| චක්ක වරංකිත රත්ත සුපාදෝ | උතුම් චක්‍ර ලක්ෂණයෙන් සලකුණු වූ රතු පැහැති සුන්දර පාද ඇත්තේය. |
| ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී | මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අලංකාර වූ දිගු විලුඹක් ඇත්තේය. |
| චාමර ඡත්ත විභූසිත පාදෝ | චාමර සහ ඡත්‍ර ලකුණින් සරසන ලද පාද ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ | ඔහු ශාක්‍ය කුලයේ උපන් ඉතා සියුමැලි වූ උතුම් කුමාරයෙකි. |
| ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ | මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් විහිදුණු පරිපූර්ණ ශරීරයක් ඇත්තේය. |
| ලෝක හිතාය ගතෝ නරවීරෝ | ලෝකයාගේ යහපත උදෙසා ගමන් කරන ඒ නරවීරයාණෝය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ | පුර හඳක් මෙන් බැබළෙන පැහැපත් මුහුණක් ඇත්තේය. |
| දේව නරාන පියෝ නරනාගෝ | දෙවියන්ට සහ මිනිසුන්ට ප්‍රිය වූ ඒ නරනාගයාණෝය. |
| මත්ත ගජින්ද විලාසිත ගාමී | මත් වූ ඇත් රජෙකුගේ ලීලාවෙන් ගමන් කරන්නේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| ඛත්තිය සම්භව අග්ග කුලීනෝ | ක්ෂත්‍රිය වංශයේ උපන්, අග්‍ර කුලීනයාණෝය. |
| දේව මනුස්ස නමස්සිත පාදෝ | දෙවියන් හා මිනිසුන් විසින් නමස්කාර කරන ලද පාද ඇත්තේය. |
| සීල සමාධි පතිට්ඨිත චිත්තෝ | ශීලයේත් සමාධියේත් මනාව පිහිටි සිතක් ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| ආයත යුත්ත සුසන්ඨිත නාසෝ | දිගු වූ ද, මනාව පිහිටියා වූ ද සුන්දර නාසයක් ඇත්තේය. |
| ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ | ගවයෙකුගේ මෙන් ඇහිබැමි ඇති, තද නිල් පැහැති සුන්දර නෙත් ඇත්තේය. |
| ඉන්දධනූ අභිනීල භමූකෝ | දේදුන්නක් සේ වක් වූ තද නිල් පැහැති ඇහිබැමි ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ | වටකුරු වූ, සිනිඳු වූ, මනාව පිහිටි ගෙලක් ඇත්තේය. |
| සීහ හනූ මිග රාජ සරීරෝ | සිංහයෙකුගේ වැනි හනු ද, මෘගරාජයෙකු වැනි සිරුරක් ද ඇත්තේය. |
| කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ | රන්වන් පැහැති ඉතා සිනිඳු සමක් හා උත්තම ශරීර වර්ණයක් ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ | අඳුනක් වැනි තද නිල් පැහැති සුන්දර කේශකලාපයක් ඇත්තේය. |
| කංචන පට්ට විසුද්ධ ලළාටෝ | රන් පටියක් සේ බැබළෙන පිරිසිදු නළල් තලයක් ඇත්තේය. |
| ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ | ඕෂධී තාරකාව මෙන් සුදෝ සුදු පැහැති ඌර්ණ රෝම ධාතුවක් ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ | සිනිඳු වූ, ඉතා ගැඹුරු වූ, මියුරු වූ හඬක් ඇත්තේය. |
| හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ | සාදිලිංගම් මෙන් තද රතු පැහැති සුන්දර දිවක් ඇත්තේය. |
| වීසති වීසති සේත සුදන්තෝ | විස්ස බැගින් යුත් සුදෝ සුදු දත් හතළිහක් ඇත්තේය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |
| ගච්ඡති නීල පථේ විය චන්දෝ | නිල් අහසේ ගමන් කරන චන්ද්‍රයා මෙන් ගමන් කරන්නේය. |
| තාර ගණා පරිවේඨිත රූපෝ | තරු කැළ විසින් පිරිවරන ලද රූපයක් ඇත්තේය. |
| සාවක මජ්ඣතෝ සමණින්දෝ | ශ්‍රාවකයන් මැද වැඩ වසන ඒ ශ්‍රමණේන්ද්‍රයාණෝය. |
| ඒසහි තුය්හ පිතා නරසීහෝ | පුත, ඒ නරසීහයා නුඹේ පියාණෝ ය. |