1. 3. 2. 7.
7. පරිමුච්චිත සූත්‍රය
119. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, රූපය මෙය මාගේ නොවේය මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.”
“මහණෙනි, යහපති, මහණෙනි, රූපය මෙය මාගේ නොවේය. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි යහපති, මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවේය ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සංස්කාරයන් මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සංස්කාරයෝ මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. “මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?”
“ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්වූ පරිදි යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි, වේදනාවෙහිද කළකිරෙයි, සඤ්ඤාවෙහිද කළකිරෙයි, සංස්කාරයන්හිද කළකිරෙයි, විඥානයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥාණය උපදියි, ජාතිය ක්ෂයවිය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මත්තෙහි මාර්ගඵල සඳහා කළ යුත්තක් නැතැයි දැනගනියි.”
1. 3. 2. 8.
8. සඤ්ඤොජන සූත්‍රය
120. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මත් සංයෝජන ධර්මත් දේශනා කරන්නෙමි. එය අසව්,
මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්ම කවරහුද? සංයෝජන කවරේද?
මහණෙනි, රූපය සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. වේදනාව සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. සඤ්ඤාව සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. සංස්කාර සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. විඤ්ඤාණය සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි සංයෝජන නම් වේ. මහණෙනි, මොව්හු සංයෝජනයන්ට හිතවූ ධර්මයෝයයි ද සඤ්ඤොජන ධර්මයයිද කියනු ලැබෙත්.”
1. 3. 2. 9.
9. උපාදාන සූත්‍රය
121. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්
මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද? උපාදානය කවරේද?
මහණෙනි, රූපය උපාදානයන්ට හිතවූ ධර්මයෙකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. වේදනාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. සඤ්ඤාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වේද එය එහි උපාදානයයි. සංස්කාරය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. විඤ්ඤාණය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්ද රාගයක් වෙයිද එය එහි උපාදානයයි.”