති ලක්ෂණය උදය ය, විපරිණාම ලක්ෂණය ව්‍යය ය, අනුපස්සනාව ඤාණය ය.
මෙසේ ම අටළොස් ධාතු, දෙවිසි ඉන්ද්රියයෝ පච්චුප්පන්නය. නිබ්බත්ති ලක්ෂණය උදය ය, විපරිණාම ලක්ෂණය ව්‍යය ය, අනුපස්සනාව ඤාණය ය.
ජාත වූ භවය පච්චුප්පන්නය, ඒ භවයා ගේ හටගැනීම් ලක්ෂණය උදය ය, විපරිණාම ලක්ෂණය ව්‍යය ය, අනුපස්සනාව ඤාණය ය.
නැවත ද, යෝගාවචර තෙම මෙසේ මෙනෙහි කරන්නේ ය. මේ නාම-රූප, උත්පත්තියෙන් පෙර, නූපන් නාමරූපයන් ගේ රැසෙක් හෝ පිඬුවූවෙක් හෝ නැත්තේ ය. උපදින්නා වූ නාම-රූපයන් ගේ රැසෙකින් හෝ පිඩකින් හෝ ඊමක් නැත්තේ ය. නිරුද්ධ වන්නාවූ නාම-රූපයන්ගේ ද දිසානුදිසාවන්ට යාමෙක් හෝ නැත්තේ ය. නිරුද්ධ වූ නාම-රූපයන්ගේ ද එක් තැනෙක රැස්වීමෙක් ද, පිඬු වශයෙන් හෝ නිධාන වශයෙන් හෝ පිහිටා සිටීමෙක් ද නැත්තේ ය.
වීණාව වයන කල්හි උපදනා ශබ්දය උපදින්නට පෙර රැස්වීමෙක් නැත්තේ ය. උපදනේ ද පිණ්ඩයකින් ආයේ නොවේ. නිරුද්ධ වන්නේ ද දිශානුදිසාවන්ට ගමනෙක් නැත්තේ ය. නිරුද්ධ වූයේ ද තැනෙක රැස්ව නො සිටී. එහෙත්, වීණාව ද, වාදක උපකරණ ද, ඒ පුරුෂයාගේ එයට සුදුසු ව්‍යායාමය ද නිසා පෙර නො වූ ශබ්දය හට ගනී. හටගෙන නස්නේ ය.
එ පරිද්දෙන් ම සියලු රූපා-රූප ධර්මයෝ පෙර නොවූවෝ ඇති වෙත්. ඇතිව විනාශ වෙත් යයි මෙසේ සංක්ෂෙපයෙන් උදය-ව්‍යය මෙනෙහි කොට නැවත මේ උදය-ව්‍යය ඥානයම පඤ්චස්කන්ධ වශයෙන් බෙදා “අවිජ්ජා සමුදයා රූප සමුදයො, තණ්හා සමුදයා රූප සමුදයො, කම්ම සමුදයා රූප සමුදයො, ආහාර සමුදයා රූප සමුදයො” යනාදී වශයෙන් අවිද්‍යාවගේ උත්පත්තියෙන් රූප ඉපදීම වේ තෘෂ්ණාවගේ ඉපදීමෙන් රූප ඉපදීම වේ. කර්ම සමුදයෙන් රූප සමුදය වේ. ආහාර සමුදයෙන් රූප සමුදය වේ යයි මෙසේ ප්‍රත්‍යයන්ගේ සමුදයාර්ථයෙන් රූපස්කන්ධයාගේ උදය බලයි. එහි නිබ්බත්ති ලක්ෂණය හෙවත් රූප කලින් නොතිබී අළුතෙන් ම උපදනා බැව් බලන්නේ ද, රූපස්කන්ධයාගේ සමුදය බලයි. මෙහි අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන ප්‍රත්‍යයෝ අතීත භවයෙහි දී පැවති හේතුහු ය. ආහාරය මේ භවයට අයිතිය. හුදෙක් ආහාරය පමණක් නොව සෘතු චිත්ත සමුට්ඨාන ද ගත යුතු වේ. එ හෙයින් චතුසමුට්ඨානික රූපයාගේ ප්‍රත්‍යය වශයෙන් උදය ය දක්වන ලද්දේ වෙයි.
ප්‍රත්‍යය නැති කල්හි රූපයාගේ අභාවය වන හෙයින් අර්හත් මාර්ග ඥානයෙන් අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධයෙන් අනාගත රූප නිරෝධය වේ. එසේම තෘෂ්ණා නිරෝධයෙන් ද කර්ම නිරෝධයෙන් ද, කබලිකාරාහාර නිරෝධයෙන් ද, අනාගත රූප නිරෝධය වේ. මෙසේ ප්‍රත්‍ය නිරෝධාර්ථයෙන් රූපස්කන්ධයාගේ ව්‍යය ය බලයි.
විපරිණාම ලක්ෂණය බැලීමෙන් ද රූපයාගේ ව්‍යය බලයි. රූපස්කන්ධයාගේ ව්‍යය බලන යෝගී තෙම මේ අවිද්‍යා, තණ්හා, කර්ම ආහාර නිරෝධයෙන් ද, විපරිණාම ලක්ෂණයෙන් දැයි මේ පස් ආකාරයෙන් බලයි.
එසේම “අවිද්‍යා සමුදයෙන් ද, තෘෂ්ණා සමුදයෙන් ද, කර්ම සමුදයෙන් ද, ඵස්ස සමුදයෙන් ද වේදනා සමුදය වේ යයි ප්‍රත්‍යය සමුදයාර්ථයෙන් වේදනාස්කන්ධයාගේ සමුදය බලයි. නිබ්බත්ති ලක්ෂණය බලන්නේ ද වේදනාවගේ උදය බලයි. මෙසේ වේදනාස්කන්ධයාගේ උදය බලන්නේ මේ පස් ලක්ෂණ බලයි.
අවිද්‍යා, තණ්හා, කර්ම, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ යයි මෙසේ ප්‍රත්‍යය නිරෝධයෙන් වේදනා ස්කන්ධයාගේ ව්‍යය දකී. විපරිණාම ලක්ෂණය ද බලන්නේ වේදනාස්කන්ධයාගේ ව්‍යය බලයි. මෙසේ වේදනාස්කන්ධයාගේ ව්‍යය බලන යෝගී තෙම මේ පස් ලකුණු බලයි.
එසේම “අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ සමුදයෙන් සංඥා සමුදය වන්නේ යයි, සංඥාවගේ නිබ්බත්ති ලක්ෂණය ද බලන්නේ ය. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය වන්නේ යයි සංඥාවගේ නිරෝධය ද විපරිණාම ලක්ෂණය ද බලන්නේ ය.
එසේම “අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ සමුදයෙන් සංස්කාර සමුදය ය වන්නේ ය. සංස්කාරයන්ගේ නිබ්බත්ති ලක්ෂණය ද, අවිද්‍යා, තණ්හා, කර්ම, ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වන්නේ යයි සංස්කාර නිරෝධ ලක්ෂණය ද, විපරිණාම ලක්ෂණය ද බලන්නේ ය.”
එසේම “අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාම-රූප සමුදයයෙන් විඥාන සමුදය ය වන්නේ යයි විඥානයාගේ සමුදය ය ද, නිබ්බත්ති ලක්ෂණය ද බලන්නේ ය. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය වන්නේ ය යි විඥානයාගේ නිරෝධය ද, විපරිණාම ලක්ෂණය ද බලන්නේ ය.
මෙසේ එක් එක් ස්කන්ධයෙහි උදය-ව්‍යය වශයෙන් දසය දසය බැගින් සමපනස් (50) ආකාරයෙන් උදය-ව්‍යය දක්වන ලද බව දත යුතු.
උත්පත්තික්‍ෂණයෙහි ම නිබ්බත්ති ලක්ෂණය ද, භඞ්ගක්ෂණයෙහි ම විපරිණාම ලක්ෂණය ද වන හෙයින් මෙසේ ප්‍රත්‍යය වශයෙන් ද, ක්ෂණ වශයෙන් ද, දෙපරිද්දෙකින් උදය-ව්‍යය බලන්නා වූ ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය දැකීමෙන් සමුදය සත්‍යය ප්‍රකට වේ. ස්කන්‍ධාදීන් උපද වන අවිද්‍යාදී ප්‍රත්‍යය අවබෝධ වන හෙයිනි.
ජාති දුක්ඛය අවබෝධ වන හෙයින් ක්ෂණ වශයෙන් උදය දර්ශනයෙන් දුක්ඛ සත්‍යය ප්‍රකට වේ.
ප්‍රත්‍යය ධර්මයන්ගේ අනුප්පාද නිරෝධයෙන් ප්‍රත්‍යයයෙන් උපදින ධර්මයන්ගේ අනුප්පාද නිරෝධය අවබෝධ වන හෙයින්, ප්‍රත්‍යය වශයෙන් ව්‍යය දර්ශනයෙන් නිරෝධ සත්‍යය ප්‍රකට වේ.
මරණ දුක අවබෝධ වන හෙයින් ක්ෂණ වශයෙන් ව්‍යය දර්ශනයෙන් දුක්ඛ සත්‍යය ප්‍රකට වේ.
මෙසේ උත්පත්ති වශයෙන් හා ක්ෂණ වශයෙන් උදයව්‍යය දැකීම වූ මේ ලෞකික සම්මාදිට්ඨිය, මාර්ගයයි, මාර්‍ගසත්‍යය ද ප්‍රකට වේ. ප්‍රදීපය තමාද ප්‍රකාශ කරන්නාසේ ආර්‍ය්‍ය මාර්ගය සම්මොහවිඝාතයෙන් නොහොත් මොහොන්ධකාරය නසමින් තමා ද ප්‍රකට වේ. තවද, ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් අනුලොම පටිච්ච සමුප්පාදය ප්‍රකට වේ. ක්ෂණ වශයෙන් උදය-ව්‍යය දර්ශනයෙන් සංස්කාර ලක්ෂණය අවබෝධ වන හෙයින් ප්රත්යසමුප්පන්න ධර්ම ප්‍රකට වේ.
හේතු-ඵල සම්බන්ධයෙන් සන්තානය නො සිඳ පවත්නා බව අවබෝධ වන හෙයින් උච්ඡේද දිට්ඨිය දුරු වේ. උත්පාද, ඨිති, භඞ්ග වශයෙන් අලුත් නාම-රූප ධර්මයන් ඉපදීම අවබෝධ වන හෙයින් ශාශ්වත දිට්ඨිය දුරු වේ. නාම-රූප ධර්මයන්ගේ තමා වශයෙහි නො පවත්නා බව අවබෝධ වන හෙයින් ආත්ම දිට්ඨිය දුරු වේ. ප්‍රත්‍යයට අනුරූප වශයෙන් ඵලයාගේ උත්පාදය අවබෝධ වන හෙයින් අකිරිය දිට්ඨිය දුරු වේ. සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිත බව හා ප්‍රත්‍යය පිළිබඳ පැවැතුම් ඇති බව අවබෝධ වන හෙයින් අනාත්ම ලක්ෂණය ප්‍රකට වේ. ඇති ව නැති වන බව අවබෝධ වන හෙයින් හා පූර්වාන්ත අපරාන්ත විවේකය අවබෝධ වන හෙයින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වේ. උදය-ව්‍යය දෙකින් නැවත නැවත පෙළෙන බව අවබෝධ වන හෙයින් දුක්ඛ ලක්ෂණය ප්‍රකට වේ. උදය-ව්‍යය දෙකින් පිරිසිඳින ලද බව අවබෝධ වන හෙයින් ස්වභාව ලක්ෂණය ද ප්‍රකට වේ. උදය ක්ෂණයෙහි ව්යයයාගේ ද, ව්‍යය ක්ෂණයෙහි උදයයාගේ ද අභාවය අවබෝධ වන හෙයින් පඨවි-ඵස්සාදී ස්වභාව ලක්ෂණයෙහි සඞ්ඛත ලක්ෂණයාගේ ද, තාවකාලික බව ද ප්‍රකට වේ.
මෙසේ ප්‍රකට වූ ඒ යෝගාවචරයාහට “පෙර නූපන්නාවූම ධර්මයෝ උපදිති. උපන් නාම-රූප ධර්මයෝ නිරුද්ධ වෙත්”යි යනාදී වශයෙන් නිත්‍යයෙන් ම අළුත්වූවන්ව ම සංස්කාරයෝ වැටහෙති. එය ද, නිත්‍යය නවක ධර්ම නොව හිරු උදාවන කල්හි තණ අග පිණි බිඳු මෙන් ද, දිය බුබුලක් මෙන් ද, දඬුයෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් ද, හිදි අග වැටුණු අබැටක් මෙන් ද, විදුලිය ගැසීමක් මෙන් ද, ස්වල්ප කලක් සිටින්නන්ව ද ඉන්ද්‍රජාල, මරීචි, ස්වප්න අලාත චක්‍ර, ගන්ධර්ව නගර, ඵෙණ, කදලි ආදියක් මෙන් ද අසාර වේ යයි ද වැටහෙති.
මෙපමණකින් මේ යෝගාවචරයා විසින්, “ව්‍යය ධර්ම වූයේ ම උපදී. උපන් නාම-රූප ධර්ම සමූහය විනාශයට පැමිණේ” යයි මේ ආකාරයෙන් සමපණස් (50) ලක්ෂණ ප්‍රතිවෙධ කොට පැවැති උදය-ව්යයානුපස්සනා නම් වූ පළමු වන තරුණ විදර්ශනා ඥානය ලබන ලද්දේ වේ. එ බැවින් ඒ යෝගීහට ආරබ්ධ විදර්ශකයා යයි කියනු ලැබේ.
කලාප සම්මර්ශනාදී වශයෙන් පැවැති සම්මර්ශන ඥානය නිෂ්පර්‍ය්‍යායයෙන් විදර්ශනා නම නො ලබයි. උදය-ව්‍යයානු දර්ශනාදී වශයෙන් පැවැති ඥානයම විදර්ශනා ඥාන නම ලබයි.