අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෙය මෙහි පුද්ගල භේදයයි

73. මෙහි සමාපත්ති වීථිහු සියලුම ආර්‍ය්‍යයන්හට තම තමන්ට අයත් ඵල වශයෙන් සාධාරණම වෙත්.

74. නිරොධ සමාපත්තියට සමවැදීම වනාහි අනාගාමීන්ටද රහතන්ටද ලැබේ. එහිදී පිළිවෙලින් ප්‍රථම ධ්‍යානාදි මහද්ගත සමාපත්තින්ට සමවැද එයින් නැගිට එහි ඇතුළත් සංස්කාරධර්‍මයන් ඒ ඒ සමාපත්තියෙන් නැගී සිටි කෙණෙහිම විදර්‍ශනා වශයෙන් බලමින් ආකිඤ්චඤ්ඤායතනය දක්වා ගොස්, ඉන්පසු අධිෂ්ඨානාදී පූර්‍වකෘත්‍යය කොට නේවසඤ්ඤානා සඤ්ඤායතන සමාපත්තියට සමවදී එහි අර්‍පණාජවන දෙකකින් පසුව චිත්තසන්තතිය සිඳෙයි. එහෙයින් නිරෝධයට සමවැදුනේ නම් වෙයි.

75. ඒ සමවතින් නැගිටින කල්හි අනාගාමිහට අනාගාමි ඵල සිතද, රහත්හට රහත් ඵල සිතද එක්වරක්ම ඉපිද භවඞ්ගපාතය වෙයි. ඉන්පසු ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය පවත්නේය.

මෙය මෙහි සමාපත්ති භේදයයි

විදර්‍ශනා කර්‍මස්ථාන නය නිමි.

76. ශාසනයෙහි ප්‍රතිපත්ති රසාස්වාදය ප්‍රාර්‍ත්‍ථනා කරන්නහු විසින් මෙසේ කියනලද නයින් උතුම්වූ භාවනාව වැඩිය යුතු.

මෙසේ අභිධර්‍මාර්‍ත්‍ථ සංග්‍රහයෙහි කර්‍මස්ථාන සංග්‍රහ විභාග නම් වූ නවම පරිච්ඡේදය නිමි.

77. චාරිත්‍රයෙන් හෙබියාවූ, උසස් කුලයක උපන් ශ්‍රද්ධාවෙන් වැඩුනු පිරිසිදු සීලාදි ගුණධර්‍මයන්ට උත්පත්ති ස්ථානයක්වූ නම්බ නමැති උපාසක තැන විසින් පරානුග්‍රහය සළකා යම් ප්‍රකරණයක් කළමැනවැයි ආරාධිතද එය නිමවන ලදි.

78. ඒ විපුල වූ පුණ්‍යස්කන්‍ධය කරණකොට ගෙන හිතැතියන්හට නිවාසස්ථාන වූ ප්‍රසිද්ධ වූ මූලසෝම විහාරය ප්‍රඥායෙන් පිරිසිදු වූ, ගුණධර්‍මයෙන් සෝභන වූ, ලජ්ජී භික්‍ෂූහු පුණ්‍ය සම්පත්තියගේ අභිවෘද්ධිය පිණිස සතිසම්පජඤ්ඤයෙන් යුක්තව සිතත්වා.

අනුරුද්ධාචාර්‍ය්‍යයන් විසින් රචිත අභිධර්‍මාර්‍ත්‍ථ සංග්‍රහ නම් වූ ප්‍රකරණය මෙතෙකින් සමාප්තයි.