අඞ්ගපිරිසිඳීම් වශයෙන් විනිශ්චය:
මේ පටිච්ච සමුප්පාද දේශනයෙහි සොකාදීහු භවචක්රයාගේ නොසිඳ පැවැත්ම දැක්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.
ජරා මරණයන් විසින් මඩනාලද අඥාන බාලයා හට ඒ සොකාදීහු හටගනිති. දේශනාවෙහි සඳහන් වන පරිදි පටිච්ච සමුප්පාදය අසා දැනුම් ඉගෙනුම් නැත්තාවූ පෘථග්ජන තෙම කායිකවූ දුක්ඛ වෙදනාවෙන් පෙළෙන ලදුයේම නොහොත් පහස්නා ලදුයේම සොක කරයි, කලාන්ත වෙයි. විලාප ගසා හඬයි, ළෙහි අත්ගසා කඳුළු හෙළා හඬයි, වැඩියක් සිහි මුළා බවට පැමිණෙයි. යම්තාක් කල් ඒ සොකාදීන්ගේ පැවත්ම ඇද්ද ඒතාක් කල් අවිද්‍යාවගේ පැවැත්මද වේ. එහෙයින් නැවතත් අවිද්‍යා සඞ්ඛ්‍යාත ප්‍රත්‍යය හේතුකොටගෙන හෙවත් අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ හටගනිත්. මෙසේ හෙයින් භව චක්‍රයාගේ පිළිවෙල නොසිඳ ගැළපීම වේ. එසේ පිළිවෙල නොසිඳ ගැළපීම වන හෙයින් ඒ සොකාදීන්ගේද ජරාමරණ හා සමඟම නොහොත් ජරාමරණයන්ම එක් සංක්ෂෙපයක්හු කොට පටිච්ච සමුප්පාදාඞ්ගයෝ දොළොස් දෙනෙක්ම වෙති. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණයද සොකාදීහුද හටගනිති. ජරාමරණ සොකාදීන් අතුරෙන් ජරාමරණාඞ්ගය ඒකාන්තික භාවයෙන්ම ගැණෙනු ලැබේ. සොකාදීහු වනාහි රූප භවාදීන්හි අවිද්‍යමාන බැවින් අනෙකාන්තිකවූවාහු, හුදු ප්‍රකට ඵල වශයෙන් අවිද්‍යාව ගෙනහැර පෑම පිණිස ගන්නාලදය. අවිද්යානිදර්ශනයෙන්, ජාතිය ඇති කල්හි අනාගත ද්විතීයාත්ම භාවයෙන් ඔබ්බෙහි තෘතීයාත්ම භාවාදීන්ගේ ප්රතිසන්ධියගේ කාරණයට කාරණභූත අවිද්‍යාව දක්වන ලදි. එයින් භව චක්‍රයාගේ නොසිඳ පැවැත්ම දක්වන ලද්දේ වේ.