අරූප සම්මර්ශනය
මෙසේ චතුසමුට්ඨානික රූපයන්ගේ උත්පත්තිය දැක ඉක්බිතිව අරූප ධර්මයන්ගේ ද උත්පත්තිය දකිනු කැමැති වේ. එයද එක් අසූ (81) ලෞකික චිත්තයන්ගේ වශයෙන් බලන්නේ ය.
මෙහි නාම නම්:- පූර්ව භවයෙහි රැස් කරණ ලද කුසල-අකුසල කර්ම වශයෙන් නිපන් මහා විපාක අටය. මහග්ගත විපාක නවය ය, උපෙක්ඛාසහගත සන්තීරණ දෙක ය යන එකුන් විසි (19) විපාක සිත් ය. ප්රතිසන්ධියෙහි ඒ ඒ භව වශයෙන් උපදී.
ඒ එකුන් විසි චිත්තය ම, ප්රතිසන්ධි චිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාඞ්ග වශයෙන් ද, ආයු කෙළවර චුති වශයෙන් ද උපදී.
ඔවුන් අතුරෙන් කාමාවචර විපාක චිත්තය, චක්ෂුරාදි පඤ්චවාරයෙහි අතිමහන්තාලම්බනයෙහි ද, මනොවාරයෙහි විභූතාලම්බනයෙහි ද, මහාවිපාක අටය, සන්තීරණ තුන ය යන එකොළොස් චිත්තයන්ගෙන් එකක් තදාලම්බන වශයෙන් ද පවතී.
ප්රවෘත්ති කාලයෙහි චක්ෂු ප්‍රසාදයට රූපාලම්බන හමුවීමෙන් ද, ආලෝකය ඇසුරු කොට ගෙන පැවැති මනසිකාරය හේතු කොට ගෙන ද චක්ඛු විඤ්ඤාණ සිත සම්ප්‍රයුක්ත ධර්මයන් සමග උපදී.
උපදනා රූපයත්, නිරුද්ධ වන රූපයත් කිසිවකට ප්‍රත්‍යය නොවේ. ස්ථිතිප්‍රාප්ත චක්ෂු ප්‍රසාද රූපයෙහි ස්ථිතිප්රාප්තවූම රූපාලම්බනය ගැටේ. ඒ ගැටුණු කල භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡෙද වශයෙන් භවාඞ්ග චිත්තය දෙවරක් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව එම අරමුණෙහිම ක්‍රියා මනොධාතු නම් වූ පඤ්චද්වාරාවජ්ජන සිත ඒ රූපාලම්බනයෙහිම ආවජ්ජන කෘත්‍ය සිද්ධ කරමින් උපදී. එයට අනතුරුව එම රූපය ම අරමුණු කරමින් කුසල විපාක වූ හෝ අකුසල විපාක වූ හෝ චක්ඛු විඤ්ඤාණ චිත්තය ද, එයට අනතුරුව ඒ රූපය පිළිගනිමින් විපාක මනොධාතු නම් වූ සම්පටිච්ඡන චිත්තය උපදී. එයට අනතුරුව ඒ රූපය ම මනාකොට තීරණය කරමින් විපාක අහේතුක මනොවිඤ්ඤාණ ධාතුව නම් වූ සන්තීරණ චිත්තය ද, අනතුරුව එම රූපාලම්බනය ම විනිශ්චය කරමින් උපෙක්ඛාසහගත ක්‍රියා අහේතුක
මනොවිඤ්ඤාණ ධාතුව නම් වූ උපෙක්ඛාසහගත මනොද්වාරාවජ්ජන සිත ද උපදී. එයට අනතුරුව කාමාවචර කුසල, අකුසල ක්‍රියා චිත්තයන් අතුරෙන් එක් සිතක් මූර්ඡාකාල, මරණාසන්න කාලයන්හි පස්වරක් හෝ ප්‍රකෘති කාලයෙහි සත්වරක් හෝ ජවන වශයෙන් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව කාමාවචර සත්ත්වයනට යටකී එකොළොස් තදාරම්මණ චිත්තයන් අතුරෙන් ජවනයට සුදුසු සේ යම්කිසි චිත්තයක් තදාරම්මණ වශයෙන් උපදී. සෙසු ශ්රෝතද්වාරාදී සිව්ද්වාරයන්හි ද මේ ක්රමයම වේ.
මනොද්වාරයෙහි රූපා-රූප මහග්ගත චිත්ත ද උපදී.
මෙසේ ෂඩ්ද්වාරයන්හි චිත්ත ප්‍රවෘත්තිය දැක්ක යුතු. අරූප ධර්මයන් ගේ ඉපදීම බලන්නාවූ යෝගාවචර තෙම කලෙක අරූප සම්මර්ශනය කෙරේ. කලෙක රූප ද, කලෙක අරූප ද නුවණින් විමසා ත්රිලක්ෂණයට නගා උදය-ව්‍යය ඤාණානු ක්‍රමයෙන් පිළිපැද ප්‍රඥා භාවනාව සම්පාදනය කෙරේ.
අනෙක් යෝගාවචර කෙනෙක් රූප සප්තක අරූප සප්තක වශයෙන් ත්රිලක්ෂණයට නගා සංස්කාර ධර්මයන් සම්මර්ශනය කෙරේ.