1. ඛන්ධක සංයුත්තය
1. මූලපණ්ණාසකය
1. නකුල පිතු වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. 1. 1. 1.
1. නකුල පිතු සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.
එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය. “ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!”
“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. ‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශේෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?” “ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය. “ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?”
“ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි: “ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.
“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක. ‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.
‘ස්වාමීනි, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?” “ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”
“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”
“ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද?