1. 3. 2. 8.
8. සඤ්ඤොජන සූත්‍රය
120. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මත් සංයෝජන ධර්මත් දේශනා කරන්නෙමි. එය අසව්,
මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්ම කවරහුද? සංයෝජන කවරේද?
මහණෙනි, රූපය සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. වේදනාව සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. සඤ්ඤාව සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. සංස්කාර සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයෝජන නම් වේ. විඤ්ඤාණය සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි සංයෝජන නම් වේ. මහණෙනි, මොව්හු සංයෝජනයන්ට හිතවූ ධර්මයෝයයි ද සඤ්ඤොජන ධර්මයයිද කියනු ලැබෙත්.”
1. 3. 2. 9.
9. උපාදාන සූත්‍රය
121. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයන්ද උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්
මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්මයෝ කවරහුද? උපාදානය කවරේද?
මහණෙනි, රූපය උපාදානයන්ට හිතවූ ධර්මයෙකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. වේදනාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. සඤ්ඤාව උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වේද එය එහි උපාදානයයි. සංස්කාරය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි උපාදානයයි. විඤ්ඤාණය උපාදානයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්ද රාගයක් වෙයිද එය එහි උපාදානයයි.”
1. 3. 2. 10.
10. සීල සූත්‍රය
122. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද මිගදාය නම්වූ ඉසිපතනයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුට එළවන කථා කළසේක. සතුටු විය යුතු සිහිකටයුතු කථා අවසන්කොට එකත්පසක හිඳගත්හ. එකත්පසක හිඳගත් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සිල්වත් භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කළ යුතුද?”
“අයුෂ්මත් කොට්ඨිත, සිල්වත් භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. “ඒ කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි. ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සිල්වත් භික්ෂුව විසින් මේ පස් උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. යම් සිල්වත් භික්ෂුවක් මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ සොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.”
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සෝතාපන්න භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කටයුතුද?”
“ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සෝතාපන්න භික්ෂුව විසින්ද මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. සෝතාපන්න මහණතෙමේ මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සකෘදාගාමි භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කටයුතුද?”
“ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සකෘදාගාමි භික්ෂුව විසින්ද මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුතුයි. “යම් සකෘදාගාමි භික්ෂුවක් මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන්, බිඳෙන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.