1. දේශනා භේදයෙන් විනිශ්චය මෙසේ යි.
පටිච්ච සමුප්පාද දේශනා තොමෝ චතුර්විධ වේ. වැල් අදනා පුරුෂයන් සතර දෙනෙකුන්ගේ වැල් ඇඳිම මෙන් භාග්‍යවතුන් වහන්සේ ද මේ පටිච්චසමුප්පාද දේශනාව සතර ආකාරයකින් දේශනා කළ සේක. එනම්:-
- මුල පටන් අග දක්වා ද,
- මැද පටන් අග දක්වා ද,
- අග පටන් මුල දක්වා ද,
- මැද පටන් මුල දක්වා ද කියායි.
- වැල් හරණාවූ පුද්ගලයන් සතරදෙනෙකු අතුරෙන් එක් පුරුෂයෙක් වැලෙහි මුලම පළමුකොට දැක ඒ වැල මුලින් සිඳ මුළු වැලම කඩාගෙන ගොස් අදහස් කළ කටයුත්තෙහි යම්සේ යොදවාද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ අවිජ්ජා පච්චයා සඞ්ඛාරා ආදී වශයෙන් මුල පටන් අග දක්වා ද පටිච්චසමුප්පාදය වදාරන සේක.
කම්මවට්ට, විපාකවට්ට, කිලෙසවට්ට යන්ගේ මුල කාරණය වන බැවින්ද, අවිද්‍යා තොමෝ ප්‍රතීත්‍ය සමුප්පාදයාගේ මුල කාරණය යයි ගන්නාලදි. වැලේ මුල දුටු කල්හි එතැන් පටන් වැල කපා ගන්නාක් මෙන් පටිච්ච සමුප්පාදයාගේද මුල දුටු කල්හි එතැන් පටන් පටිච්ච සමුප්පාද දේශනාව වේ යයි උපමා සංසන්දනය නොකළ යුතු. වෛනෙය ජනයන්ගේ අදහස් වශයෙන් හෝ අවබෝධ කරවිය යුතු බැවින් වැලේ මුල, මැද, අග දැක්ම මෙන් පටිච්චසමුප්පාදයාගේ මුල මැද අග සාමාන්‍ය දර්ශනයෙකි. මෙය දේශනා විලාසයකි.
- වැල් හරණාවූ පුරුෂයන් අතුරෙන් එක් පුරුෂයෙක් වැලෙහි මැද පළමුකොට දක්නේද, හෙතෙම වැල මැදින් සිඳ මත්තෙහිවූ කොටසම හැරගෙන කැමැති කටයුත්තෙහි යම්සේ යොදවාද, එපරිද්දෙන්ම වේදනාව අතිශයින් කැමැති වන්නාවූ “අහෝ සුඛං, අහෝ සුඛං” යනාදි වශයෙන් කීමට පැමිණියාවූ බලවත් තෘෂ්ණාවෙන් මමය මාගේ යයි කියන්නාවූ බලවත්වූ තෘෂ්ණාවෙහි පිහිටියාවූ ඒ පුද්ගලයාහට එයටත් වඩා බලවත් වූ උපාදාන නම් වූ තෘෂ්ණාව උපදී. වේදනාවන්හි යම් බලවත් තෘෂ්ණාවක් උපදිද, එය උපාදාන නමි. ඒ පුද්ගලයා හට උපාදාන ප්‍රත්‍යයෙන් භවය හටගනී. භව ප්‍රත්‍යයෙන් නාමරූප ධර්මයන්ගේ ජාතිය ද හටගනී. මෙසේ මැද පටන් අවසානය දක්වාත් මේ ධර්මය දේශනා කරණ සේක.
- වැල් හරණාවූ පුරුෂයන් අතුරෙන් එක් පුරුෂයෙක් වැලෙහි අග පළමුකොට දකීද, ඒ පුරුෂතෙම අග පටන් මුල දක්වා මුළු වැල ගෙන යම්සේ කටයුත්තෙහි යොදවාද එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ජාති ප්‍රත්‍යයයෙන් ජරා, මරණය වෙයි, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි යනාදී වශයෙන් අග සිට මුල දක්වාත් පටිච්ච සමුප්පාදය වදාරන සේක.
4. එක් පුරුෂයෙක් වැලෙහි මැදම පළමුකොට දක්නේද, හෙතෙම වැලෙහි මැද සිට මුල දක්වා කඩාගෙන යම් සේ කැමැති පරිද්දෙන් කටයුත්තෙහි යොදවාද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මේ සතර ආහාරයෝ, එනම්: කබලිකාරාහාරය, ඵස්සාහාරය, මනෝසඤ්චේතනානාහාරය, විඤ්ඤාණාහාරය, තෘෂ්ණාව නිදානකොට ඇත්තාහ. තෘෂ්ණාව හේතුකොට ඇත්තාහ. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහ, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තාහ, තෘෂ්ණාතොමෝ වෙදනාව නිදානකොට ඇත්තීය යනාදී වශයෙන් මැද පටන් මුල දක්වා මේ ධර්මය වදාරන සේක.
තවද, මුල පටන් අග දක්වා වදාළ අනුලොම දේශනාව සංස්කාර ධර්මයන්ගේ ප්‍රවෘත්තියට කාරණවූ අවිද්‍යාදී විශේෂයෙන් අතිශයින් මුළාවූ විනෙය ජනයා නුවණැසින් බලා වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තම තමන්ගේ ඵලානුරූපවූ කරුණු වලින් වෘත්ත දුක්ඛයාගේ පැවැත්ම මනාකොට දැක්වීම පිණිසද වෘත්තදුක්ඛය උපදනා පිළිවෙල දැක්වීම පිණිසද පවත්වනලද යයි දතයුතු.
අග පටන් මුල දක්වා වදාළ පටිලොම දේශනාව, මේ සත්ත්ව ලෝකය ඒකාන්තයෙන්ම දුක්ඛයට පැමිණියේව, පිළිසිඳ ගන්නා පිළිසිඳ ගනී හෙවත් උපදින්නා උපදී. දිරන්නා දිරයි, මිය යන්නා මැරෙයි මේ ආදී වශයෙන් දුකට පැමිණියාවූ සත්ත්ව ලෝකයා මහා කුළුණු නුවණැසින් දක්නාවූ තථාගතයන් වහන්සේ පූර්වභාග ප්රතිවේධානුසාරයෙන් ජරා මරණ මුල්කොට ඇති ඒ ඒ වෘත්ත දුක්ඛයාගේ තමා විසින් අවබෝධ කළාවූ කරුණු මොනවට දැක්වීම පිණිස පවත්වන ලදී.
මැද පටන් මූල දක්වා දේශනාව, විපාක වෘත්ත වශයෙන් සංක්ෂිප්තවූ අනාගතාහාරයන්ගේ නොහොත් කර්‍මවෘත්ත වශයෙන් සංක්ෂිප්තවූ ප්රත්යුත්පන්නාහාරයන්ගේ කරුණු පිරිසිඳ දැනීම් අනුව යාමෙන් අතීත ධ්වය තාක් ගෙනහැර දක්වා නැවත අතීතාධ්වය පටන්ගෙන හේතු ඵල ධර්මයන්ගේ පිළිවෙල මොනවාට දැක්වීම පිණිස පවත්වන ලදී.
මැද පටන් අවසානය දක්වා දේශනාව ප්රත්යුත්පන්නවූ අධ්වයෙහි අනාගත භවයට හේතුවූ තණ්හා, උපාදාන, කර්ම භව, අවිද්‍යා, සංඛාර ධර්මයන්ගේ හටගැන්මෙහි පටන් ගෙන අනාගතාධ්වය මොනවට දැක්වීම පිණිස පවත්වන ලදී.
මේ පටිච්ච සමුප්පාද දේශනායෙහි අවිද්‍යාව පළමුකොට දක්වන ලද්දේ, හේතුවෙන් තොරව වේයයි ලබ්ධි ඇත්තාවූ ප්‍රකෘති වාදීන්ගේ ප්‍රකෘතිය මෙන් කරුණක් නැතිව හේතු රහිතව සත්ත්ව ලෝකයාගේ පටන්ගත් මූල හේතුව දැක්වීම සඳහා නොවන බව දතයුතුය. ආශ්‍රවයන්ගේ හටගැනීම් හේතුවෙන් අවිද්‍යාවගේ හටගැනීම වේ යයි දක්වා තිබේ. මේ අවිද්‍යා තෘෂ්ණාදීන්ට පූර්ව කෙළවරක් නැත. සුගති දුගති අත් බැව් දෙකට පමුණුවන්නාවූ කුසලා කුසල කර්මයාගේ අවිද්‍යා තෘෂ්ණා සඞ්ඛ්යාතවූ මේ උභය ධර්මයන් විශේෂ හේතුව වන බැවින් ඒ ධර්මයන් මුල්කොට වදාළ සේක. දුගතියට පමුණුවන්නාවූ අකුසල කර්මයාගේ විශේෂ හේතුවක් හැටියට අවිද්‍යාව දතයුතු. යම් හෙයකින් අවිද්‍යාව විසින් මඩනා ලද පෘථග්ජන තෙම වහ්නි සන්තාපය, මුගුරු පහරය යනාදී හේතුවෙන් වූ විඩාවෙන් මැඩුනාවූ, වධයට පත් ගවදෙනක් ඒ ගින්නෙන් තැවීම්, මුගුරෙන් පැහැරීම් හේතුකොටගෙන වූ කායික දුක්ඛ වෙදනා සඞ්ඛ්‍යාත විඩාවෙන් මැඩුනු බැවින් ආස්වාදයක් නැති නමුදු, සැනසීමක් නැති නමුදු, තමහට අවැඩක් එළවන්නේ වී නමුත් උණු දිය බීමට පටන්ගන්නාක් මෙන් ක්ලේශාග්නි සන්තාප හේතුවෙන් සැනසීමක් නැත්තේ වී නමුත් දුගතියෙහි ලා හෙළන හෙයිනුදු තමහට අවැඩක් එළවන්නේ වී නමුදු සත්ත්ව ඝාතනය මුල්කොට ඇත්තාවූ නොයෙක් ප්‍රභේද ඇති දුගතියට පමුණුවන්නාවූ අකුසලකර්ම කරන්නට පටන්ගනී. එහෙයින් අවිද්‍යාව, දුගතියට පමුණුවන්නාවූ කර්මයාගේ විශේෂ හේතුව වේ යයි දතයුතු.
සුගතියට පමුණුවන්නාවූ කුසල කර්මයට විශේෂ හේතුව භව තෘෂ්ණාවයි. මේ භව තෘෂ්ණාව විසින් මඩනාලද්දාවූ පෘථග්ජන තෙම යථොක්ත ප්‍රකාරවූ, මරණයට ගෙන යන ගවදෙනක්, ඇල්දිය ආශාවෙන් සැනසීම් ඇත්තාවූ, තමාගේ විඩා සන්සිඳුවන්නාවූද, ඇල්දිය පීමට පටන් ගන්නාක් මෙන්, ක්ලේශ සඞ්ඛ්‍යාත වහ්නි සන්තාපයෙන් තොරවන හෙයින් සැනසීම් ඇත්තාවූ, සුගතියට පැමිණවීමෙන්, තමාගේ දුගතියෙහිවූ දුක්විඩා දුරලන්නාවූද, සත්ත්වඝාතනයෙන් වැළකීම් මුල්කොට ඇති නොයෙක් ප්‍රභේද ඇත්තාවූ, සුගතියට පමුණුවන්නාවූ කුසලකර්ම කරන්නට පටන්ගනී. එහෙයින් භව තෘෂ්ණාව, සුගතියට පමුණුවන්නාවූ කුසල කර්මයට විශේෂ හේතුව වේ.
භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද දේශනාව එක් ධර්මයක් මුල්කොටද දේශනා කළසේක. එනම්: අවිද්යාවම කාරණකොට ඇත්තාවූ සංස්කාරයෝ හටගනිත්. සංස්කාරයන්ම කරුණුකොට ඇත්තාවූ විඤ්ඤාණය හටගනී යනාදි වශයෙනි. තවද අන්තැනෙක, උපාදානයන්ට අරමුණුවූ ත්‍රෛභූමික ධර්මයන්හි ආස්වාදය කිරීම් වශයෙන් සුඛ සොම්නස් නැවත නැවත විඳිනු කැමතිව වාසය කරන්නාවූ පුද්ගලයාහට තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා හේතුවෙන් උපාදානය හටගනී යනාදී වශයෙන්ද දේශනා කරණ ලදී. එපරිද්දෙන්ම ඇතැම් තැනෙක, අවිද්‍යා තෘෂ්ණා දෙකම මුල්කොට ඇත්තාවූ පටිච්චසමුප්පාද දේශනාව වදාරණ ලදී. එනම්, අවිද්‍යා නීවරණය ඇත්තාවූ නොහොත් අවිද්‍යාව විසින් මුවාකරන ලද්දාවූ තෘෂ්ණාව හා සමන්විතවූ බාල පෘථග්ජනයා හට, මේ ස්කන්‍ධපඤ්චකය, ආයතන ෂට්කය මෙසේ උපන. පරසන්තානයෙහි නාමරූපයෝද මෙසේ උපන, අධ්‍යාත්ම බාහිර ආයතන
මෙසේ උපන, මෙසේ වාරාලම්බන වශයෙන් උපන් අධ්‍යාත්ම බාහිර ආයතනයන් නිසා ස්පර්ශය උපන, ස්පර්ශයෙන් අරමුණ පහස්නාලද්දාවූ බාලයා සුඛ දුක්ඛ වේදනාව නැවත නැවත විදී. දුක්ඛයෙහි තෘෂ්ණාව මැඩ ගෙන පවත්නා අවිද්‍යාවගේ බලවත් භාවය නිසා ඒකාන්තයෙන් අනර්ථදායකවූ අත්තකිලමථානු යෝගයට අනුවයෙදෙති. සුඛයෙහි අවිද්‍යාව මැඩගෙන පවත්නා තෘෂ්ණාව නිසා අනර්ථදායක අනාර්‍ය්‍ය සුඛයෙහි යොදවත්.
මෙසේ නොයෙක් ප්‍රකාර පටිච්චසමුප්පාද දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන බව දතයුතු.