12. ධර්මකථික වර්ගය
1. 3. 2. 1.
1. භික්ෂු සූත්‍රය
113. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, අවිද්‍යාව නම් කුමක්ද? කෙතෙක් කරුණකින් අවිද්‍යාවෙන් යුක්තවූයේයයි කියනු ලැබේද?
“මහණ, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය නොදනියිද, රූපයට හේතුව නොදනියිද, රූපය නැති කිරීම නොදනියිද, රූපය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, වේදනාව නොදනියිද, වේදනාවට හේතුව නොදනියිද, වේදනාව නැතිකිරීම නොදනියිද, වේදනාව නැතිකිරීමේ මාර්ගය නොදනියිද, සංඥාව නොදනියිද, සංඥාවට හේතුව නොදනියිද, සංඥාව නැතිකිරීම නොදනියිද, සංඥාව නැතිකිරීමේ මාර්ගය නොදනියිද, සංස්කාරය නොදනියිද, සංස්කාරයට හේතුව නොදනියිද, සංස්කාරය නැතිකිරීම නොදනියිද, සංස්කාරය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, විඤ්ඤාණය නොදනියිද, විඤ්ඤාණයට හේතුව නොදනියිද, විඤ්ඤාණය නැතිකිරීම නොදනියිද, විඤ්ඤාණය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, මහණ, මේ අවිද්‍යාවයි. මේ අවිද්‍යාවෙන් යුක්ත නම් හෙතෙම අවිද්‍යා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.”
1. 3. 2. 2.
2. භික්ෂු සූත්‍රය
114. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, විද්‍යාව නම් කවරේද? කෙතෙක් කරුණකින් විද්‍යාවෙන් යුක්ත යයි කියනු ලැබේද?
“මහණ, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපය දනීද, රූපයට හේතුව දනීද, රූපය නැතිකිරීම දනීද, රූපය නැතිකිරීමේ මාර්ගය දනීද, වේදනාව දනීද, වේදනාවට හේතුව දනීද, වේදනාව නැති කිරීම දනීද, වේදනාව නැතිකිරීමේ මාර්ගය දනීද, සංඥාව දනීද, සංඥාවට හේතුව දනීද, සංඥාව නැතිකිරීම දනීද, සංඥාව නැතිකිරීමේ මාර්ගය දනීද, සංස්කාරයන් දනීද, සංස්කාරයන්ට හේතුව දනීද, සංස්කාරයන් නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ මාර්ගය දනීද, විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයට හේතුව දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඤ්ඤාණය නැතිකිරීමේ මාර්ගය දනීද, මහණ, මේ විද්‍යාවය මේ විද්‍යාවෙන් යුක්තවූයේ නම් හෙතෙම විද්‍යාසහගතයයි කියනු ලැබේ.”
1. 3. 2. 3.
3. ධර්මකථික සූත්‍රය
115. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය.
එකත් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, ධර්මකථික, ධර්මකථිකයයි කියනු ලැබේ. ‘ස්වාමීනි, කෙතෙක් කරුණකින් ධර්මකථිකයෙක් වේදැයි” කියායි.
“ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නො ඇලීම පිණිස, විනාශය පිණිස ධර්මය දේශනා කරයි නම් හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ නම් ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. “ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් උපාදාන වශයෙන් නොගෙන මනාකොට මිදුනේ නම් හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුව යයි කීමට සුදුසුය.
මහණ, ඉදින් වේදනාවේ -පෙ- මහණ, ඉදින් සංඥාවේ -පෙ- මහණ, ඉදින් සංස්කාරයන්ගේ -පෙ- මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස ධර්මය දේශනා කරයි නම්, “ධර්මකථික භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, “ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීමෙන්, නොඇල්මෙන්, නිරෝධයෙන් උපාදාන රහිතව මිදුණේ වේ නම්, “මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි.
1. 3. 2. 4.
4. ධර්මකථික සූත්‍රය
116. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, ධර්මකථිකය ධර්මකථිකයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් ධර්මකථිකයෙක් වේද, කෙතෙක් කරුණකින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නේ වෙයිද? කෙතෙක් කරුණකින් මෙලොවදීම නිර්වාණයට පැමිණියෙක් වේදැයි” කියායි.
“ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම රූපයාගේ කළකිරීම පිණිස නොඇලීම පිණිස විනාශය පිණිස පිළිපන්නේ වෙයිද, හෙතෙම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. මහණතෙම රූපයාගේ කළකිරීමෙන් නොඇලීමෙන් විනාශයෙන් දැඩිකොට අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, හෙතෙම මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
මහණ, ඉදින් වේදනාවේ -පෙ- මහණ, ඉදින් සංඥාවේ -පෙ- මහණ, ඉදින් සංස්කාරයන්ගේ -පෙ- මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස ධර්මය දේශනා කරයි නම්, “ධර්මකථික භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, “ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන් භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයේ කලකිරීමෙන්, නොඇල්මෙන්, නිරෝධයෙන් උපාදාන රහිතව මිදුණේ වේ නම්, “මෙලොවදීම නිර්වාණයට පැමිණි භික්ෂුවය”යි කීමට සුදුසු වෙයි.