මෙය මෙහි භාවනා භේදයයි.
27. නිමිත්තයන් අතුරෙන් පරිකර්ම නිමිත්තද උග්ගහ නිමිත්තද සියලු කමටහන්හිම සුදුසු පරිදි පරියාය වශයෙන් ලැබේ.
28. පටිභාග නිමිත්ත වනාහි දස කසිණය, දස අසුභය, කේසාදී කොට්ඨාසය, ආනාපාන සතිය යන මෙහිම ලැබේ. එහි ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට උපචාර සමාධිය හා අර්පණා සමාධියද පවතිත්.
29. කෙසේද පඨවි කසිණාදීන්හි අරමුණු ගන්නාවූ ආදිකම්මිකයාහට, ඒ අරමුණ පරිකර්ම නිමිත්ත යයි කියනු ලැබේ. එය අරමුණු කොට ඇති භාවනා චිත්තයද පරිකර්ම භාවනා නම් වේ.
30. යම් කලෙක එම අරමුණ සිතින් මනා කොට ගන්නා ලද්දේ වෙයිද, ඇසින් බලන්නෙකුට මෙන් මනො ද්වාරයට වැටහෙයිද, එකල්හි එම අරමුණ උග්ගහනිමිත්ත නම් වේ. ඒ භාවනාවද සිත එකඟ කරයි.
31. එසේ එකඟ වූ සිත් ඇති ඔහුට ඒ උග්ගහ නිමිත්තයෙහි පරිකර්ම සමාධියෙන් භාවනායෙහි යෙදෙන කල්හි යම් විටෙක ඒ හා සමාන වූ වස්තු ධර්මයෙන් තොරවූ ප්රඥප්ති සඞ්ඛ්‍යාත අරමුණක් සිතෙහි පිහිටියේ වෙයිද, එවිට ඒ ප්‍රතිභාග නිමිත්ත උපන්නේයයි කියනු ලැබේ.
32. එතැන් පටන් නීවරණයන්ගෙන් තොරවූ කාමාවචර සමාධි සඞ්ඛ්‍යාත උපචාර භාවනාව නිපන්නී නම් වෙයි.
33. ඉන්පසු ඒ ප්‍රතිභාග නිමිත්ත උපචාර සමාධියෙන් මනාව සේවනය කරන කල්හි රූපාවචර ප්‍රථම ධ්‍යානය උපදී.
34. ඉන්පසු එම ප්‍රථම ධ්‍යානය ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යන මේ පඤ්චවශිතායෙන් වශීභූතකොට විතර්කාදී ඖදාරික අඞ්ගයන්ගේ ප්රහාණය පිණිස, විචාරාදී සුඛුම අඞ්ගයන්ගේ උත්පාදය පිණිස ව්‍යායාම කරන කල්හි පිළිවෙලින් ද්විතීය ධ්යානාදීහු සුදුසු පරිදි උපදිත්
35. මෙසේ පඨවි කසිණාදී වූ දෙවිසි කර්මස්ථානයන්හි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේය
36. අවශේෂ කර්මස්ථානයන් අතුරෙන් අප්රමාණ්යයෝ සත්ත්ව ප්‍රඥප්තියෙහි පවතිත්.
37. ආකාස කසිණය හැර ඉතිරි කසිණයන් අතුරෙන් යම්කිසි කසිණයක් උගුළුවා ලැබූ ආකාස ප්රඥප්තිය අරමුණු කොට අනන්ත වශයෙන් පරිකර්ම කරන්නාහට ප්‍රථම අරූපධ්‍යානය ලැබේ.
38. ඒ ප්‍රථම අරූප විඤ්ඤාණය අරමුණුකොට අනන්ත වශයෙන් පරිකර්ම කරන්නහුට දෙවෙනි අරූප ධ්‍යානය ලැබේ.
39. ඒ ප්රථමාරූප්ප විඤ්ඤාණයාගේ අභාවයම වූ නාස්ති භාව ප්රඥප්තිය කිසිවක් නැතැයි පරිකර්ම කරන්නහුට තුන්වැනි අරූප ධ්‍යානය ලැබේ.
40. තුන්වන අරූප විඤ්ඤාණය ශාන්තය ප්‍රණීතය යයි පරිකර්ම කරන්නහුට සතරවැනි අරූප ධ්‍යානය උපදී.
41. සෙසු දස කමටහන් අතුරෙන් බුදුගුණ ආදී අරමුණු ගෙන පරිකර්ම කොට, ඒ අරමුණු මනාසේ ගත් කල්හි එහිම පරිකර්ම භාවනාවද පිහිටයි. උපචාර භාවනාවද සම්පාදනය වෙයි.
42. අභිඥා වශයෙන් පවත්නා රූපාවචර පඤ්චම ධ්‍යානය වනාහි අභිඥාපාදක පඤ්චමධ්‍යානයෙන් නැගිට අධිෂ්ඨාන කළයුතු අරමුණු ආදිය මෙනෙහි කොට පරිකර්ම කරන්නහුට රූපාදී ආරම්මණයන්හි සුදුසු පරිදි පිහිටන්නේය.
43. අභිඥාවෝ නම්:- ඉද්ධිවිධය, දිබ්බසොතය, පරචිත්ත විජානනය, පුබ්බෙනිවාසානුස්සතිය, දිබ්බචක්ඛු යයි පඤ්ච විධ වේ.
මෙය මෙහි ගොචර භේදයයි.
44. විදර්ශනා කර්මස්ථානයෙහි වනාහි සීලවිසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කඞ්ඛාවිතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය, පටිපදාඤාණදස්සන විසුද්ධිය, ඤාණදස්සන විසුද්ධිය යයි සප්තප්රකාරයකින් විසුද්ධි සඞ්ග්‍රහය වේ.
45. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යයි ලක්ෂණයෝ තිදෙනෙකි.
46. අනිච්චානුපස්සනාය, දුක්ඛානුපස්සනාය, අනත්තානුපස්සනායයි අනුපස්සනාවෝ තිදෙනෙකි.
47. සම්මසන ඤාණය, උදයව්‍යය ඤාණය, භඞ්ග ඤාණය, භය ඤාණය, ආදීනව ඤාණය, නිබ්බිදා ඤාණය, මුඤ්චිතුකම්යතා ඤාණය, පටිසඞ්ඛා ඤාණය, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය, අනුලොම ඤාණය යයි විපස්සනා ඤාණයෝ දස දෙනෙකි.
48. සුඤ්ඤත විමොක්ඛය, අනිමිත්ත විමොක්ඛය, අප්පණිහිත විමොක්ඛය යයි විමොක්ඛයෝ තිදෙනෙකි.
49. සුඤ්ඤතානුපස්සනාය, අනිමිත්තානුපස්සනාය, අප්පණිහිතානුපස්සනායයි විමොක්ඛ මුඛයෝ තිදෙනෙක්ද දතයුත්තාහ.
50. කෙසේ ද? පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්රිය සංවර සීලය ආජීවපාරිසුද්ධි සීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය යන චතුපාරිසුද්ධි සීලය සීලවිසුද්ධි නම් වේ.
51. උපචාර සමාධිය, අර්පණා සමාධිය යන දුවිධ සමාධිය චිත්තවිසුද්ධිය නම් වේ.
52. ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් නාමරූප පරිග්‍රහය දිට්ඨිවිසුද්ධි නම් වේ.
53. ඒ නාමරූපයන්ගේම ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නා ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය නම් වේ.
54. ඉන්පසු එසේ පිරිසිඳ දැනගත්, ප්‍රත්‍යය සහිත වූ අතීතාදී වශයෙන් භෙද භින්න වූ ත්‍රෛභූමික සංස්කාරයන්හි සකන්ධාදී නය අරභයා කලාප වශයෙන් පිඬු කොට ක්ෂය වන හෙයින් අනිත්‍යය. භයට කාරණා හෙයින් දුක්ඛය, අසාර හෙයින් අනාත්මය යයි කාල වශයෙන් හෝ සන්තති වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ සම්මර්ශන ඤාණයෙන් ලක්ෂණත්රය සම්මර්ශනය කරණ කල්හි එහිම ප්‍රත්‍යය වශයෙන්ද ක්ෂණ වශයෙන්ද උදයව්‍යය ඤාණයෙන් ඇතිවීම නැතිවීම අනුව බලන්නාහට ඕභාසය, ප්‍රීතිය, පස්සද්ධිය, අධිමොක්ඛය, වීර්‍ය්‍යය, සුඛය, ඤාණය, සිහිය, උපෙක්ෂාව, නිකන්තිය යන මේ විදර්ශනොපක්ලේශ නම් වූ සතුරන් පිරිසිඳ දැන ගැනීම් වශයෙන් මාර්ග අමාර්ග ලක්ෂණ බෙදා දත හැකි ඤාණය මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි නම් වේ.
55. එසේ සතුරු උවදුරින් මිදුනා වූ ඔහුට උදයව්‍යය ඤාණයෙහි පටන් අනුලොම ඤාණය දක්වා ත්රිලක්ෂණයෙහි විදර්ශනා ඤාණ පරම්පරායෙන් පිළිපදින කල්හි උපදින නවවිදර්ශනා ඤාණයෝ පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.
56. මෙසේ පිළිපදින්නහුගේ විදර්ශනා ඤාණය මිහි කිරීමට පැමිණ, දැන්ම අර්පණාව උපදින්නේ යයි කිවයුතු අවස්ථාවට පැමිණි කල්හි භවඞ්ගය බිඳී උපන් මනොද්වාරාවජ්ජනයට අනතුරුව දෙතුන් විදර්ශනා චිත්තයෝ යම්කිසි අනිත්‍යාදී ලක්ෂණයක් අරමුණු කොට පරිකර්ම, උපචාර, අනුලොම, නාමයෙන් පවතිත්. මස්තකයට පැමිණියාවූ අනුලොම ඤාණය සහිත වූ ඒ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය වුට්ඨාන ගාමිනි විපස්සනා යයි කියනු ලැබේ.
57. ඉන්පසු ගොත්‍රභු චිත්තය නිවන අරමුණු කොට පෘථග්ජන ගොත්‍රය මඩිමින් ආර්ය්යගොත්රයට පමුණුවමින් උපදී.
58. එයට අනතුරුව මාර්ගය, දුක්ඛසත්‍යය පිරිසිඳ දැන ගනිමින්, සමුදය සත්‍යය පහකරමින්, නිරොධ සත්‍යය ප්රත්යක්ෂ කරමින්, මාර්ගය සත්‍යය වැඩීමෙන් අර්පණා වීථියට බැසගනී. ඉන්පසු ඵලසිත් දෙකක් තුනක් ඉපද භවඞ්ග පාතයවෙයි.
59. නැවත භවඞ්ගය සිඳීගොස් ප්රත්යවේක්ෂා ඥානයෝ උපදිත්. ආර්‍ය්‍යඵලයට පැමිණි පණ්ඩිත තෙම මාර්ගයද, ඵලයද, නිර්වාණයද ප්රත්යවේක්ෂා කරයි ප්‍රහීණ ක්ලේශයන් හා අප්‍රහීණ ක්ලේශයන් ප්රත්යවේක්ෂා කරන්නේ හෝ නොකරන්නේ හෝ වෙයි
60. මෙසේ ෂඩ් විසුද්ධින්ගේ අනුක්රමයෙන් වැඩිය යුතුවූ සොතාපත්ති ආදී සිව්වැදෑරුම් මාර්ගය ඤාණ දස්සන විසුද්ධි නම් වන්නේයයි කියන ලදි.