අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පටිච්චසමුප්පාදය

ප්‍රත්‍යය ධර්‍ම ඇති කල්හි ප්‍රත්‍යයොත්පන්න ධර්‍ම ඇති වන්නාවූ ආකාර මාත්‍රය දැක්වීම සඳහා මේ පටිච්චසමුප්පාද ධර්‍මය දෙශනා කරන ලදී. ඒ ඒ ධර්‍ම හටගැනීමට, පැවැත්මට උපකාරවන ධර්‍මයන්ට ප්‍රත්‍ය ධර්‍මයෝ යයි ද, ඒ ප්‍රත්‍යය ධර්‍මයෙන් හටගත් ධර්‍මයන්ට ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ යයි ද කියනු ලැබේ. සංඛත ධර්‍ම, සංඛාර ධර්‍ම යන නම් වලින් හැඳින්වෙන්නේත් මේ ප්‍රත්‍යයොත්පන්න ධර්‍මයෝ මැයි. මේ පටිච්චසමුප්පාද දෙශනාවෙන් ඵලය උපදවන හේතුව සඞ්ඛ්‍යාත පටිච්චසමුප්පාදය ද, ඵලය සඞ්ඛ්‍යාත පටිච්ච සමුප්පන්නයද යන හේතු ඵල ධර්‍මයන් දක්වන ලද බව දතයුතු. සියලුම සඞ්ඛත ධර්‍මයෝ ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්‍මයෝ යි. එනම්: චිත්ත චෛතසික රූප ධර්‍මයෝයි. ප්‍රත්‍යයෙන් හට නොගත් නිර්‍වාණ ධර්‍මයට අසඞ්ඛත ධර්‍ම යයි කියති. තවද එක් ධර්‍මයක් අන්‍ය ධර්‍මයකට ප්‍රත්‍යවීම නොයෙක් ආකාරයෙන් සිදු වන්නේය. එසේ ප්‍රත්‍යවන ආකාර සූවිස්සකි (24). ඒ සූවිසි ප්‍රත්‍යයන් පිළිබඳ විභාගය පට්ඨාන දෙශනා නමින් හඳුන්වනු ලැබේ.

අවිජ්ජා පච්චයා සඞ්ඛාරා

සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං

විඤ්ඤාණ පච්චයා නාම රූපං

නාමරූප පච්චයා සළායතනං

සළායතන පච්චයා ඵස්සො

ඵස්ස පච්චයා වෙදනා

වෙදනා පච්චයා තණ්හා

තණ්හා පච්චයා උපාදානං

උපාදාන පච්චයා භවො

භව පච්චයා ජාති

ජාති පච්චයා ජරා මරණං සොකපරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.

එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

මෙය පටිච්ච සමුප්පාද දේශනා පාඨය යි.

ඉතා ගම්භීරවූ මේ පටිච්ච සමුප්පාද ධර්‍මය පිළිබඳ අවබෝධයක් ඇතිකරගනු කැමැත්තන් විසින් එය-

  1. දේශනා භේදයෙන් ද,
  2. අර්ථ වශයෙන් ද,
  3. ලක්‍ෂණාදි වශයෙන් ද,
  4. එකවිධාදි වශයෙන් ද,
  5. අඞ්ග පිරිසිඳීම් වශයෙන් ද, විනිශ්චය දතයුතුයි.