භාවය
1. මින් මත්තෙහි සමථ විදර්ශනා භාවනාවන්ගේ දෙවැදෑරුම් කමටහන් පිළිවෙලින් කියන්නෙමි.
2. එහි සමථ සංග්රහයෙහි පළමු කොට දසකසිණයෝය, දස අසුභයෝය, දස අනුස්සතියෝය, සතර අප්රමාණ්යයෝය, එක්සඤ්ඤාවක්ය, එක්ව්යවස්ථානයක්ය, සතර ආරුප්යයෝයයි සප්ත ප්‍රකාරයකින් සමථ කර්මස්ථාන සංග්‍රහය දතයුතු.
3. රාග චරිතය, දොස චරිතය, මොහ චරිතය, සද්ධා චරිතය, බුද්ධි චරිතය, විතක්ක චරිතය, යයි සයාකාරයකින් චරිත සංග්‍රහය දතයුතු.
4. පරිකර්ම භාවනාය, උපචාර භාවනාය, අර්පණා භාවනා යයි භාවනාවෝ තිදෙනෙක.
5. පරිකර්ම නිමිත්තය, උග්ගහ නිමිත්තය, ප්‍රතිභාග නිමිත්තය යයි තුන් නිමිත්තයන් දතයුත්තාහුය. කෙසේද?
6. පඨවි කසිණය, ආපො කසිණය, තෙජො කසිණය, වායො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලොහිත කසිණය, ඕදාත කසිණය, ආකාස කසිණය, ආලොක කසිණය යන මොවුහු දස කසිණයෝ නම් වෙත්.
7. උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලොහිතකය, පුලවකය, අට්ඨිකය යන මොවුහු දස අසුභයෝ නම් වෙත්.
8. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සඞ්ඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දෙවතානුස්සතිය, උපසමානුස්සතිය, මරණානුස්සතිය, කායගතාසතිය, ආනාපාන සතිය යන මොවුහු දස අනුස්සතිහු නම් වෙත්.
9. මෛත්‍රිය, කරුණාය, මුදිතාය, උපේක්ෂාය යන මොවුහු සතරදෙන අප්රමාණ්යයෝ නම් වෙත්. බ්‍රහ්ම විහාරයෝ යයි ද කියනු ලැබෙත්.
10. ආහාරයෙහි පිළිකූල් යයි පවත්නා සංඥාව එකම සංඥා නම් වේ.
11. සතර ධාතු ව්‍යවස්ථානය එකම ව්‍යවස්ථාන නම් වේ.
12. ආකාසානඤ්චායතනාදී සතර ධ්‍යානයෝ ආරුප්යයෝ නම් වෙත්. මෙසේ සර්වප්රකාරයෙන් සමථ කර්මස්ථාන නිර්දේශයෙහි සතළිස් කර්මස්ථානයෝ වෙත්.
13. චරිතයන් අතුරෙන් දස අසුභයෝ ද කායගතාසති නම් වූ කොට්ඨාස භාවනාවද රාගචරිතයාහට සුදුසු වෙත්.
14. සතර අප්රමාණ්යයන්ද, නීලාදී සතර කසිණයන්ද ද්වෙෂ චරිතයාහටද,
15. ආනාපානසතිය මොහ චරිතයාහටද, විතර්ක චරිතයාහටද,
16. බුද්ධානුස්සති ආදී සය ශ්‍රද්ධා චරිතයාහටද,
17. මරණානුස්සතිය, උපසමානුස්සතිය, ආහාරෙ පටික්කූලසඤ්ඤාය, චතුධාතු වවත්ථානය යන මොවුහු බුද්ධි චරිතයාහටද,
18. සෙසු සියළු කර්මස්ථානයෝ සියල්ලන්ටමද සුදුසු වෙත්. එහිදූ කසිණයන් අතුරෙන් මහත් වූ කසිණ මෝහ චරිතයාහටද, කුඩා වූ කසිණ විතර්ක චරිතයාහටද සුදුසු වෙත්.